Pages

Monday, November 28, 2011

සැඳෑ අඳුර පියමං කර කවුරුද එන්නේ

හැත්තෑව දශකය වූ කලී සිංහල ගීත සාහිත්‍යයට රමණීය නිර්මාණ ගණනාවක් දායාද වූ දශකයකි. මේ සඳහා කරුණු කීපයක් බලපෑ බව මගේ පෞද්ගලික හැඟීමයි. නිර්මාණශීලී පද රචකයන් හා සංගීතඥයන් සිටීම, ශ්‍රේණිගත වූ ගායක ගායිකාවන්ට සරල ගී වැඩසටහන් හිමි වීම, රූපවාහිනිය නොතිබීම, ගුවන්විදුලි සිංහල නාලිකා දෙකක් පමණක් පැවතීම, සාහිත්‍යකාමී රසික පිරිසක් සිටීම, ඒ කරුණු අතරින් කීපයකි.

ජනමාධ්‍ය හා රසිකත්වය පමණට වඩා ලිබරල්වාදී වීම හේතුවෙන් ඒ ස්වර්ණමය යුගය බිඳ වැටිණි. එහි විපාක ලාංකික සමාජයට ළඟදීම අත්විඳින්නට සිදුවනු වැළකිය නොහැකිය. හැත්තෑව දශකයේ ගීතය නිහඬව බබළවන්නට දායක වූ මහින්ද අල්ගමයන් ගේ පද මාලාවක් පිළිබඳ ව මා සටහන් තබන්නේ කෘතගුණ සැලකීමක් ලෙසිනි.

“රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන සැන්දෑවේ
සැඳෑ අඳුර පියමං කර
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...

කවිතා ගුණයෙන් යුතු මේ පද මාලාවේ ආරම්භයේම මැවෙන්නේ චිත්ත රූපයකි. ග්‍රාමීය වැඩවසම් පරිසරයක තම කුඩා දරුවා සමඟ බිරියක මග බලා සිටින්නේ මෙහෙවරට ගිය සිය සැමියා එනතුරුය. ඇයට ඈතින් එන සැමියාගේ රුව පෙනෙයි.

රුක් අත්තන මලක මුදුනක බඹරු නැටීමෙන් ඇගේ පී‍්‍රති ප්‍රමෝදය සංකේතවත් වෙයි. තමන් ජීවත් කරවන්නට වෙර දරන සැමියා පිළිබඳව ඈ තුළ හටගන්නේ අපරිමිත ගෞරවයකි. එසේම අභිමානයකි. ඇය ඇඟිල්ල දිගුකොට තම පුතුට දුර එන පියාගේ රුව පෙන්වන්නේ එම අභිමානය සඟවා ගෙනයි. අතිශයින් සියුම් වූ මානව හැඟීම් ස්පර්ශ කිරීමට කවියා සමත් වන්නේ ඔහු තුළ ඇති බහුශ්‍රැත භාවය නිසාය.

“මුතු පිණි ලැල් සැලෙන උදේ
උදා දිමුතු හිරු එළියේ
පුතු සවනට රහස් කියා
පියමං කරලා
අප වෙනුවෙන් දවස ගෙවා
වෙහෙසී එන්නේ...

සුභාවිත භාෂාව මේ නිර්මාණයේ රසය උද්දීපනය කරවයි. “පිණි මුතුලැල් සැලෙන උදය” “උදා දිමුතු හිරු එළිය” වැනි යෙදුම් සුඛෝච්චාරණයෙන් යුතු යෙදුම් ලෙස හඳුන්වා දිය හැකිය. සුගායනය සඳහා මෙබඳු යෙදුම්වලින් ලැබෙන්නේ මනා පිටිවහලකි.

රචකයා පසුබිම් කරගන්නේ පීතෘ මූලික ග්‍රාමීය සමාජයක් වුවද අද වැනි නාගරීකරණය වූ සමාජයක් තුළ ද මෙය වින්දනය කළ හැකිය. අද සමාජයේ ඇති වෙනස වන්නේ ගැහැනිය ද රැකියාවක් කරන බැවින්, මෙබඳු අනුභූතියකට උරුමකම් කියන්නට නොහැකි වීම පමණකි.

“පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හඳක් සේ ඈතින්
කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...”

පතොක් කටු හා සමාන දවසේ කරදර නිමාකොට සූර්යයා දිගු නින්දකට සැරසෙයි. එබඳු මොහොතක නිවසට එන සැමියා ඇයට නම් පුරා හඳකි. තමන්ගේ ජීවිතය, දරුවන්ගේ ජීවිත ආලෝකවත් කරන සැමියා පුරා හඳකට සම කිරීම කාව්‍යෝචිත වුවකි.

ජන විඥානය හඳුනාගෙන රසික සිත් සංවේදී බවට පත්කරන මෙබඳු නිර්මාණ වර්තමානයේ දුලබ වීම ජාතියේ අවාසනාවකි. බිහිවීම කෙසේ වෙතත් මෙබඳු නිර්මාණයක් ඉඳහිට හෝ නව පරපුරට අසන්නට නොලැබීම ඊටත් වඩා අවාසනාවකි.

සීතල කූඩුවල සිටින එෆ්. එම් මල්ලිලා නංගිලා දැනගත යුතු කරුණක් තිබේ. සංගීත සන්දර්ශනයක තරුණයන් නැටු පමණින් ම ලංකාවේ රසිකයන්ගේ ඉල්ලුම පිළිබඳව ඔබ කරන තක්සේරුව දෝෂ සහගතය. සින්දු හිට් වෙන්නේ ඔබ කියන ‘රිදම්’ එක නිසාම නොවන බව ඔබ මතක තබා ගත යුතුය. රිදම් එකට ගයන බාල වචන විද්‍යුත් මාධ්‍ය හරහා දිගින් දිගට ප්‍රචාරය කිරීම, වස විස වෙළෙඳාමක් හා සමානය. මත්කුඩු වෙළෙන්දා හා ඔබේ ඇත්තේ එකම එක වෙනසකි.

එනම් ඔබේ ව්‍යාපාරය නීතියෙන් තහනම් කර නොතිබීමයි. මේ චෝදනාව ඔබට නඟන්නේ, ඔබ සිතන පරිදි අප හැත්තෑව දශකය හිස මත තබාගෙන ඒ තුළින් නව පරපුර තක්සේරු කරමින් නොවේ. ඔබේ ඔලමොට්ටල ලිබරල් රසඥතාව ඉදිරියේ අසංවේදී, ආත්මාර්ථකාමී තුප්පහි අනාගත පරපුරක් මවු රටට උරුම වන බැවිනි. ඇතැම් විට අනාගත විනිශ්චයන් ඉදිරියේ ඔබ කරන සාපරාධි ක්‍රියාවට වන්දි ගෙවන්නට ඔබටම සිදුවන බැවිනි. ඔබ පැලැඳ සිටින ටයි පටියෙන් ඔබට ඔබේම ගෙල සිරකර ගන්නට සිදුවන බැවිනි.

මේ ගීතයට නන්දා මාලිනිය මනෝහර තනුවක් නිර්මාණය කරන්නීය. බට නළාව වැනි දේශීය සංගීත භාණ්ඩ තුළින් අදාළ ග්‍රාමීය පරිසරය ඇය ප්‍රති නිර්මාණය කරන්නීය. ඇගේ සුගායනය, තුළින් සැමියා දැක ප්‍රහර්ෂයට පත්වන බිරියගේ මනෝභාවයන් අපූර්වත්වයෙන් ඉස්මතු වනවා පමණක් නොව පුරුෂයකු ගේ ශ්‍රමාභිමානය ද මැනැවින් මූර්තිමත් වේ.

අපේ ළමා කාලය තුළ අප අවදි වුණේ කුරුලු ගීත බඳු මියුරු ගී අසමිනි. එබඳු ගීයක පද පෙළක් මෙහි ලියා තබමි.

“අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා
අරුණලුකැන් හිනැහී නව ලොවක් මැවෙනවා
අඳුරින් බර ආකර තුළ මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා”
(නන්දා මාලනී)

අප නින්දට යන විට ඇසුණේ ද එබඳු මියුරු ගීතාවලියකි.

“සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුණු ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි
(සෝමතිලක ජයමහ)

මෑත දිනක මම පෞද්ගලික බසයකට ගොඩ වුණෙමි. මගේ ගමනාන්තය ළඟාවන්නේ පැය තුනකිනි. ශ්‍රී ලංකාවේ අසනවාට සල්ලි ගෙවන නාලිකාවක හඬ මගේ හිස මුදුනේ ඇති ශබ්ද විකාශන පෙට්ටියෙන් ඇසෙයි. මේ පැය තුන පුරා මගේ සිත පිරිමදින එකද ගීතයක් හෝ මම නො ඇසුවෙමි. අතිමහත් හිසරදයකින් හා කලකිරීමෙන් මම ගමන් නිමා කළෙමි. හෙට දවස පිළිබඳ මට දැනෙන භීතිය ඔබට දැනෙනවා දැයි මම නොදනිමි.
ධම්මික බණ්ඩාර - Silumina