තොටුපළ අයිනේ...
කවුද අත වනන්නේ
කවුද අතවනන්නේ
තොටුපළ අයිනේ
හැන්ඳෑ වරුවේ
ඉවුරේ වැටකේ
උණ පඳුරේ සෙවණේ
හබල බිඳීලා... පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ
ඒ දෙස නොබලමි...
තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ
ආ මඟ අඳුරේ
පෙර මඟ එගොඩින්
තරු යුවළක් ඇවිලේ
ඔරුකඳ ඇතුළේ.. නුපුරුදු සුවඳක්
දියමංකඩ විසිරේ
හෙට මම හිනැහෙමි
තොටු පළ අයිනේ
කවුද අත වනන්නේ
ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
මගේ සිතුවිලි හැත්තෑව දශකයේ මුල් භාගයට දිවයයි. මම එකල කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නේවාසික ශිෂ්‍යයෙක්මි. අප පාසලේ පස්මහල් විද්‍යාගාරයට අමතරව තවත් පස්මහල් ගොඩනැඟිල්ලක් ඉදිවෙමින් පැවතිණි. එකල මෙහි පස්වනමහල දිග ශාලාවකි.
”අන්න වික්ටර් රත්නායක ඇවිල්ලා.. අලුත් තට්ටු පහේ උඩ සින්දු කියනවා...”
හවස 2.30 ට පමණ නේවාසික ශිෂ්‍යයෙක් කෑ ගසා කීවේ ය. එතුමන්ගේ ගීත රාශියක් අසා නොතිබුණ ද, හුරුපුරුදු නමක් බැවින් අපි කීපදෙනක් අස්පවේගයෙන් දිව ගියෙමු. එකිනෙකා තරගයට තට්ටුවෙන් තට්ටුව පඩිපෙළ දිගේ දිව ගිය ආකාරය මට තාමත් මතකයි. අප පාසලේ හත්වන ශ්‍රේණියේ සිසුවෝ වීමු. වැඩිහිටි ශිෂ්‍යයන් ගේ කලා සංගමයක් විසින් ඇරයුම් ලද වික්ටර් රත්නායකයන් පුටුවක වාඩිවී සර්පිනාවක් ළඟ තබාගෙන මයික්‍රෆෝනයක් ඉදිරියේ වාඩිවී සිටින අයුරු මම දුටුවෙමි.
more
more
එකල රූපවාහිනිය නොතිබූ බැවින් මේ රූපකාය දෙස මා බලා සිටියේ විස්මයෙනි. සුදු අත්දිග ලෝගුවක් ඇඳ කරතෙක් කොණ්ඩය වවා සිටි තාරුණ්‍යයත් මැදිවියත් අතර අපූරු පුද්ගලයකු දේශනයක් පවත්වමින් ගයන්නට පටන් ගත්තේ ය.
හබල බිඳිලා...
පෙරළුණු ඔරුවක
සුන්බුන් නෙත දැවටේ...
ඔහු හබල බිඳීලා...
යන කොටස පාරුකවියක් මෙන් ඇද පැද ගයද්දී මුළු ශාලාව ම මීයට පිම්බාක් මෙනි. ගයා හමාර වූ පසු සිසුන්ගෙන් නැඟුණේ කන් බිහිරි කරවන අත්පොළසන් නාදයකි.
එදා සිට මම වික්ටර් රත්නායකයන් ගේ ගීත ගැන වඩාත් උනන්දු වීමි. “ස” ප්‍රසංගය කීපවරක් ම පොරකකා නැරඹුවෙමි. සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ ආදී පද රචකයන්ගේ නම් මගේ හිතට කාවදින්නේ මේ ගීත අසන්නට පෙලඹීමත් සමඟිනි. මේ අතර හැත්තෑව දශකයේ දී, උගත්, නූගත්, බාල මහලු කා අතරත් ජනපි‍්‍රය වූ අපූර්ව නිර්මාණයක් ලෙස මේ ගීතය හඳුන්වා දිය හැකිය.
”තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ
කවුද අත වනන්නේ
තොටුපළ අයිනේ”
පද මාලාවෙන් ප්‍රථමයෙන් මැවෙනුයේ චිත්ත රූපයකි. ගඟක්, තොටුපළක් මෙන්ම තොටුපළ ළඟ සිට අතවනන අඳුරු ඡායාවක් ඒ චිත්ත රූපයෙහි අන්තර්ගත ය. ඒ චිත්තරූපය තවදුරටත් විකාශනය වන්නේ දෙවන පද පෙළ සමඟයි. මෙය සැඳැ කළුවර ගලා එන හෝරාවකි. වැටකේ ඉවුරක උණපඳුරු හෙවණක දක්නට හැක්කේ කුමක් ද? ඒ හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවකි. රචකයා මේ ඔස්සේ ධ්වනිථාර්ථ රාශියක් මවනු ලබයි.
හැන්දෑ වරුවේ
ඉවුරේ වැටකේ
උණ පඳුරේ සෙවණේ
හබල බිඳීලා.. පෙරළුණ ඔරුවක
සුන්බුන් නෙත දැවටේ...
මෙහි කථකයා ජීවිතයේ කටුක අත්දැකීම් රාශියකට මුහුණ දුන් පුද්ගලයකු බව මේ ඔස්සේ පැහැදිලි වෙයි. ඔහු ප්‍රේමවන්තයකු නම්, ප්‍රේමයෙන් පරාජිත පුද්ගලයකු බව මේ මඟින් හැඟී යයි. එහෙත් ඒ අඳුරු අතීතය මෙනෙහි කරමින් ඒ මත වේදනා විඳීමට ඔහු සූදානම් නොමැති බව මෙහිදී පැහැදිලි වෙයි.
”ඒ දෙස නොබලමි
තොටුපළ අයිනේ
කවුද අතවනන්නේ”
එසේ නම් ඔහුට අතවනන්නේ කවුරුන් ද? අලුත් ආදරයක් ද? එය එසේම බව මීළඟ පද පෙළින් මනාව පැහැදිලිවේ. ඔහු පෙරමඟ එගොඩින් දක්වන්නේ කුමක්ද? ඇවිළෙන තරු යුවළකි. එය කාන්තාවකගේ දෑසක් විය නොහැකි ද? ඒ තරු යුවළ දිලිසෙද්දී ඔරු කඳමත පැතිරී යන්නේ නුපුරුදු සුවඳකි. එය ආදරයේ ම සුවඳ මිස වෙන කුමක් ද?
ආ මඟ අඳුරේ පෙර මග එගොඩින්
තරු යුවළක් ඇවිලේ
ඔරුකඳ ඇතුළේ නුපුරුදු සුවඳක්
දියමංකඩ විසිරේ...
ඒ සුවඳට පිටුපාන්නට ඔහුට නොහැකිය. ඔහුගේ අනාගත ජීවිතයේ සුබ ප්‍රාර්ථනා සියල්ල ඒ සුවඳ මත රැඳී පවතී. ඒ නිසා ඔහු හෙට දවසේ හඬන්නට නොව සිනාසෙන්නට සැරසෙයි.
”හෙට ම හිනැහෙමී
තොටුපළ අයිනේ
කවුද අත වනන්නේ...
ජීවිත තොටුපළේ ආදරයෙන් පරාජිත වූවකු නැවත දිග්විජය ලැබීමක් සමස්ත නිර්මාණය පුරා දක්නට හැකිය.
මේ නිර්මාණයේ අරුත් මීට වඩා පුළුල් පරාසයක වුවද රසවිඳීමේ හැකියාව රසිකයා සතුව පවතී. මේ තොටුපළ සංසාර තොටුපළ නම් කථකයා විසින් එගොඩ යා නොහැකි පෘථග්ජනයෙකි. ඔහුගේ හබල බිඳී ඔරුකඳ පෙරළී ඇත. එහෙත් එගොඩ ගොඩින් ඔහු දකින්නේ දැල්වෙන ආලෝකයකි. ඒ නිර්මල ආගමික දර්ශනයකි. ඒ මඟින් හෙට දවසේ දිග්විජය ලද හැකිය. මේ නිසාම “තොටුපළ අයිනේ” නැමැති පද මාලාව පුළුල් පරාසයක විහිදී යයි.
වික්ටර් රත්නායකයන් මේ පදමාලාව තුළ අපූර්ව දේශීය සංගීතමය අත්හදා බැලීමක නිරතවෙයි. බෙංගාලි පාරු ගී මෙන් ම සිංහල ජන ගී සම්ප්‍රදාය ඇසුරු කරමින් ගිටාරය, බටනළාව, ජලතරංග ආදී සංගීත භාණ්ඩ යොදා ගනිමින් අපූර්ව සංගීත රිද්මයක් නිර්මාණයට එක්කර තිබේ.
මම දෑස පියා ගනිමි. ගංගාව ගලා යනු මට ඇසෙයි. මා අසල ඇත්තේ බිඳුණු හබලක් හා පෙරළුණු ඔරුවකි. එහෙත් මම බලාපොරොත්තු අත් නොහරිමි. මක්නිසාද නුපුරුදු සුවඳක් සමඟ තරු යුවළක් ඈත අහසේ දිලිසෙන බැවිනි.