බුදු දහමින් ලද නිදහසත් ස්වාධීනත්වයත් පදනම් කොටගෙන නිර්මාණය වූ සිංහල ජන විඥානය සිය ආධ්‍යාත්මික ජීවිතය මෙන්ම භෞතික ජීවිතය ද සපුරා ගනු ලැබුවේ ශික්ෂණයත්, පාරාර්ථකාමීත්වයත්, අහිංසාවත් මුල් කොටගත් ධර්ම මාර්ගයෙනි. බුදු මඟට අනුව ප්‍රතිපත්ති පූජාව උතුම් ම පූජාව වුව ද ආමිස පූජාවන් පුද්ගලයින් ප්‍රතිපත්තියට යොමු කරවනු ලැබූ ගාමික බලවේගය විය. වැව, දාගැබ, ගම, පන්සල මුල් කොටගත් සිය සමස්ත ජීවන සම්ප්‍රදාය භක්තිය මත පදනම් වූ බුද්ධිමත් පරාර්ථකාමී ජීවන චර්යාවක් විය.
වැවෙන් සිය ආර්ථික අවශ්‍යතා ඉටු කර ගනු ලැබූ අතර ම එමඟින් සෞන්දර්යාත්මක රසයක් ද අත්විඳි අතර දාගැබ ඇසුරින් මෙන්ම පන්සල ඇසුරින් ජීවන සෞන්දර්ය මුල් කොටගත් මහා ඥාන ප්‍රවාහයක් අත්පත් කරගැනීමට සමත් විය. බෞද්ධ වන්දනාව මුල් කොටගත් හුදී ජනයෝ දෙමව්පිය වන්දනාව ද මහත් වූ ආනිශංසයක් ලෙස සැලකූහ. පන්සලින් නිම්නාද වූ සූත්‍ර, ගාථා ඔවුනගේ ජීවන රිද්මයේ පදනම වූ අතර, ඒ මඟින් මහා සෞන්දර්යාත්මක වූ ගීතවත් නාදයක් හදේ නිදන්ගත වන්නට විය. එහි ප්‍රතිඵලයක් වූයේ පසුකාලීන ව බෞද්ධ සාහිත්‍යය ඇසුරු කරගත් ගීත සම්ප්‍රදායක් බිහිවීමයි. බුදු ගුණ ගීතය බෞද්ධ දර්ශනය, බුදුගුණ, බුද්ධ වන්දනාව, බෞද්ධ ප්‍රාර්ථනා, බෞද්ධ සිද්ධස්ථාන හරහා මූලික වශයෙන් ගලා ගිය ද බුදු ගුණ වන්දනාවට හිමිවූයේ ප්‍රමුඛ ස්ථානයකි.
පණ්ඩිත් අමරදේවයන් ගේ “වඳිමි සුගත ශාක්‍ය සිංහ
සසර දිනූ බුදු පියා” යන ගීතය මෙන්ම,
”ගිලෙමි ඔබේ ගුණ මූදේ
විඳිමි ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබෙ පාදේ
තිලොවක බුදු සමිඳේ....”
යන ගීතය බුදුන්ගේ මහා කරුණා ගුණයට කරනු ලබන මහා කලගුණ සැලකීමකි.
”ඇසේ මතුවන කඳුළු බිඳුගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්....” යන ගීතය අමරදේවයන් ගේ බුදු ගුණ ගී අතර රමණීය මතකයකි. අමරදේවයන්ගේ චිත්‍රපට ගී අතරmore
”පාරමිතා බල පූජිත පූරිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින – දිනූ සේක ලොව“ (රන්මුතු දූව) යන චිත්‍රපට ගීතය මෙන්ම “සිරිපා පියුමේ රොන්සුණු තැවරේ” (රන්සළු), “සංසාර ගමනේ තණ්හා ආශා” (සැනසුම කොතැනද), “ඉපිද මැරේ යළි ඉපිදේ” (දස්කම), “තණ්හා ආශා ඔලොගු කරේලා” (පටාචාරා), “තණ්හා තණ්හා” (කරාටේ ජෝ), “දැහැනින් මිදුණා” (ළසඳා) යන චිත්‍රපට ගීත හරහා ගලා බසිනුයේ ද බෞද්ධ දර්ශනය මත පදනම් වූ සෞන්දර්ය රස ප්‍රවාහයකි.
”ඇඟිලි තුඩුයි ගල් කටුවයි
බුදු බැතියයි එක් වෙලා
මහ ගල් කුළු සිපගෙන එයි
සම්බුදු ගුණ ගල ගලා” යන ගීතය ද “අමා සාගරේ රළ පෙළ ඉවුරුවල හැපේ”, “අමා ගඟ ගලාලා”, ‘කැලණි විහාරේ”, “අඩවන් වූ දෙනෙතින් ගලනා”, “කුසුම් පිපී අතු පතරේ”, “නිල් මානෙල් මල් පිපිලා”, “වැලිතල අතරේ හෙමිහිට බසිනා” යන ගීතයන්හි නිම්නාද වනුයේ බුදු දහමින් පෝෂිත වූ බුදු ගුණයෙහි විචිත්‍රත්වයයි.
පණ්ඩිත් අමරදේවයන් අත බුදු ගුණ ගීයෙහි සාහිත්‍යමය වපසරිය පුළුල් වූයේ යම් සේ ද බුදුගුණ ගීයෙන් නික්මෙන කරුණා රසය සහෘදයන්ගේ සිත් සනහාලූයේ වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ගායන ලීලාවෙහි මහිමයෙනි. බුදුන්ගේ උත්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම ඇසුරෙහි බිහිවන වික්ටර් රත්නායකයන් ගේ
”අමා දහර දිය ගලා ගලා
තුරු ලතා තුළින් මල් පියලි සලා” යන ගීතය බුදු ගුණ ගී අතරෙහි හමුවන මනරම් ගීතයකි. “සිත් සනහාලන මුතුවන් වරුසා
කඩා හැලෙනවා බුදු සමිඳේ” යන ගීතයෙහි නිම්නාද වන වික්ටර් රත්නායකයන්ගේ සුමධුර හඬ සැබැවින්ම රසිකයාගේ ආත්මය පුරා විහිදී යයි.
”අනාථ නාථයාණනි
තුන් ලෝ තල තිලකාය මාන වූ” ගීතය මිනිසුන්ගේ දෙබිඩි පිළිවෙත් හරහා උද්දීපනය වන අවගුණ මනා ලෙස සංකල්ප රූපයකට නඟයි. නිවන් දුටු හිමි රුවන් පිළිරුව, සමිඳු පාමුල පිදෙන විලසින්, සසර නිසරු බව දෙසූ සමිඳුනි, අරුනළු පැතිරෙන හිමිදිරි උදයේ, බුදුහාමුදුරුවො අපිත් දකින්නැති, කලාවැවේ දිය ගැඹරේ යන මහාර්ඝ ගී සමුදායෝ වික්ටර් රත්නායකයන් ගේ ගී අතර අමරණීය වේ. සැබැවින්ම වික්ටර් රත්නායකයන්ගේ දහස් ගණන් ගී අතරෙහි ඉහත සඳහන් බුදු ගුණ ගීතයන්ට හිමිවන්නේ සුවිශේෂ වැදගත්කමකි.
විද්‍යාචක්‍රවර්තීන්ගේ බුත්සරණ මතකයට නඟන විශාරද නන්දා මාලිනිය ගයන “දනිමි හැඳින්නෙමි හිමි සඳුණේ
ඉරත් ඔබය මට සඳත් ඔබය මට
මවත් ඔබය මට හිමි සඳුණේ” යන ගීතය ඇයගේ ගී අතරෙහි නො ඇසෙන, විචිත්‍ර බුදුගුණ ගීයක මූලික හැඩතල සාර්ථක ලෙස ඒකාත්මික වූ අවස්ථාවකි. එමෙන්ම “සසර සයුරු”, “සීල සමාධී ගුණ”, “බුදු කරුණා දෑස තෙමී” යන බුදුගුණ ගී ඇය ගැයූ ගී අතර පිරිපුන් ගායනාවෝ වෙති.
සංගීත් නිපුන් සනත් නන්දසිරි හා පණ්ඩිත් අමරදේවයන් එක් ව ගයන
”ජගදානන්දන මහා කාරුණික
සිරසා වන්දන සීල ගුණෝපිත” ගීතය සිංහල ගීත වංශයෙහි බිහිවූ විදග්ධ රචනාවක් වූ වා සේම එහි ගායනය හරහා මතුවන රසභාවයෝ බුදුගුණ ගීයෙහි වපසරිය ඉතා පෘථුල අවකාශයක් වෙත රැගෙන යති. “නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් – පිවිසූ තිලෝ සතුන්” ඉහත සඳහන් කරන ලද ගීතයට නොදෙවෙනි ගීතයක් සේම සංගීත් නිපුන් සනත් නන්දසිරි ගේ භාවමය ප්‍රකාශනය ඉතා ශක්තිමත් ස්වර පරාසයක විහිදී පැතිර යයි. “සීතල කරුණා විරහ වේදනා” ගීතය මෙන්ම බෞද්ධ සාහිත්‍යයේ ආභාසය ලබමින් නිර්මාණය වූ “යසෝධරා” ගීතය ද රසිකයාගේ නොමඳ අවධානයට ලක් වූ ගීතයකි.
ගුණදාස කපුගේ විසින් ගයනු ලබන “පසක් කොට ඇති සසර දුක් ගිනි” ගීතය ද බුදුගුණ ගී අතර සාර්ථක නිර්මාණයකි. “මහමෙව්නා උයනේ නැළවෙන තුරු සෙවණේ” ගීතයෙන් මතුවන කරුණා රසය බුදු ගුණ ගීතයට රසිකයාගේ සිත තවදුරටත් ඇලුම් කිරීමට ආධාරකයක් වනවා සේම “අපි අසරණ වෙලා වගේ” ගීතය ද අප ගත කරන ජීවිතයේ සැබෑ ස්වභාවය හෙළි කරයි.
”බුදු පියාණනි ඔබේ පාද” ගීතය සෝමතිලක ජයමහ ගායනවේදියාගේ නිර්මාණ පොකුරෙහි බැබළෙන පුෂ්පයකි. සම්භාව්‍ය සාහිත්‍යයෙහි ඇසුර හමුවේ බිහිවන උක්ත ගීතය බුදුගුණ ගීයෙහි සෑම අංග ලක්ෂණයක් ම මනා සේ පිරිපහදු කරනු ලබයි. “දස බිම්බර මාර සෙනඟ” ජයමහ ගේ බුදු ගුණ ගීයෙහි තවත් සාරවත් ඵලයකි.
විශාරද දයාරත්න රණතුංග හා විශාරද බී.වික්ටර් පෙරේරා ඇසුරෙහි බිහිවන “දිවාකර ඔබයි හිමියෙනි
නිශාකර ඔබයි හිමියෙනි” ගීතය රාගධාරී සංගීතය හා මුසු වූ ඉතා සාර්ථක බුදු ගුණ ගීයකි. විශාරද දයාරත්න රණතුංග හා බී.වික්ටර් පෙරේරා ගේ සංයෝගයෙන් මතුවන නාද මාලාවේ විචිත්‍රත්වය රසිකයාගේ සිත අධ්‍යාත්මයෙන් පුරවා දමනු ලබයි. විශාරද අමරා රණතුංග ගයන “සමාධි බුදු සිසිලේ” ගීතය ද රසිකයාගේ අධ්‍යාත්මය පිරිසිදු කරයි.
ටී.එම්.ජයරත්න ගායන වේදියාගේ “සඳවතුරක් සේ මෙත් සොමි ගුණෙනා” ගීතය ද “විහාරයෙන් එන නාමල් සුවඳින්” ගීතය ද රසික සහෘදයා වෙත ගෙන එනු ලබන නවමු අත්දැකීම බුදු ගුණ ගීතයෙහි විචිත්‍රත්වය කදිමට පැහැදිලි කරයි. මිල්ටන් මල්ලවාරච්චි ගයන “මරු කතරේ මිනිස් පුරේ” ගීතය මෙන්ම රූපා ඉන්දුමතී ගායනා කරනු ලබන “සිහිලැල් බුදු ගුණ ගඟුලේ” ගීතය ද බුදුගුණ ගීය රසික හදවත් වෙත තවදුරටත් ළං කරවයි. සුනිල් එදිරිසිංහයන්ගේ “සොයා පිළිසරණක්” ගීතය මෙන්ම ෂෙල්ටන් පෙරේරා විශාරද ගායකයාණන්ගේ “බුදුනේ බුදු පියාණනි” ගීතය ද බුදු ගුණ ගීයෙහි විවිධ හැඩතලයන් පෙන්නුම් කරනු ලබයි.
එහෙත් මේ ගී ද්විත්වය ට ම ඉහළින් සුනිල් එදිරිසිංහයන්ගේ “නිදුකාණෙනි” ගීතය රසිකයාගේ හදමඬල මෙන්ම නැණ මඬල ද කරුණා රසයෙන් පුරවා දමනු ලබයි. කලාශූරී ලතා වල්පොල සමඟින් ධර්මදාස වල්පොල ගායනා කරනු ලබන “බුදුන් වැඩිය මේ රුවන් පොළොව මත” සැබැවින්ම බෞද්ධයන්ගේ පරම පැතුම සාක්ෂාත් කරගැනීම සඳහා කරනු ලබන බෞද්ධ ප්‍රාර්ථනාවකි. මාලිනී බුලත්සිංහල ගායනා කරනු ලබන “හිමි සනරාමර” ගීතය රසිකයාගේ රසභාවයන් සියුම් ලෙස ස්පර්ශ කරයි.
“සිරි බුද්ධ ගයා විහාරේ”, “සිළුමිණ සෑය වඳිම්”, “සුවදේ මට සීතල සුළඟ පවා”, “මහබෝධි මුලේ”, “තිලොවග රාජා”, “සකල සතම”, “දස බල ධාරී”, “බුදු මඟුල ළඟම ඒවී”, “ආලෝකය මේ යැයි”, “බුදු සාමිනි සිරිපා පියුම්”, “බුදු සාදූ මම සමන් වැලක්”, “බුදුන්ගේ අමා ධර්මේ”, “සාධු සිරිපා”, “සුන්දර ශ්‍රීනි මනහාරි”, “පුදමු මේ කුසුම්” ඉහත සඳහන් ගීත බිහිවීමට පෙර දශකයන්හි බිහිවූ විචිත්‍ර බුදුගුණ ගීත සඳහා නිදසුන් වෙති.
මෙයට අමතරව දහස් ගණන් බුදුගුණ ගී දශක කිහිපයක් පුරා බිහිවුණි. එහෙත් වර්තමානයේ බුදු ගුණ ගී බිහිවන්නේ ද? යන්නෙන් පැන නඟින ගැටලුව බුදුගුණ ගීතයට පමණක් සීමාවූවක් නොවේ. එය සමස්ත නිර්මාණකරණයේ මෙන්ම රසඥතාවයෙහි ද මතුවී ඇති මහා ඛේදවාචකයකි. කෙසේ වුවද බුදුගුණ ගීතය හුදු බුදුගුණ ගැයීමෙන් පමණක් සීමා නොවී ඒ ඇසුරින් නව නිර්මාණ බිහිකිරීමට නිර්මාණ කරුවන් සමත් වී ඇත. නන්දා මාලිනියගේ “මහමෙව්නාවේ සමාධි බුදු ඇස” වික්ටර් රත්නායකයන්ගේ “පාත ඉඳන් අපි ආවේ” දීපිකා ප්‍රියදර්ශනී ගයන “ජය ශ්‍රී මා බෝ හාමුදුරුවනේ” සෝමතිලක ජයමහ ගයන “නවදැලි හේනක” ගීත මේ සඳහා සාර්ථක උදාහරණයෝ වෙති. එහෙත් මේ නිර්මාණ බුදු ගුණ ආකෘතිය මත බිහිවූ සියුම් විරෝධාකල්ප ගී පමණක් වේ. මේ නිර්මාණ බුදුගුණ ගී වශයෙන් අප වරදවා වටහාගත යුතු නැත.