Pages

Monday, December 27, 2010

ඔබ හඬයි කියා සැකයි අත තියන්නටත් බයයි

ඔබ මලක් මලක් මලක්
සුදු සමන් පිච්ච මලක්
සිප ගත්තොත් එක වරක්
පෙති හැලෙයි සිතෙන මලක්

දෙතොලේ
මුවරද සැලෙයි
රස බලන්න මට හිතයි
ඔබෙ දෙතොල්වලට රිදෙයි
ඒ නිසා හිතට බයයි

දෑසේ
සෙනෙහස ගලයි
අතගා බලන්න සිතයි
ඔබ හඬයි කියා සැකයි
අත තියන්නටත් බයයි


ගී පද - සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - රොහාන් ශාන්ත බුලේගොඩ
 
රොහාන් ශාන්ත බුලේගොඩ අද නිහඬ ය. කලකට ඉහත සෑම ගුවන්විදුලි නාලිකාවකම ඔහුගේ හඬ ඇසිණි.
”සඳක් නම් බැසයන්න තිබුණා”
”නිහඬ අරණ දලුමල් පුබුදයි”
”එක්පෙති මලක් විය නුඹ මගෙ අත්දෙකට”


මේ ගීත නෑසෙන දවසක් නැති තරම් විය. එහෙත් එක්වරම ඔහුගේ ගීත නෑසී යන්නට විය. ඔහුගේ දෙවන සංයුක්ත තැටියේ ගීත ශ්‍රාවකයන් වැලඳගත් බවක් නොපෙනිණි. එහෙත් මා මේ ගීතය තෝරාගත්තේ ඔහුගේ දෙවන සංයුක්ත තැටියෙනි. මගේ මතකය නිවැරැදි නම් ඒ තැටිය හඳුන්වාදී තිබුණේ්ද “ඔබ මලක්” යන වෙළඳ නාමයෙනි.
ස්ත්‍රිය මලකට සමාන කිරීම සාහිත්‍ය කලාව බිහිවූ දා පටන්ම දක්නට හැකිවූවකි. ලාංකික සරල ගීතය තුළද එක මලක් වත් ඉතිරි නොවන ලෙසින් ස්ත්‍රී වර්ණනා දක්නට හැකිවිය. එහෙත් සුනිල් ආරියරත්නයන්ගේ මේ පදමාලාව එබඳු අනුකාරක පදමාලාවක් නොව සුවිශේෂ වූවකි. ආදරය රාගය වැනි සංකීර්ණ සිතුවිලි ඉදිරියේ යෞවනයකු මුහුණ දෙන සංකීර්ණ අනුභූතියක් මේ තුළ අන්තර්ගත ය. යෞවනියකට ප්‍රේමය ප්‍රකාශ කිරීමට ගොස් මානසික ආතතියකට මුහුණ දී අවසානයේ මුනිවත රකින යෞවනයකු පිළිබඳ ව අපූර්ව පද්‍ය නිර්මාණයක් ජී.බී. සේනානායකයෝ “පළිගැනීම” නම් කෘතියේ ඉදිරිපත් කළහ.

පෙදෙස වසාගෙන පැතුරුණු
දැඩි නිහඬ බවින් මිරිකුණු මම
ඇගේ රන්වන් දිගටි
මුහුණ දෙස බලා
කරබා ගතිමි

(පළිගැනීම 1946)
ඒ යෞවනයා නිහඬ වන්නේ පරිසරයේ නිහඬ බව විසින් ඔහුගේ ආත්ම විශ්වාසය බිඳ දමන බැවිනි. එහෙත් මේ යෞවනයා තුළ ආශාවන් දමනය වන්නේ තමා අබියස සිටින තරුණියගේ සියුමැළි බව නිසාය.

ඔබ මලක් මලක් මලක්
සුදු සමන් පිච්ච මලක්
සිප ගත්තොත් එක වරක්
පෙති හැලෙයි සිතෙන මලක්


ඇය සමන්පිච්ච මලකි. අනෙක් මල්වලට වඩා භක්තිය ජනිත කිරීමේ හැකියාවක් සමන්පිච්ච මල සතුය. එසේ එය අතිශයින් සියුමැළිය. සිපගන්නට බිය ජනිත කරන්නේ ඒ සියුමැළි බව නිසාමය. තම සුන්දරියගේ මුදු මොළොක් බව හේතුවෙන් තරුණයා තුළ ජනිත වන ආත්ම සංයමය මේ මඟින් මනාව ධ්වනිතවේ.

ඇගේ තොල්පෙති ඔහු තුළ යළි රාගය අවුලවයි. එහි මල් මුව රද උරාබීමේ ආශාවක් ජනිත කරවයි. එහෙත් ඒ දෙතොල්වල ඇත්තේ අසාමාන්‍ය සියුමැළි බවකි. ඒ අසාමාන්‍ය සියුමැළි බව නිසාම ඔහු තැති ගනියි.

 
දෙතොලේ
මුවරද සැලෙයි
රස බලන්න මට හිතයි
ඔබ දෙතොල් වලට රිදෙයි
ඒ නිසා සිතට බයයි


ආශාව හා බිය අතර දෝලනය වන මේ යෞවනයාගේ් හැඟීම් සුනිල් ආරියරත්නයෝ මැනවින් ස්පර්ශ කරති. ඒ සංකීර්ණ හැඟීම අතිශයින් සරල ව්‍යවහාරික බස් වහරකට ගොනුකර ගැනීමට රචකයා සමත් වෙයි.
දැන් ඔහුගේ දෑස් ඇගේ දෑස් සමඟ ගැටෙයි. ඒ දෑස්වලින් ගලා එන්නේ අපරිමිත ආදරයකි. ඒ ආදරයේ මට සිළුටු බව ස්පර්ශ කිරීමට ඔහුට සිතෙයි. එහෙත් ඒ ස්පර්ශයට පවා දරන්නට බැරි සියුමැළි බවක් ඔහු බාහිරව දකී. නැවතත් තැතිගන්නා තරුණයා තම හැඟීම් පාලනය කර ගනී.

දෑසේ
සෙනෙහස ගලයි
අතගා බලන්න හිතයි
ඔබ හඬයි කියා සැකයි
අත තියන්නටත් බයයි


මෙහිදී රචකයා යොදාගන්නා “අත තියන්නටත් බයයි” නැමැති සරල ප්‍රකාශය මෙහිදී ව්‍යංග්‍යාර්ථ නංවන කාව්‍යොක්තියක් බවට පත්වෙයි.
සුනිල් ආරියරත්නයන්ගේ මේ නිර්මාණය අපූරු නිසඳැස් කවියකි. එහෙත් සංගීතඥයකුට යා හැකි දුරක් ඔහුතම නිර්මාණයේ ඉතිරි කර තිබේ. ඒ නිසා තනු නිර්මාණය කිරීමේදී රෝහණ වීරසිංහයන්ට මනා ඉඩ හසරක් අන්තරා කොටස්වලදී ලැබී තිබේ. සමස්ත ගීතයේම පවතින සංයමය සුරක්‍ෂිත කරමින් ගායනා කිරීමට ද බුලේගොඩයෝ සමත් වෙති.
රොහාන් ශාන්ත බුලේගොඩ, ජානක වික්‍රමසිංහ, සමන් ජයනාත් වැන්නෝ ගායක ලොවට එකට පිවිසියෝ වෙති. තාම පණනල අවදිවී ඇත්තේ ජානක වික්‍රමසිංහගේ පමණි. අනෙක් දෙදෙනාටම සංගීතය එපා වී තිබේ. නැතිනම් රසිකයන්ට ඔවුන් එපා වී තිබේ.
වෙන කවදාටත් වඩා මේ ගායකයන් ගැන මා සඳහන් කළේ අප ඔවුන් ගැන ඉමහත් බලාපොරොත්තු තබා ඇති බැවිනි. සමන් ජයනාත් ඉංජිනේරුවෙකි. එහෙත් බුලේගොඩ දකුණේ සිට කොළඹ ආවේත්, ජානක වික්‍රමසිංහ පොළොන්නරුවේ සිට කොළඹ ආවේත් සින්දු කියන්නටය. එහෙත් සිදුවී ඇත්තේ කුමක්ද?
ඒ පශ්චාත් මරණ පරීක්‍ෂණය පසෙක තබා මම නැවතත් ප්‍රශ්නයක් මතුකර ගනිමි. ඉහත ගීතයට සිදුවූයේ කුමක්ද? මෙයද චැනල් මල්ලිලා විසින් නො අසා විසිකර දැමූ තවත් දහසක් ගීත මෙන් අකාලයේ වියෝවූවකි.
ලංකාවේ බොහෝ ගුවන් විදුලි නාලිකාවල ගීත තෝරා ගැනීම අසාර්ථකය. සංයුක්ත තැටියක ගීත බාග අසමින් ඒවා “හීට්” ද නැති ද යනුවෙන් ඔවුහු තීන්දු ගනිති. මොවුහු වැඩි දෙනෙක් ගමෙන් කොළඹට පැමිණ “ටයි” දමාගත් ඇත්තෝ වෙති. නව සංස්කෘතිය, බලෙන් වැලඳ ගත්තෝ වෙති. මාර්කටින් පොරක් වෙන්නට තැත් කරන්නෝ වෙති. (යහපත් මාධ්‍යවේදිහු මේ ගැන කමත්වා!) ගායකයන්ගෙන් කැසට් මුදලාලිලාගෙන් තුඩු පඬුරු ලබන්මෝ වෙති. තළුමරන කුකුළු කටුවලට ආවඩන්නෝ වෙති. සිංහල ගීතයේ මහා භාරකරුවෝ මොවුහුය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මොවුහු බහුතරයක් බූරුවෝ වෙති.