Pages

Wednesday, November 23, 2011

අහස සේ ඔබ අනන්තයි - සයුර සේ ඔබ අනන්තයි

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
ඔබ අනන්තයි

වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ
මධු විතක් උතුරන තැනත් ඔබ
තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
සිසිලසක් දනවන තැනත් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ

[සුනිල් ආරියරත්න, නන්දා මාලනී, රෝහණ වීරසිංහ]

මානව සෞන්දර්යයේ උල්පත නම් ප්‍රේමය යි. ඉ'නුදු පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර ඇතිවන කායික මෙන් ම ආධ්‍යාත්මික බැඳීම, අතිශය සුපසන් මෙන් ම උත්කෘෂ්ට ද වේ. සැබෑ ප්‍රේමයේ පවත්නා සුන්දරත්වය පිළිබඳ මේ මනරම් හැඟීම, අපූර්ව සංකල්ප රූප පද්ධතියක් ඔස්සේ ශ්‍රාවක සිත්හි රංජනය කිරීමෙහි ලා පද රචක සුනිල් ආරියරත්න මැනවින් සමත්වෙයි;

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
ඔබ අනන්තයි....

සැබෑ පෙම තුල පවත්නා පරම රමණීයත්වය මේ යැයි වචනයෙන් කිවහැකි නොහේ. 

එය අහස මෙන් අනන්ත ද සයුර මෙන් අපරිමිත ද වෙයි. අසංඛ්‍ය වූ විශ්වය කැටිව ඇත්තේ ද ඒ තුළ ය. අනතුරුව සියලු වස්තූන් මෙන් ම ජීව අජීව ක්‍රියාදාමයන් තුළ ද, පවත්නා සුන්දරත්වය ප්‍රේමය වෙතට ආරෝපණය කරන පද රචකයා, විශ්ව සෞන්දර්යය පවා පෙරළා මුළු මහත් මානව සංහතියේ ම කායික - ආධ්‍යාත්මික සුපරිපූර්ණත්වය හා බැඳීම හරහා ම ආස්වාදනය කළ හැක්කක් වන බව ඉඟි කරයි;

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මධු විතක් උතුරන තැනත් ඔබ
තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
සිසිලසක් දනවන තැනත් ඔබ
උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ

සැබැවින් ම එවන් පරමාදර්ශී තථ්‍ය, සුන්දර ප්‍රේමයක් පංති සමාජය නම් ගවර වළෙහි එරී සිටින අසමාන කායික, ආධ්‍යාත්මික වර්ධනයෙන් යුතු ස්ත්‍රී පුරුෂයන් හට කිසිසේත් ම අත්පත් කර ගත නො හැක්කේ ම ය. 

එබැවින් මේ පද සරණියේ සමස්ත වේදිතය හරහා, එවන් සුපරිපූර්ණ කායික හා ආධ්‍යාත්මික බැඳීමකට සතුරුව පවත්නා සමාජ කොන්දේසි ඉක්මවා යාමෙහි උත්තේජනයක්, නිරායාසයෙන් ම අප හදවත් හි ජනිත වේ.

සත් කලා කෘතියක් ඇසුරු කිරීමෙන් සහෘදයා තුළ සැබැවින් ම ඇතිවිය යුත්තේ ද එවන් විමුක්තිකාමයක් ම ය. 

සුනිල් ආරියරත්නගේ, අන්‍ය පෙම් ගී හා සසඳන කල්හී, පණ්ඩිතමානී සකු-සක්ක පදවලින් තොර සරල සුගායනීය වදන් මාලාවක් උපයෝගී කොට තිබීම ද, මේ පද සරණියෙහි රුව වඩවාලන්නක් ම වේ. 

සුනිල් ආරියරත්නගේ ව්‍යායාමය බබළවාලනු සඳහා නන්දා මාලනීගේ මියුරු හඬ ද රෝහණ වීරසිංහගේ අපූර්ව සංගීත නිර්මාණය ද සැපයූ දායකත්වය අපමණි.

විජය නන්දන පෙරේරා