“ඒවා ඒ ආකාරයි. මේවා මේ ආකාරයි. මිනිසුන් පුදුමාකාරයි, ලෝකය ගෝලාකාරයි.”
මේ මීට කාලෙකට ඉස්සර කොහේදි හෝ මට මුණ ගැසුණු කුරුටු කවියක්. එදා ඒ කවිය කියවලා හිනා වුණාට මේ මොහොත වන විට මට පුළුවන් ඒ කවිය සරල වචන දෙකකට සංස්කරණය කරන්න. “ලෝකය පුදුමාකාරයි...” අපි මේ ලෝකෙට එනවා. ඊට පස්සෙ ජීවිතය කියන නාම පදය ඇතුළෙ ක්‍රියාපද සහසකට අර්ථකථන දෙනවා. අවුරුදු 60 ක්, 70 ක්, 80 ක් මේ විදිහට ජීවත් වෙලා ආපහු යන්න යනවා. සමහරු කියනවා ආපහු එන්නෙ නැහැ කියලා. තවත් කෙනෙක් කියනවා ගියාට අපි ආපහු එනවා කියලා.
ලෝකය කියන්නෙ අපි කාගේත් තාවකාලික නැවතුම් පොළක්. දැනට ගණන් බලලා තියෙන විදිහට මේ ලෝකේ බිලියන හතක් ඉක්මවූ ජන සංඛ්‍යාවක් ජීවත් වෙනවා. දිනිතියට දරන්නත් බැරි තරමට පුංචි පුංචි මිනිස්සු බොහෝ වෙලා ලෝකයේ හතර අතට කරණම් ගහනවා.
මේ මහා මිනිස් පොදියට බැරියැ ඕනෙ නම් මේ ලෝකෙ දවසින් වෙනස් කරන්න? “වෙනස් කරන්න” කියන වචනය සමහර අයට ඇලජික් වගේ නම් මම එතැනට ආදේශ කරනවා. “ලෝකෙට වැඩක් ඇති දෙයක් කරන්න” කියලා. මොකද අපි හැමෝටම වගකීමක් සහ යුතුකමක් තියෙනවා අපෙන් පස්සෙ අනාගතේ දවසක බිහිවෙන අලුත් ජීවයට, අපි හිටියට වඩා හොඳ ලෝකයක් ගොඩ නඟලා දෙන්න.
එතකොට ඔවුන්ටත් දැනෙන්න පටන් ගනීවි අපි වගේ ජාතියක් ඉස්සර මේ ලෝකෙ ඉඳලා තියෙනවා කියලා.
අපිත් එක්ක කොච්චරක් නම් මිනිස්සු එකට ජීවත් වෙනව ද? උදේට - හවසට මඟතොටේදි කාර්යාලයේදී, බස් එකේදි කුරා කූඹි ගාණට මිනිස්සු අපට මුණ ගැහෙනවා නේද? ඒත් අපි මිනිස්සු ගොන්නකින් ආදරය කරන්නෙ කීයෙන් කී දෙනාට ද? ගණන් කරලා බලද්දි වැඩිම වුණොත් දහයක් පහළොවක් ඇති. තව කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක්ට ආදරය කරනවා ඇති. සමහරු එක්කෙනෙකුටවත් ආදරය කරන්නෙ නෑ.
එහෙම නෙවෙයි මම කියන්නෙ. අපිට බැරිද මහ ගොඩකට එක සැරේට ආදරේ කරන්න. කලබල වෙන්න එපා. මේ කියන්නෙ එක කොල්ලෙක් කෙල්ලො දහයකට හරි, එක කෙල්ලෙක් කොල්ලො තුන් දෙනෙකුට හරි කරන ආදරයක් ගැන නෙමෙයි.
ඊට වඩා ගොඩක්ම වෙනස්, මේ ලෝකෙ මීට වඩා ලස්සන කරන, මීට වඩා ආසාවෙන් කැමැත්තෙන් ජීවත් වෙන්න පුළුවන් තැනක් බවට පත් කළ හැකි ආදරයක් ගැන... හරියට අහස වගේ සුවිශාල ආදරයක් ගැනයි මම මේ කියන්නෙ. සියලු කඳුහෙල්, මිටියාවත්, ගංගා - නිම්න වසාගෙන පැතිරුණු මහා ආදර මීදුමකින් ලෝකයටම සංග්‍රහ කරන්න පුළුවන් නම් ඒක මොන තරම් ශ්‍රේෂ්ඨ ද? උත්තරීතර ද?
සමහර විට මම මේ ලියන දේවල් කියවද්දි “මළ කෝලම්” කියලා හිතෙයි. ඒත් ජීවත් වෙන “කෝලම්” වලට වඩා මළ “කෝලම්” වලින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
මම කියන්නෙ, අපේ ජීවිතේ එක්කෙනෙකුගේ ආදරෙන් පුරව ගත්තම අපි කාලයක් සතුටින් හිඳීවි. ඒ ආදරේ නිසා අවට ලෝකය නොපෙනෙන තරමට අපි අන්ධ වෙනවා. ඒත් හැම දේටම, හැම කෙනෙකුටම ආදරේ කරන්න පටන් ගත්තම අපිට පුළුවන් ඇස් ඇරගෙන, හොඳින් බලාගෙන හැම දේකටම ආදරේ කරන්න.
අපිට එක්කෙෙනකුගේ ආදරේ නැති වුණාම මොකද වෙන්නෙ? තමන්ගෙ ඇතුළේ මහා හිස්කමක් තනිකමක් ඇති වෙනවා. ඒ තනිකම හරිම ඉක්මනින් වෛරයක් - තරහවක් බවට පෙරළෙනවා. හරියට ගින්දර ළඟදි, අයිස් උණු වෙලා වතුර වෙනවා වගේ. ඊට පස්සෙ හදවත පුරාම පැතිරෙන්නෙ වෛරීසහගත, ද්වේෂසහගත සිතුවිලි පමණයි. අන්න එතකොට අපි අවට ලෝකයෙන්, සමාජයෙන් ඒ වෛරය පිරිමහනවා.
මඟ අයිනට වෙලා මොහොතක් පාරෙ යන එන මිනිසුන්ගේ මුහුණු දිහා බලාගෙන ඉන්න. එල්ලා වැටුණු උරහිස්, සිනහවක් නැති දෙතොල්, ද්වේෂය පිරුණු ඇස් ඇතුළෙ වෛරී භාෂාවෙන් ලියැවුණු මහා කතාවක් තියෙන බව පෙනේවි. ආදරේ අහිමි වීම ඒ තරම් භයානක දෙයක් කියලා මොහොතකට හරි ඔයාට දැනිලා තියෙනව ද? ඒත් ලෝකෙටම ආදරය කළා නම් එහෙම වීමේ අවදානමක් නැහැ. මොකද ඒ ආදරය නැති වුණත්. ආදරය කරන දහසක් දේ ඉතුරු වෙනවා. මේ කියන්නෙ කවුරු හරි කෙනෙකුට විශේෂයෙන් ආදරය කරන්න එපා කියලා එහෙම නෙවෙයි. අනිවාර්යයෙන්ම එහෙම කරන්න. ඒ අරුම අත්දැකීමත් විඳින්න. ඒ අතරේ ලෝකයටත් ආදරය කරන්න.
ආරම්භයක් විදිහට ඔබත් මේ ලෝකයේ තවත් එක් ක්ෂුද්‍ර අංශුවක් කියලා හිතන්න. වරද්ද ගන්න එපා. සමහරු හිතන් ඉන්නේ මුළු ලෝකයම තමන්ගෙ කියලයි. කවදාවත් ලෝකය තමන්ට අයිති වෙන්නෙ නැහැ.
තමන් අයිති ලෝකයට බව තේරුම් ගත්තට පස්සේ එතැන ඉඳන් හැම සජීවී ප්‍රාණියකුටම ආදරය කරන්න හිතේවි. මනුස්සකම කියන්නෙ මේ සීමා මායිම් නැති ආදරයට අසීමාන්තිකව ඒ විදිහට ආදරය කරන්න පටන් ගත්තට පස්සෙ එක්කෙනෙක් වෙනුවට දහස් ගණනක් ආදරය කරන්න පෙලඹේවි.
ගහකොළ, ඇළ - දොළ විතරක් නෙවෙයි සුළඟ පවා ඒ ආදරය ඔබ ළඟට අරගෙන ඒවි. පසුම්බිය අන්තයටම හිඳුනු දිනවල විතරක් නෙමෙයි සුනාමි, ගංවතුර, කුණාටු, කැකෑරෙන අඳුරු රාත්‍රීන් වලදීත් ඒ ආදරය ඔබ තව එක දවසක් හරි ජීවත් කරනු ඇති.
Silumina