Pages

Thursday, December 16, 2010

නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහිවෙනවා

යම් කලා කෘතියක්, නොඑසේ නම් සරල ගීයක් දශක හතරක පමණ කාලයක් ශ්‍රාවක ප්‍රතිචාරයන්ට අඛණ්ඩව පාත්‍ර වීම කලාතුරකින් සිදුවන්නකි. ශ්‍රී ලංකාව වැනි රටක එය අතිශයින් කලාතුරකින් සිදුවන්නකි.
එවන් පසුබිමක යම් පදමාලාවක් හා ගායනයක් ශ්‍රාවක හදවත් තුළ නිදන් ව පවතී නම් එයට තුඩු දෙන හේතු සාධක සොයා බැලීම යුක්ති සහගත ය. මක්නිසාද එය අංකුර කලාකරුවන්ට තම නිර්මාණ පිළිබඳව දෙවරක් සිතා බැලීමට පසුබිම සකස් කරන බැවිනි.
මගේ ගැටවර වියේ දී මේ ගීතය ශ්‍රවණය කරනවිට මා මේ ගීතය රසවිඳි ආකාරයට සම්පූර්ණ පරස්පර හැඟීම් අද මා ගීතය මේ ගීතය ශ්‍රවණය කරද්දී මා තුළ හටගනී. එකල මට හැඟීගියේ කලක් ප්‍රේමයෙන් පසුවී පසුව දුරස්වූ ආදරවන්තයන් දෙදෙනකු ගේ අදිසි මුණගැසීමක් ලෙසිනි.
දෛවයේ සරදමකින් දුරස් වූ ඔවුන් යළි මුණගැසෙන විට පෙම්වතිය විවාපත් වී දරු සුරතල් බලන්නියකි. එකල ඔහුගේ මුවඟ නිතර රැඳුණු ගීයක් මුමුණමින් ඇය ඇගේ දරුවා සුරතල් කරයි.
නුරාවෙන් තොර ඇගේ මාතෘ සෙනෙහස පිරී ගිය දෑස් දකිනවිට ඔහු තුළ ඇතිවන්නේ රාගික හැඟීම් නොවේ. කාලය විසින් ඇගේ යොවුන් විය ඇගෙන් උදුරාගනු දකිද්දී ඔහු තුළ ඇතිවන්නේ උපේක්‍ෂා සහගත හැඟීමකි. ක්‍ෂණයකින් තරුණයාගේ සිත ඈත අතීතයට දිවයයි. ආදරයට උරුම බොළඳ බව ඉදිරියේ නොකා නොබී දුක්විඳී ඒ සුන්දරතම අතීතය ඔහුගේ ඇසමත කඳුළක් තබයි.
ඒ එදා මා මේ ගීතය රසවිඳි ආකාරයයි. එහෙත් කාලයත් සමඟ මැදිවියට පා තබද්දී මේ ගීතයේ වෙනත් සැඟවුණු රසයක් මම අත් විඳිමි. සැබවින් ම සුනිල් සරත් පෙරේරා නම් වූ සහෘදයාණන් අත්විඳින්නට ඇත්තේ ඒ රසය ම බව මට මේ මොහොතේ වැඩි වැඩියෙන් දැනෙයි.
එසේ නම් මේ යුවතිය කවුද? ඒ අද ඔහුගේ ම බිරිය නොවේද? එදා ඇය යුවතියකි. අද ඇය ගැහැනියකි.
අද ඇය නුරා පිරි බැලුම් හෙළන්නියක නොව දරු සුරතල් බලන්නියකි. ඔහුගේ මුවඟ රැඳුණු ගීයක් ගයමින් එක ම වහලක් යට ඉඳගෙන ඔහුගේ ම දරුවා නළවන එක් ඇසිල්ලක ඔහු පසෙකට වී ඈ දෙස බලාසිටී. මේ එදා තමාගේ අතේ එල්ලී බොළඳ වදන් කී යුවතියම ද? කාලය විසින් කෙතරම් පරිවර්තනයක් කර තිබේ ද? ආදී සිතුවිලි ඔහු ගේ සිතට නැඟෙයි.
මේ මොහොතේ එකිනෙකා ගේ දෑස් ගැටෙයි. තම සැමියාගේ සිතුවිලි හඳුනාගත් ඈ තුළ හටගන්නේ ලැජ්ජාවකි. මේ සියල්ල ආස්වාදය කරන ඔහු එක්තරා මිහිරක් අත් විඳියි.

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නළවනවා
මගේ ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා...”
මෙහිදී “මගේ ම ගීයක්” යන යෙදුමෙන් ගීත රචකයාට ඔහුගේ පදමාලාවක් යන අර්ථයෙන් මේ අනුභූතියට ප්‍රවේශ විය හැකිය. ගායකයාට නම් ඔහුගේ ම ගීයක් ඇගේ මුවෙන් ගැයුණු අයුරින් අත්දැකීමට සමීප විය හැකි ය.
වෙනත් කෙනෙකුට තමා කැමතිම ගීය ගයමින් අද පොඩි පුතු නළවන බවක් අත්විඳිය හැකි ය. කෙසේ වෙතත් දෙදෙනා අතර ඇති ඒකාත්මීයභාවය ඒ යෙදුමෙන් අර්ථවත් වේ.
ඔහු පසෙක වී තව මොහොතක් ඈ දෙස බලා හිඳී. කාලය විසින් මොනතරම් විපර්යාසයන් කර ඇතිද යන හැඟීම ඔහු තුළ හටගනී. ඇගේ භද්‍ර යෞවනය කාලය විසින් උදුරාගනිමින් සිටී. එදා ඔහු දුටු හුරු බුහුටි පෙම්වතිය ගේ චිත්‍රය බොඳවෙමින් පවතී. එහෙත් ඔහුට දැනෙන්නේ එය කාලය විසින් සියලු දෙනාට ම උරුමකර දෙන්නක් ලෙසයි. ඔහු එය උපේක්‍ෂාවෙන් විඳ දරා ගනී.

ඉරට සඳට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්න බැරි ලෙස රූ සිරි
කෙමෙන් මැකී යනවා




කාලය විසින් ඇගේ රූප ශෝභාව උදුරා ගන්නා ආකාරය පිළිබඳව ඔහු තුළ එක්වරම විශ්මයක් හට ගනී. “නෙත් අදහන්නට බැරි ලෙස” නැමැති ප්‍රකාශයෙන් එය මනාව දැනුවත් වේ.
ගීතය කවියට වඩා සංක්‍ෂිප්ත ප්‍රකාශයකි. ඒ නිසා වචන ප්‍රවේශමෙන් පිරිමසාගෙන භාවිතා කළ යුතු වෙයි. සුනිල් සරත් පෙරේරා නම් වූ රචකයා තුළ මේ ප්‍රවේශම්කාරි බව මනාව දක්නට හැකි ය.
එහෙත් කාලයට ඔවුන් ගේ ආදරය උදුරා ගන්නට නොහැකිවී ඇත. එහෙත් දැන් ඔවුන් තුළ පවතින්නේ එදා තිබූ බොළඳ ආදරය නොවේ. ඔවුන් දැන් සිරුරෙන් මෙන්ම වයසින් ද මුහුකුරා ගොස්ය. දුක සැප බෙදාගෙන එකට ජීවත් වීම තුළින් වෙන්කළ නොහැකි ළෙන්ගතු කමකින් ඔවුන් ගේ හදවත් බැඳී ඇත.
ඒ නිසා එදා වගේම වැට අද්දර නාමල් පිපෙයි. ඒ ඔවුන් ගේ නොබිඳුණු ප්‍රේමයේ සංකේතයකි. ඒ අතර එදා පෙම්වතුන් ලෙස ගත කළ අවධිය සිනමාපටයක් ලෙස යළි ඔහුගේ මනසේ දිග හැරෙයි. එක්දවසක් නොදැක සිටියොත්, ලියුමක් නොලැබුණොත්, වින්දා වූ අපරිමිත වේදනාව මෙහිදී ඔහුට සිහිවෙයි. ඒ සොඳුරු මතකය එක්තරා මිහිරි වේදනාවක් ඔහු තුළ ඉතිරි කරයි.
”එදා වගේ තාමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා...”
මේ ගීතය ශ්‍රවණය වන හැම විට ම එක්තරා පාළු ශෝකී බවකින් මගේ සිත තවමත් මට තෝරාගත නොහැකි ය. ඒ මා ද මේ අත්දැකීම විඳි පුද්ගලයකු නිසාවෙන් ද? එසේත් නැත්නම් කොහේදෝ ඈත ලෝකයකින් එන සාංකාවක් නිසා දැයි තේරුම් බේරුම් කරගත නොහැකි ය.
මේ ගීතය කොහෙන් හෝ ඇසෙද්දී මම කුමන රාජකාරියක නිරත වුවද එය නවතා දමමි. එයට කන්දෙමි. ජීවිතය පිළිබඳ උපේක්‍ෂාවෙන් සුසුම් හෙළමි. අමරදේවයන් මේ සඳහා කුමන සංගීතමය ඇසුරක් ලැබුවේදැයි මම නොදනිමි. එහෙත් සුවහසක් ශ්‍රාවකයන් ගේ හද ගැස්ම මොහොතකට නතර කිරීමට එතුමන් සමත් වූ බව නම් සත්‍යයකි.
එක්දාස් නමසිය අසූ පහේ කොළඹ විශ්වවිද්‍යාලයේ “වින්දන කලා උළෙල” මට සිහිවෙයි. මම එදා ඒ කලා උළෙලේ හොඳ ම ගීත රචකයාට හිමි සම්මානය දිනා ගත්තෙමි. මට සම්මානය පිරිනැමුවේ, සුනිල් සරත් පෙරේරා ශූරීන්ය. සම්මානය දෙමින් “හොඳට ලියන්න” යනුවෙන් ඔහු මට කීවේ ය. මම හොඳට ලියුවා දැයි මම නොදනිමි. එහෙත් මම ඔහු ගැන හොඳට ලියමි. මක්නිසාද අනාගත ගීත රචකයන්ට ඔහු ප්‍රදීපාගාරයක් වූ බැවිනි.
Courtesy - Silumina ධම්මික බණ්ඩාර