Pages

Sunday, May 22, 2011

ඔබ ඈත සඳ වී පායා....



ඔබ ඈත සඳ වී පායා
මම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා
ළඟ හිඳිනා
අප දුරින් දුරක හිඳ තනිවේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවෙහි හද බඳුණේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ

මධු සඳයට අප හමුවීලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබූ සෙනේ සොඳුරු බව සිඳිලා

පද රචනය – ජයලත් මනෝරත්න
සංගීතය – එච්.එම්. ජයවර්ධන
ගායනය – බණ්ඩාර අතාවුද

හැත්තෑව දශකය තුළ සිංහල ගීතයට එක්වූ සොඳුරුතම වූ ද ප්‍රේමණීය වූ ද හඬ බණ්ඩාර අතාවුදයන්ගේ හඬයි. මගේ පාසල් වියේ දී ඔහුගේ “සිහිනයක ඔබ නිහඬ මැදියම් රෑ” නැමැති ගීතය මා මෝහනයට පත් කර තිබිණි. බොහෝ ගීත ගායනා නොකළ මේ අපූරු ගායකයා ගායනා කළ සෑම ගීතයක් ම රසිකයන් අතර මතක සටහන් තබා තිබීම අරුම පුදුමය.
ජයලත් මනෝරත්න මගේ පි‍්‍රයතම නළුවන්ගෙන් එකෙකි. නළුවකු නාට්‍ය නිෂ්පාදකයකු පමණක් නොව ඔහු සාහිත්‍යධරයෙකි. කවියෙකි. සොඳුරු මිනිසෙකි.
එච්.එම්. ජයවර්ධන වූ කලී ප්‍රේමයේ නාදරටා අපූර්වත්වයෙන් ස්පර්ශ කරන්නෙකි. ප්‍රතිභාව ජන්ම දායාදයක් කරගත් ඔහු නිහඬ ගැඹුරු සොඳුරු ගාන්ධර්වයෙකි. මේ ත්‍රිපුද්ගල සංයෝගයෙන් බිහිවූ “ඔබ ඈත සඳ වී” නම් ගීතය අපේ හදවතේ ගැඹුරු ම තැන් ස්පර්ශ කරන ගීයකි.
more
ආදරය යන වචනය වඩාත් ලස්සන එය නොකී තරමටයැයි සේකරයෝ පැවසූහ. කඳු මුදුනේ ලස්සන පෙනෙන්නේ දුරට ය. ළං වූ විට එය පස් හා ගල් ගොඩක් පමණකි. සඳ වුවද එසේ ම ය. ළංවූ විට එය අජීවී අළු ගොඩකි. මට සුනිල් ආරියරත්නයන් ගේ පද මාලාවක් සිහිවේ.

”මෙදා මට ඔබ සැබෑ සඳ මය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ
ඔබ ද අද මා අසල ගැවසේ...

(ගායනය නන්දා මාලිනී)

මනෝරත්නයන් ද අප වෙත ගෙන එන්නේ ඒ හා සමාන අනුභූතියකි. තරුණයා මෑත තරුවක පිපී සිටින මොහොතක ඇය ඈත සඳක් සේ දිස් විණි. ඒ අතීතයේ ඇය කෙතරම් දුරක සිටිය ද ඔහුට දැනුණේ රාත්‍රිය පුරා ළඟ සිටින්නාක් මෙනි.
ඒ අතීතය මනරම්ය. ඔවුන් හමුවන්නේ කලාතුරකිනි. ඒ නෙත්වලින් පාන ඉඟි බිඟි වලින් පමණි.
එකල දවස පුරාම ඔහු තුළ ජීවත් වන්නේ ඇයයි. නෙතඟ පිබිදෙන සොඳුරු සිහිනය ඇයයි. පුරපස හඳ මෝරන්නාක් මෙන් ඔහුටත් හොරෙන් ඇය පිළිබඳ සිතුවිලි මෝරා වැඩෙයි. සැබෑ ලෙසම ඔහු ප්‍රේමයේ සුන්දරත්වය අත් විඳියි.

”අප දුරින් දුරක හිඳ තනිවේ
නෙත් සරින් පමණි හමු වූයේ
ඒ ඈත් බවෙහි හද බඳුනේ
සෙනෙහසේ සොඳුරු බව පිරුණේ....


හද බඳුන ආදරයේ පිරීගිය දෙදෙනා දුරින් සිටි අවදිය ඔහු සිහිපත් කරන්නේ හද පිරි සෙනෙහසිනි.
එහෙත් සිදුවන්නේ කුමක් ද? ඔවුහු සියලු බාධා වැටකඩුලු බිඳ ප්‍රේමයේ දිග් විජය ලැබූහ. එහෙත් දුරින් සිටියදී ඔවුන් අත්විඳි ආදරයේ සුන්දරත්වය ළංවීමෙන් පසුව ඉතිරිවිණි ද?
සැබැවින් ම මෙය සමාජ විද්‍යාත්මක වූ ද මනෝ විද්‍යාත්මක වූද ගැටලුවකි. බොහෝ පෙම්වතුන් ගේ සැළමුතු ප්‍රේමය විවාහයෙන් පසු ඒ ආකාරයෙන් ම ඉතිරි නොවන්නේ කුමක් නිසා ද? ප්‍රේමවන්තයන් පවා ඉතා තදින් ළංවෙද්දී ක්‍රමයෙන් ප්‍රේමය දියාරු වී යන්නේ කුමක් නිසා ද? මට මේ මොහොතේ සරච්චන්ද්‍රයන් ගේ “මළ ගිය ඇත්තෝ” නවකතාව සිහිවෙයි. නොරිකෝ සං සමඟ විවාහ වීමට ආසන්නයේ දී දෙවෙන්දොර සං වරක් මෙසේ පවසයි.
”මනුස්සයට ඕන දේවල් මොනවද කියල කවුද දන්නෙ. ඕන දේ ලැබෙන කොට ආයෙමත් ඒක වෙනස්වෙලා.
බලනකොට ඒක නොවේ ඕන කරන දේ. එහෙම තමයි අපි එක ආසාවකින් තවත් ආසාවකට යන්නේ....
(සරච්චන්ද්‍ර – මළවුන්ගේ අවුරුදු දා 127 පිටුව)

මනෝරත්නයන් ගේ නිර්මාණයේ හමුවන කථකයා මුහුණ දෙන්නේ ද ඒ හා සමාන අනුභූතියකටයි.

”මධු සඳයට අප හමු වීලා
සිටියද ඔබ මා ළං වීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබූ සෙනේ සොඳුරු බව සිඳිලා...


දුරින් සිටියදී හදවත් තුළ නිදන් ගතවූ සොඳුරු බව ළංවීමෙන් දුරස් කොට ඇති බව පැහැදිලිය.
සංගීත සංයෝජනය හා තනු නිර්මාණය අතින් ද මේ ගීතය ඉතා විශිෂ්ට තත්ත්වයක පවතී.
ප්‍රේමයේ සෞන්දර්යාත්මක මනෝභාවයන් සඳඑළිය මෙන්ම රාත්‍රියද, මෙහි සංගීතයෙහි ප්‍රති නිර්මාණය වෙයි. ඒ සංගීත සංයෝජනය තුළ බණ්ඩාර අතාවුදයන් ගේ හඬ මෝහනීය ලෙස තැන්පත් වෙයි.
කවියක හා ගී පදමාලාවක වෙනස හොඳින් වටහාගෙන ඇති මනෝරත්නයන් ඉතා මට සිළුටු ලෙසත් සංෂිප්ත ලෙසත් භාෂාව හසුරුවා තිබේ. ආදරය වූ කලී ස්පර්ශ කළ නොහැකි හැඟීමකි. එය බැඳීමක් ලෙස පවත්වා ගත හැකිය. එහෙත් එහි රොමැන්ටික් සෞන්දර්යය කුමන මොහොතක කුමන ආකාරයෙන් ගිලිහීයයිද යන්න සැක සහිතය. එබැවින් ඔබ ඈත සඳ සේ ම පායා ඉන්න.