Monday, August 22, 2011
දුයිෂෙන් මං ආදරෙයි
සත්තකින්ම මට නුඹ කුමාරයෙක්, මේ සරසවි පින්බිමේ මට හමුවුන සොඳුරු කුමාරයා නුඹ. අරලිය මල් ගස් වැටුණ තණ නිල්ල පසු කරන් පිය ගැට පෙළ නැග ගෙන මං ආවේ නුඹ ගාවට, මතකද ? ඔය දයාබර ඇස් මා සමඟ කතා කළ අරුම. සත්තකින්ම මගේ වදන් හමුවේ, ඔබේ හසරැල් මට ළෙංගතු වුණා. ඒ හසරැල් හමුවේ දුටුදා පටන් ම මං නුඹට ආදරය කළා. මගේ ආත්මීය ආදරයට නුඹේ ගුරු සිත නුඹ මා වෙන් කරන පවුර වෙලා මගේ ආදරණීය ආදර සිත්තම මට නුඹට කියන්න බැරි වුණා. නුඹ ඉදිරියේ මං ගොළු වුණා. ඒ බලාපොරොත්තු ඔක්කෝම ඒ ගොළු මුහුදට එක් වෙලා. කාරි නෑ මට, උරුම නෑ නුඹ, ඔබේ සිත මට කිව්වා. මං නුඹට ගොඩාක් ආදරේ කළා. ඒත් නුඹ ඒ කිසිවක් දන් නෑ.
ඒක හරියට මේ සරසවි පින් බිමේ පිපෙන අරලියා මල් පොකුරු දැක්කම මං ඒ මල් එක්ක හිනාවෙනවා වගේ. ඒත් අරලිය මල් දන් නෑ මං අරලිය මල් එක්ක හිනා වෙනවා කියලා. නුඹ මේ සරසවියට එන අලුත් දවසක් පාසාම මං ආවේ අලුත් බලාපොරොත්තුවක් ඇතිව. හැම මොහොතකම මං ප්‍රාර්ථනා කළේ නුඹ මගේ වෙන්න කියලා.
පන්ති කාමරේ අවසාන පේළියේ හිටපු මං දිහා නුඹ බලන බලන වාරයක් පාසාම නුඹත් මට ආදරය කරනවා කියලා මං හිතුවා. අපි හමුවෙන වාරයක් වාරයක් පාසාම තව තවත් නුඹ මට මං නුඹට දයාබර වුණා. හරියට චිංගිත් ආයිත්මාතව්ගේ ගුරු ගීතය වගේ...
හරියට දුයිශෙනුයි අල්තිනායි වගේ එකිනෙකා එකිනෙකාට සෙනෙහසක් ශක්තියක් වුණා. අල්තිනාට කවදාවත් කියන්නට බැරි වුණා දුයිශේන් ට ආදරෙයි කියලා. ඉතින් මං හැන්දෑවට සැඳෑ අඳුර බැස යන පරිසරය එක්ක මගේ සිතුවිලි බෙදා හදා ගත්තා. සැඳෑ සොමි රැස් විහිදාගෙන සඳු නැග එනකොට මං මගේ ආදරේ තරම සඳුටත් කිව්වා.
ඒ විතරද උදෑසනින් මගේ කුටියේ දොර කවුළු පියන් විවර කළාම මං දැක්කේ හිරු... උදෑසනම මගේ සිතේ සිතුවිලි අවදි කළේ නුඹයි. මගේ දෑස් තුළ මැවුණේ නුඹේ රුව. හිරු සඳු සදා කාලික නොවෙනස් වස්තු. ඒත් මට නුඹට සදාකාලික හිරු සඳු වෙන්න බැරි වුණා.නුඹ ආකාහේ දිලිහෙන තරු එළියක් වුණා. තරුව ආකාහේ නිවි නිවී දිලිසෙනවා. ඒ වගේ නුඹත් මට ආදරේ, වගේ ආදරේ නෑ වගේ. මට මතකයි ඒ දවස. මගේ ජීවිතේ උදා වුන අමාවක දවස එදා තමයි. වෙනදා වගේම මේ සරසවියේදී අපි හමු වුනා. නුඹ මට කියූ වදන් අදටත් මට මගේ මතකයේ රැව් දෙනවා. ඒ මගේ හදවතේ මේ දැස් මියෙන තුරාම තියේවි. ගලේ කෙටූ අකුරු වගේ.
“මට මේ සරසවියේදී හමුවුණ දක්ෂම ළමයා ඔයා. ඔයාට දිනා ගන්න ලොකු අනාගතයක් තියෙනවා. මං මගේ පී. එච්. ඩිග්‍රියට ලබන මාසේ ඕස්ට්‍රේලියාවේ යනවා” මං මවපු ලෝකය මගේ ජීවිතේ සොයන්න මම දැකපු සිහිනය සිහිනයක්ම වුණා. මගේ පැතුම් මල් පෙති බලා හිදිද්දීම එකිනෙක බිම වැටුණා.
මගේ දෑස් අගින් කඳුළු වැල් රූරා වැටුණා. ජීවිතයට කඳුළු ගොඩක් හිමි වෙලා තිබුණත් මේ තරම් දුකක් වේවි කියා මං කවදාවත් හිතුවේ නෑ.
නුඹ මගේ ජීවිතයට බොහොමයක් දේ උරුම කළා. ආදරය,
සෙනෙහස, ළෙංගතුකම,මිත්‍රත්වය, ධෛර්යය, අධිෂ්ඨානය, කැපවීම, පරිත්‍යාගය, මේ සියල්ලටම වඩා නුඹ මා අතර පැවැති මානුෂිය බැඳීමේ මතකය මට ඉතුරු කරා. නුඹ මගෙන් දුර ගියා. ඒ පියවරක්, යොදුනක් නෙවෙයි. නුඹ මගෙන් දුර ගියේ ගව් සිය ගණනක් දුර, නුඹ මගෙන් වෙන් වෙද්දී මට උරුම වුණේ එක දෙයක් දෑස පියාගෙන හිදින්න විතරයි.
නුඹ නිසා මගේ සිතේ තිබුණ ආදරයේ මහමෙර කඳුළු බිඳු වේලා පොළොවට වැටුණා...