Pages

Monday, May 30, 2011

පර සතු මල් මකරන්ද සුවඳ මැද බඹරෝ නුඹ නාඩන්

සීතල සඳ එළියේ
පීදුණු සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරෝ නුඹ නාඬන්
සදාහරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරෝ නුඹ නාඬන්

සඳළුතලාවේ මුනින්තලාවේ
ඈත බලාගෙන කඳුළු සලන්නේ
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරෝ නුඹ නාඬන්

පද රචනය – හඩ්සන් සමරසිංහ
ගායනය / සංගීතය – ගුණදාස කපුගේ


බඹරු නොදුටු මලක් පිපිලා
ගේ මැද සාලේ
ඈත ඇදී දෑස අන්ධ
මී මැසි මාලේ
බඹරු නොදුටු මලක් පිපිලා
ගේ මැද සාලේ...
මා තුන්වන ශ්‍රේණියේ පමණ සිටියදී ඉහත සඳහන් ගී පද මාලාව ගුවන් විදුලියෙන් ඇසුණා මට මතක ය. මා සිටියේ නිවසේ මැද සාලයේ ය. මගේ පියා නිවස පිටුපස කිසියම් කාර්යයක නිරත වෙමින් සිටි බව මට මතක ය. “තාත්තේ... බඹරු නොදුටු මල් කියන්නෙ මොනවට ද..?” මම කෑ ගසා ඇසුවෙමි. මගේ පියා මඳ වේලාවක් නිශ්ශබ්දව සිටියේ ය.
”බඹරු කියන්නෙ පිරිමි ළමයි, මල් කියන්නෙ ගෑනු ළමයි...” මගේ පියා දුන්නේ එබඳු පිළිතුරකි.
”ඔය ළමයට ඕව තේරෙන්නෙ නෑ...” මගේ මව පියාට එසේ පැවසූ බව මට මතක ය. එහෙත් මල් යනු ගැහැනු ළමයි බවත් පිරිමි ළමයි බඹරුන් බවත් එදා මම හොඳින් මතක තබා ගත්තෙමි.
more
එහෙත් ජීවිතයේ මලක් ඉදිරියේ හඬන්නට සිදුවූ බඹරකු බවට මා පත්වෙතැයි මට එදා නොසිතුණි. එහෙත් එක්දහස් නමසිය අසූව වසරේ මැයි මාසේ දිනයක ඇස් වාට්ටුව හන්දියේ සිට මරදාන දෙසට වැටී ඇති සේරම් පෙදෙසේ මාර ගසක් යට දී ඒ අවාසනාවන්ත සිද්ධියට මම මුහුණ දුන්නෙමි.
ඒ ජීවිතයේ ප්‍රථම වරට යුවතියකට දුන් පෙම් හසුන ඒ යුවතිය ප්‍රතික්‍ෂේප කළ මොහොතයි. පසුව දැනගන්නට ලැබුණු පරිදි එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇයට ඒ වනවිටත් පෙම්වතකු සිටීමයි. ප්‍රථම ප්‍රේමයට මුල් ගල තැබීමට සැරසෙද්දී ම මුහුණ දුන් මේ අනපේක්‍ෂිත අභාග්‍යය තවමත් මගේ හද පතුලේ රිදුම් දෙයි. යෞවනයේ දොරකඩ අතරමංවී සිටි මට එක්තරා දවසක මෙබඳු ගීයක් කන වැකුණු බව මතක ය.
”සීතල සඳ එළියේ - පීදුණු සුවඳ මලේ
නෑඹුල් සුවඳ පැතූ - බඹරෝ නුඹ නාඬන්”
මෙහි පදමාලාව කාගේ දැයි මා එකල නොදැන සිටි නමුදු ගුණදාස කපුගේ මේ ගයන්නේ මා ගැන නොවේ ද? වැනි හැඟීමක් මා තුළ මුල් වරට ඇතිවිණි. අද පවා මේ ගීතය ඇසෙන විට මා තුළ එබඳු ම හැඟීමක් ජනිත වේ. එහෙත් මේ ගීය මා සතු කරගැනීමට මම උත්සාහ නොකරමි. මක්නිසාද, සඳ එළියේ පිපුණු සුවඳමල් වල නෑඹුල් සුවඳ අහිමි වූ මා වැනි තවත් බඹරුන් ඊයේත් අදත්, හෙටත්, මතු මතුවටත්, මුණගැසෙන බැවිනි.
”සදා හරිත වන රේඛා මැද්දේ
මළානිකව ගලනා සඳ එළියේ
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරෝ නුඹ නාඬන්”
දක්‍ෂ රචකයා සරල පද මාලාවක ජීවිතයේ ගැඹුරක් ආරෝපණය කරයි. තුරුලතා අතරින් මලානික සඳ එළිය ගලා එද්දී මේ යෞවනයා අඳුනක් මුවඟා ඇත්තේ සිහිනයෙනි. එය ඔහුට සැබෑ ලෝකයේ දී මුව ගාන්නට හෝ ඇස ගාන්නට නොලැබෙන්නකි.
අහිමි ප්‍රේමයේ ද රසයක් ගැබ්ව පවතී. ඒ රසය දකින්නේ කලාකරුවා ය. කලාකරුවා ඒ රසය නියමාකාරයෙන් මතුකොට දක්වද්දී අහිමි ප්‍රේමය නිසා කෙනකු තුළ හටගන්නා දැඩි මානසික ආතතිය පහවී යයි. එවිට වෛරය ඊර්ෂ්‍යාවෙන් තොර සෞම්‍ය හැඟීමක් ලෙසින් එය අත්විඳින්නට ලැබෙයි. මේ රචකයා ද අහිමි ප්‍රේමයෙන් සෞම්‍ය රසයක් ලබා දෙනවා පමණක් නොව හිත හදා ගැනීමට ද පිටිවහල් වෙයි.
”සදළු තලාවේ මුනින් තලා වී
ඈත බලාගෙන කඳුළු සලන්නේ
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරෝ නුඹ නාඬන්...”
රචකයා මෙහිදී මවන චිත්ත රූප හා උපයුක්ත භාෂාව අතිශයින් සරල ය. එහෙත් ප්‍රබල ය. ප්‍රේමය දිනාගත නොහැකිව ළතැවෙන මේ යෞවනයා සඳ එළිය පතිතවූ සදළු තලාවක දුක්මුසුව සිටින අයුරු මෙහිදී චිත්ත රූපයට නැඟෙයි. හමා එන සුළඟ ඔහු වෙත ගෙන එන්නේ පරසතු මලක මකරන්ද සුවඳයි. මට මිල්ටන් පෙරේරාගේ ගීයක පද මාලාවක් සිහිවේ.
”නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම හිත යන්නේ....”
මෙබඳු පරාජිතයන්ට හිත හදා ගැනීමට දෙන උපදේශයන්ගෙන් සිංහල භාෂාව පිරී පවතී.
”මූදෙ ඉන්නෙ එක මාලුව ද?
නෙළුම් මලේ එක පෙත්තද තියෙන්නේ....?”
එහෙත් අහිමි පෙමක වේදනාව පඬි වදන්වලින් යටපත් කළ නොහැකිය. එය සැබෑ ලෙස දන්නේ එය අත්විඳි පුද්ගලයන් පමණකි. යෞවනයේ දොරකඩ එවැන්නක් අත්විඳි විට එය මුළු ජීවිත කාලයක් පුරා මතකයෙන් බැහැර නොවේ. “එක්ටැම් ගේ” චිත්‍රපටයට ගීත රචනා කරන සුනිල් ආරියරත්නයන් මේ හැඟීමට මෙසේ ස්පර්ශ කරයි.
”දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේ වී එක්ටැම් ගේ.....”
එසේම මේ සංවේදී හැඟීම් සමඟ බද්ධ වෙද්දී තවත් පද මාලාවක් අමතක කළ නොහැකි ය. ඒ ආදරය අහිමි වීම නිසා සදාතනිකව තනිකඩව සිටි පුද්ගලයකු පිළිබඳවයි.
”පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ළෙන්ගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ...
තනිකඩය තවම මම....”
ගුණදාස කපුගේ ද මේ ගායනය තුළ මේ වේදනාව මනාව වැළඳ ගනී. සුළඟට මුසුවන පාළු ශෝකී හඬකින් ඔහු මේ පදමාලාව ගයයි. අදත් මේ ගීතය ඇසෙද්දී මීට වසර තිහකට පෙර අත්විඳි රසය ඒ අයුරින් ම විඳගන්නේ ඒ හැඟීම්බර හඬ නිසා ය.
මගේ සිත වසර තිහක් ඈතට යළිත් දිවයයි. සේරම් පෙදෙස, ඒ මාරගස, ඔබ, මගේ ප්‍රථම ප්‍රේමය ලියා තැබූ කොළ කැබැල්ල, ඔබ නිසා එදා විඳි සිත්තැවුල් අතීතයෙන් ගලාගෙන විත් සිනමා පටයක් සේ මැවෙයි. අද ඔබේ දරුදැරියන් ද යෞවනයේ දොරකඩට සපැමිණ ඇතුවා විය හැකිය. ඔබට මා ගැන මේ මොහොතේ අමතකව ඇතුවා විය යුතුය. ඇතැම් විට ඔබ ඔබේ දරුවන්ගේ දරුවන් සුරතල් කරනවා විය හැකියි. එහෙත් සීතල සඳ එළියේ, නෑඹුල් මලක සුවඳ නොවිඳි මම මේ මොහොතේත් ඔබ ගැන සිතමින් ලියමි.