ජීවිතේ කියන්නේ එක සිදුවීමකින් ගරා වැටෙන දෙයක් නොවෙයි. එක කඩා වැටීමකින් සියල්ල අහිමි වෙන දෙයක් නෙමෙයි... ජීවිතේ කියන්නේ මල් කියා හිතුවට වරදක් නෑ.. මේ මම වගේ... :) එක අහිමි වීමකින් ඔක්කොම ඉවරයි , මගෙ ජීවිතේ අහවරයි, මෙතනින් එහාට මම කියන්නෙ මලමිනියක් විතරයි කියල හිතන ඈයින්ට මම හිතන්නෙ මේ පහතින් තියන ගීය හරිම සොඳුරු පණිවිඩයක් සපයනව.
සිනහ වෙනු මැන
වේදනා පිසදා...
වෙරළ රළ හා තරහ වී නැත
මියුරුසර වෙණ හා බිඳී නැත
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත
සිනහ වෙනු මැන
වේදනා පිසදා...
කඳුල දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි අසන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්..
සිනහ වෙනු මැන
වේදනා පිසදා...
කොයිතරම් නම් සොඳුරුද? අහස සඳු හා තරහ නොගන්නා සේ, වෙරළ රළ හා තරහ නොවන්නා සේ, මියුරු ගීතයක් වීණාව හා අමනාප නොවන්නා සේ , වෙන් වීමකදී අපිට හතුරන් නොවී හැර යන්නට හැකි නම් කොතරම් අපූරුද? අතීතය සමග උරණ වී වස බෝතල් හොයන, පිහියෙන් අනින සමාජයට මේ සරල අපූර්ව වචන පෙල දෙන සොඳුරු පණිවිඩය කොතරම් හරවත්ද? යම් තාක් දුරට බටහිර රටවලට අහිමි වී ගිය දෘඩ සංස්කෘතිය තද සදාචාරය කොතරම් අපූර්වදැයි මට හිතෙනවා. එහි කුහකකම්, ඉරිසියාවන් , අහිමිවීමෙන් පලිගැනීම් අවම වන්නේ එහි අහිමි වීමක් සමග පසු පසින් එන මහා විසාල සමාජ ඛේදවාචකයක් නැති නිසාම නොවේදෑයි මට හිතෙනවා.
වේදනාවන් සමග අත් බැඳ ජීවත් වෙන්නට වෙන්නට අපි එහිම ගිලෙනවා. ඒ පිසදා හිනහ වෙනවිට අප කරා අපත් නොදැනුවත්වම වසන්තය එලැඹෙනවා. ඒ හදවතේ තිබෙන නොසැලෙන ගුණයට , ඉවසීමට සොබාදහම පවා හිස නමන නිසයි. මියුරු ගී අපට ඇසෙන්නේ, බමර ගුම් නද හැඟෙන්නේ එවිටයි. පසුතැවීමෙන් දුක් අනුභවයෙන් අප අතීතයේ හදවත ඔබා ගිල්වා පණ ගසන්නට හැර බලා සිටිනවා. ඉන් මිදුනු දාට වසන්තයයි... හදවත අතීතයෙන් සහ අනාගතයෙන් නිදහස්!
මේ ගීය අහන මොහොතක් පාසා මගේ ඇස් වල කඳුලු පිරෙනවා. මන්ද එතරම්ම ජීවිතය තුල වේදනා පිසදා ඉවසීමෙන් සිනහ මුවින් ජීවත් වන්නට මා උගෙන තිබෙන්නේ ජීවිතයෙන්ම නිසයි.. අතීතය සමග මා කවදාවත්ම තරහ උනේ නෑ. අතීතය මත හඬා වැටුනේ නෑ. දවසින් දෙකින් මා තනිව හැඬූ ඇස් පිසදා, හේබා ගිය හදවත වැරෙන් නැගිටුවා මුවගට සිනහව බලෙන් හෝ ගෙන ආවා. දුක තුනී වෙනයුරු මා බලා සිටියා කැඩපත ඉදිරියේ සිනහ වෙන ජීවිතේ මල් දෙස බලමින්. ඒ අතින් බැලුවම මට ජීවිතේ මල් කියන නම නම් අපූරුවට ගැලපෙනවා කියා හිතෙනවා. අතීතයේ නොයෙකුත් තැන් වල මුරණ්ඩු උන, වරද්ද ගත්, දුක් උන, මා සමගම අමනාප වුන, පසු තැවුන, හැඬුව ජීවිතේ මල් සමග මම කවදාකවත් අමනාප උනේ නෑ. ඈ සමගම මා සිනහ වෙන්නට උගත්තා.
මිනිසුන් මා දෙස බලමින් වෙලාවකට ප්‍රශ්න කරනවා මෙහෙම. 'අනේ ඔයා කොහොමද මෙහෙම ගලක් වගේ හයියට ඉන්නේ...? මෙහෙම හිනා වෙලා ඉන්නේ?' ඒ වෙලාවට නම් මාත් ටිකක් මම ගැනම සැක පහල කර ගන්නවා. මම හිතෙන් ඒ ප්‍රශ්නෙ අහන ඈයින්ටයි සෑක උපදවන මටයි උත්තර දෙනවා.'අතීතය මගෙ හදවතේ නැත..අහස උසට අනාගත සැලසුම් නැත.. '
මේ ගීය නම් ඉතාම සරල බසින් ලියවුන සොඳුරුතම ගැඹුරු දහමක් අපේ ජීවිතයට කියා දෙන පද පෙලක්.
සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ සමග පසුබිමෙන් ගලා යන මියුරු වස්දඬු රාවය පමණක්ම හද තවන නිවන භාවනාවක් වගෙයි. හිත මගෙන්ම අහනවා, ඇයි මෙවන් සොඳුරු ගී දැන් නොලියවෙන්නේ? නොගැයෙන්නේ? එය නම් ජාතියේම අවාසනාවක් !
සංසාරේ අපි