මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීර සොබාව සාමාන්‍ය මිනිසාට වඩා වෙනස් වූවකි. උන්වහන්සේගේ ශරීරය සාමාන්‍ය මිනිස් ශරීර ඉක්මවා ගිය මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත ය. ශ්‍රී සම්බුද්ධ ශරීරය තිස් දෙකක් වූ මහා පුරුෂ ලක්ෂණවලින් හා අසීති අනුව්‍යංජනවලින් යුක්ත ය. උන්වහන්සේ කථා කරන විට කටහඬෙහි සුවිශේෂ ලක්ෂණ පිහිටියේ ය. සමාජය වෙනුවෙන් කළ උදාර සේවය බොහෝ ජනතා හිතසුව පිණිස පැවතියේ ය.
මෙකී ස්වභාවය නිසා ම පද්‍ය රචකයන් කල්පනා කරනු ලැබුවේ පද්‍ය රචනා කරනු ලබන්නේනම් ඒ තුළ තිබුය යුත්තේ බුදු ගුණ පමණකි ය කියා ය. “පෙදෙන් බුදුසිරිත ඈ” යනුවෙන් කියූයේ එයයි. එසේම යම් කිසි ප්‍රස්තුතයක් වර්ණනා කරනු ලබන්නේ ද එසේ කරන්නා වූ ඒ ප්‍රස්තුතය බුදු ගුණ ම විය යුතු ය. වැනීම, තැනීම, දීම, දිනීම යන අංශ පිළිබඳ සලකන විට බෞද්ධ සංස්කෘතියක හැදුණු වැඩුණු කෙනකු නම් කෙසේ විය යුතු දැයි චිරන්තන කවියා කීවේ ය. ඒ අනුව
වැණුවානම් බුදු ගුණ වැණුවාමයි
තැනුවානම් තම සිත තැනුවාමය
දෙනුවානම් දන් පින් දෙනුවාමය
දිනුවානම් පරලොව දිනුවාමය
යනුවෙන් කීවේ ය. වර්ණනා කිරීමක් කරනවානම් ඒ බුදු ගුණ පිළිබඳ ව විය යුතුයි තනා සකස් කොට ගනු ලබන්නේ නම් ඒ සිත තනා ගැන්ම විය යුතුය. යමක් දෙනවානම් විය යුත්තේ දන් දීම හා පින් දීම ය. යමෙක් දිනන්නේ නම් වැදගත් වන්නේ පරලොව දිනීම ය.
පැරණි කවියා විසින් බෞද්ධ සන්නිවේදනය ජනතාවට ලබා දෙනු ලැබුවේ මෙපරිදි ය. ඒ ඔස්සේ සියලු බෞද්ධ ප්‍රජාව කටයුතු කරන්නට විය. චිරන්තන සාහිත්‍ය නිර්මාණ ආරම්භයේ දී ම බුදුන් වැඳීම තෙරුවන් වැඳීම දැකිය හැකිය. වීදාගම මෛත්‍රිය හිමියන් රචනා කරනු ලැබු ලෝවැඩ සඟරාව ඇරැඹෙන්නේ යට දැක්වෙන කවියෙන් ය.
සෙත් සිරි දෙන මහ ගුණ මුහු දාණන්
සත් හට වන බව දුකට වෙදාණන්
සිත් ගණ දුරු දුර ලන මුනිදාණන්
සිත් සතොසින් නම දිම් මුනිදාණන්
බුදු රජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ මහිමය මහා සාගරයේ ජලය හා සමානයි, මහ පොළවේ වැලිකැට හා සමාන ය සත්ත්වයාගේ භව දුකට වෙදැදුරුණන් වූයේ උන්වහන්සේ ය. මිසදිටුවන්ගේ මිථ්‍යා අන්ධකාරය දුරු කරවන වෙදැදුරු උන්වහන්සේ ය. එසේ වූ බුදුරජාණන් වහන්සේ බැතියෙන් වඳිමි. ගුත්තිල කාව්‍යය, සුභාෂිතය, බුදුගුණ අලංකාරය, ආදි වූ සෑම නිර්මාණ ග්‍රන්ථයකම මෙකී සාධනීය ලක්ෂණ දැකිය හැකිය. පද්‍ය කෘති පමණක් නොව ගද්‍ය ග්‍රන්ථවල පවා මෙය දැකිය හැකිය. යම් සද්කාර්යයක් ආරම්භ කරන විට තෙරුවන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගැනීම අද ඊයේ ඇති වූවක් නොවේ. එය ඈත අතීතයේ සිට පැවත එන්නකි.
ක්‍රි. ව. 1870 දශකයේ පමණ කාව්‍ය සම්ප්‍රදායට නවාංගයක් එකතු වනු දැකිය හැකිය. එනම්; ගීතය නමැති සාහිත්‍ය සංකල්පයයි. සංගීතය ද සමඟ ඉමිහිරි තනුවකට ගැයෙන මෙය දෘශ්‍ය ගෝචර ස්වභාවයෙන් මිදී ශ්‍රව්‍ය ගෝචර බවක් පෙන්නුම් කරයි. ගී කාව්‍ය යුගය විවිධ ආකාරයෙන් පෝෂණය ලැබුවේ පදවැල, සංගීතය හා කටහඬ එකතු වීමෙනි. මේ ක්‍රමය ඉතා ඉක්මනින් ශ්‍රාවකයන් අතර ජනපි‍්‍රය වන්නට විය. බුදු හිමියන් සැමරීම පිණිස ද ගීත නිර්මාණය විය. මුල් වකවානුවල නාඩගම්, නූර්ති ග්‍රැමෆෝන් චිත්‍රපට ආදියේ ආධාර ලබමින් පෝෂණය වී පසුව එය ගුවන්විදුලිය, වේදිකාව, කැසට්පටිය, සංයුක්ත තැටිය ආදි විවිධ මාධ්‍ය ඔස්සේ ශ්‍රාවකයා වෙතට ප්‍රවේශ වන්නට විය.
බුදුගුණ ගීත සාහිත්‍යය පිළිබඳ ව කරනු ලබන විමසීමකදී ඒවා අංශ කීපයකලා අවධානයට ලක් කළ හැකි ආකාරය පෙනේ. එනම්; බුදුරජාණන් වහන්සේගේ රූපකාය වර්ණනා කරනු ලබන ගීත, බුදුරජාණන් වහන්සේගේ ධර්මකාය වර්ණනා කරනු ලබන ගීත, බෞද්ධ පදනමක සිට ගැයෙන විරෝධාකල්ප ගීත, භක්තිය හා ආගමික ආශ්‍රය පළ කරන ගීත වශයෙනි. ප්‍රාරම්භක යුගයේ සිට වර්තමානය දක්වා විකාශනය වූ බෞද්ධ ගීත සාහිත්‍යය පිළිබඳ ව විමසා බැලීමේදී දක්නට ලැබෙන්නේ භක්තිය හා ආගමික ආශ්‍රය පළ කරන ගීත බහුල වශයෙන් මුල් යුගවල රචනා වී ඇති බවයි. බුද්ධාලම්බන පී‍්‍රතිය ඇතිකර ගැනීම මූලික කරගෙන ඒ ගීත රචනා වී තිබේ.
1870 දශකයේ ගීත රචනා කරනු ලැබු අය අතර ‘පිලිප්පු සිඤ්ඤො නමැති රචකයාට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඔහුගේ රචනයක් ලෙස යට දැක්වෙන ගීතය දැක්විය හැකිය. බුදු හිමියන් කෙරෙහි ගෞරව දැක්විය යුතු බව හා බුද්ධත්වය ලැබීමේදී උන්වහන්සේ මාර සෙනග පරදා කළ වික්‍රමය මෙහිදී දක්වා තිබේ. එහි පද පෙළ මෙසේ ය.
නිමල මොක්ෂ ප්‍රකාශ තෛ‍්‍රලෝක්‍ය
බඹළුවා බුදු ඒ සුගතින්දු
ප්‍රබල සතුරු මාර ප්‍රාක්‍රම, ජයගත් ඒ බල සමිඳු
සතුරුමාර සෙනගට කිපි - හෙණ හඬ
ගුගුරණ විලසට
ගිනිජල් මාලා සහශ්‍ර - හරිමින්
කට හැර ගොරවන
සිරිසඟබෝ නාට්‍යය රචනා වූයේ ක්‍රි. ව. 1903 දී පමණය. එය ජෝන් ද සිල්වා ශූරීන්ගේ රචනයක් වන අතර එහි ගැයුණු ගීත ද ඔහුම රචනා කරනු ලැබීය. බුදුගුණ හා බුදු බැතිය වඩවන අයුරින් සැකසුනු මේ ගීතය බෞද්ධ ගීත අතර සුවිශේෂ වෙයි. මෙය නූර්ති ගීතයකි. නාට්‍යයේ චරිත රඟපෑ සංඝතිස්ස, සංඝබෝධි සහ ගෝඨාභය නමැති සහෝදර කුමාරවරුන් තිදෙනා අනාවැකි කිව හැකි අන්ධ බමුණකු අසලින් වැටී ඇති මාවතක යමින් සිටියි. එම අවස්ථාවේ අනුරාධපුර නගරයේ ශ්‍රී විභූතිය පළ කෙරෙන මෙම යට දැක්වෙන ගීතය ද ගායනා කරති. ශතවර්ෂාධික කාලයක් තිස්සේ ජන මනසේ ජනපි‍්‍රය භාවයට පැමිණි මේ ගීතය වර්තමානයේ ද එසේ ම පවතී.
දන්නෝ බුදුන්ගේ ශි‍්‍ර ධර්මස්ඛන්ධා
පේවී රකිති සොද සීලෙ නිබන්දා
ක්ලේෂ නස්නාවූ භික්‍ෂු ඇත්තේය බොහෝ
රහතුන් නිවස්නා පායා ප්‍රකාශේ...