ප්‍රේමයෙහි විප්‍රයෝගයන් හා සම්ප්‍රයෝගයන් සමඟ බැඳුණා වූ ස්වාභාවික වස්තූන් අතර ඉර හඳ තරු අහස, මුහුද හැරුණු විට හන්තාන කඳුවැටියට හිමි වන්නේ සුවිශේෂත්වයකි. එසේම මහනුවර නම් වූ රමණීය නගරය පසුබිම් වූ වෘත්තාන්තයක් තිබේ නම් එහිදී ද හන්තානය අමතක වන්නේ නැත. පේරාදෙණි සරසවිය හා බැඳුණු බොහෝ නිර්මාණයන් හි ද හන්තානය අතහැරෙන්නේ ම නැත.
“හන්තානේ කඳු මුඳුන සිසාරා
පවනක් වී එන්නම්
(ඩබ්ලිව්. ඩී. අමරදේව)
සරසවියේ හෙට විතරයි හමුවන්නේ
(දයාරත්න රණතුංග)
හන්තාන අඩවියේ (නන්දා මාලිනි)
හන්තානට පායන සඳ (අමරසිරි පීරිස්)
හන්තාන කඳු පෙළ හඳට ආවඩා (භද්‍රජී මහින්ද ජයතිලක)
මෙහි සඳහන් වූ අවස්ථාවන්ට වඩා බොහෝ අවස්ථාවන්හි හන්තාන කඳුවැටිය නිර්මාණයන් සමඟ දැඩි ව බද්ධ වී තිබේ. සුදත් ගාමිණි බණ්ඩාරයන් විසින් රචනා කරන ලද්දා වූ මේ නිර්මාණය ආරම්භ වන්නේ ද හන්තාන සිහිපත් කිරීමෙනි.
“හන්තාන දෙසින් එන
මුදු සීත සුළං රැළි
ඔබ තාම හොඳින් හදුනනවානම්”
මේ පේ‍්‍රමයට ද පසුබිම් වී ඇත්තේ සරසවිය හෝ කන්ද උඩරටයි. ඒ කුමක් වුවත් මේ පේ‍්‍රමය උත්පාද වී ඇත්තේ සුන්දර කන්ද උඩරට බව නොරහසකි. සීත සුළඟකින් යම් මිහිරියාවක් විඳින්නා සේම, දැල්වෙන පහනක් නිවා දැමීමට ද හැකිය.
පැරණි ආදරයක මිහිරියාව ඒ සීත සුළඟේ ගැබ් වී පවතී. ඒ ඇය විසින් ඔහුට තිළිණ කළ ආදරය නමැති මුදු සීත සුළඟයි. ඒ සීත සුළඟ සමඟ දෙදෙනා ම එක් ව විඳි රසබර අතීතයක් ඔවුන් සතු ව ඇත.
ඒ මඟින් ඈ ඔහුගේ හදවතේ දල්වා ඇත්තේ බලාපොරොත්තුව නමැති පහනයි. මේ සීත සුළඟට අවැසිනම් ඒ පහන නිවා දැමිය හැකිය. එහෙත් මේ තරුණයා උත්සාහ කරන්නේ ඈ අතින් දැල්වූ බලාපොරොත්තුවේ පහන් සිළුව දෙදෙනා ම හොඳින් හඳුනන සීත සුළඟට හසුව නිවී යාමට නොදි රැකගන්නා බවයි.
“මේ පහන ඔබේ සුරතින් දැල් වූ
මං බෝම ප්‍රවේශම් කරගන්නම්”
මේ පේ‍්‍රමය ඔහු ප්‍රවේශම් කර ගත්ත ද ඇය අතින් ප්‍රවේශම් වූ බවක් දක්නට නොහැකි ය. ඇය ඔහු ව අමතක කර දමා තිබේ. දැන් ඈ පිළිබඳ මතක සිහිනෙන් ගෑ සුවඳක් පමණක් ම ය.
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැලපෙනවා”
ශෝකයෙන් වැලපීම, මහවැලි ගඟට සංසාර පුරුද්දක් වී තිබේ. ගංගාව ශෝකයෙන් වැලපෙන්නේ ආත්ම ගණනක් පුරාම පෙම්වතුන් ගේ වියෝවීම් දැකීමෙනි. ඇතැම් විට ඒ පෙම්වතුන්ගේ හදවතින් ගැලු කඳුළු ගංගා ජලයට වඩා වැඩි විය හැකිය. එහෙත් මේ පෙම්වතා අතීත මතක සුවඳ ඉව කරමින් ගං ඉවුරේ ඇවිද යන ආකාරය රචකයා විසින් නිරූපණය කරනු ලබයි.
“මං තාම මහා වැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා”
ඔහු වැලි පාර දිගේ හවසට ඇවිදින්නේ කුමකට ද? අතීත මතකයන් යළි යළිත් සිහිපත් කරමින් ඇය දල්වන ලද පහන නොනිවා රැක ගැනීමටයි.
දෙදෙනා තවදුරටත් හොඳින් හඳුනන්නේ නුවර වැවයි. පියවර ගණන් කළ හැකි නම් ඔවුන්ගේ පියවර ලක්ෂයකට වඩා මේ වැව රවුමේ ඇඳී ඇතුවා විය යුතුය. දෑත් පටලාගෙන එකිනෙකාට තුරුළු ව හිඳ ඔවුන් පෙරහර නරඹන්නට ඇත.
එහෙත් අද ඒ වැව රවුමේ ඔහු තනිවී සිටී. පෙරහර නරඹන දෙනෝදාහක් දෙනා අතර ඔහු හුදෙකලා ජීවියෙකි. එහෙත් ඔහුගේ දෑස් නොදැනුවත්වම සෙනඟ අතර සොයන්නේ ඇගේ දෑසයි. ඇය ද පෙරහර බලන්නට පැමිණ ඇතිදෝ යන සැකය ඉබේ ම ඔහු ගේ හිතට නැඟෙයි. ඔහු තමා පසුකර ඇදෙන දහසක් දෙනා දෙස උවමනාවෙන් බලන්නේ එබැවිනි.
“තනි වී අද මා මේ වැව රවුමේ
දළදා පෙරහර සිරි නරඹනවා
මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
එහි හිඳිනු ඇතැයි නිකමට හිතෙනා...”
තමන්ගේ සිත තමන්ම රවටා ගැනීම හැරුණු විට ඔහුට වෙනත් විකල්පයක් නොමැත. මේ මහා සෙනඟ අතර ඇය සිටින්නී යැයි ඔහුට හැඟෙන්නේ එබැවිනි.
ස්ත්‍රී පුරුෂ පේ‍්‍රමය පුදුමාකාර මනෝභාවයන් ජනිත කරවන්නකි. තම පෙම්වතිය සිටින ඉසව්වෙන් හමා එන සුළඟටත් ආදරය කරන පෙම්වත්තු සිටිති. තමන් නිතර දෙවේලේ ගැවසුණු ස්ථාන ගහකොළවලට ආදරය කරන පෙම්වත්තු සිටිති.
“මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
(මිල්ටන් මල්ලවාරච්චි)
අදත් කොළඹ නගරයේ මගේ ආදරය දිනු ස්ථාන කීපයක් පවතී. මා හැරුණු විට කොළඹ නගරයේ ඒ ස්ථාන හා මාර්ගවලට වෙනත් කිසිවකු ආදරය කරතැයි මම නොසිතමි. කොළඹට පැමිණි විටෙක, ඒ සුවිශේෂ පාරවල් වල විවේක ඇති විටෙක මම ගමන් කරමි. මා එසේ කරන්නේ වසර තිහකට පමණ එපිට සොඳුරු හා අඳුරු මතකයන් මෙනෙහි කරමින් ආස්වාදය ලබනු පිණිසයි.
සුදත් ගාමිණී බණ්ඩාර වූ කලී ඈත පිටිසරින් මතු වූ කවියෙකි. සත් කෝරළයේ ජීවත්වන මට ද ඔහු මෑතකදී හෝ ඈතක දී ඇසුරු කිරීමට ලැබී නොමැත. එහෙත් කලාව වෙනුවෙන් ඈත අතීතයේ සිට ඔහු අවංක ව වෙහෙස මහන්සිය දැරූ පුද්ගලයකු බව මම අසා ඇත්තෙමි. ඔහුගේ නිර්මාණ වරින්වර මට ඇස ගැටී තිබිණි. කෙසේ වෙතත් ඔහු මීට වඩා ඇගැයීමට ලක් කළ යුතු පුද්ගලයකු බව මගේ පෞද්ගලික හැඟීමයි.
කරුණාරත්න දිවුල්ගනේ වූ කලී ඉතා ප්‍රවේශමෙන් ගී පද මාලා තෝරා ගන්නෙකි. ඒ ප්‍රවේශම ඔහුගේ ඇතැම් නිර්මාණ සාර්ථක වීමට මෙන් ම අසාර්ථක වීමට ද බලපා තිබේ. එහෙත් මේ තෝරා ගැනීම ඔහුගේ හොඳ තෝරා ගැනීමකි.
හන්තාන කඳුවැටිය, නුවර වැව, ඊයේත් අදත් හෙටත් එක ලෙස පවතිනු ඇත. එහෙත් අනේකවිධ පේ‍්‍රමවන්තයන් ගේ සිත් සතන්හි මේ අජීවී වස්තු හා බැඳුණු දුක්ඛ දෝමනස්සයන් මෙන්ම සුඛාස්වාදයන් ද නොමැකී සටහන් ව ජීවිතාවසානය තෙක් රැඳී පවතිනු ඇත. මේ මොහොතේ මගේ සිත තුළ චිත්ත රූප රාශියක් ඇඳෙයි. හන්තාන දෙසින් සීතල සුළඟක් හමා එයි.
නුවර පෙරහර විදී දිගේ ගමන් කරයි. වැව් බැම්මට පිටදී පෙරහර නරඹන යෞවනය ඉක්මවමින් සිටින පුද්ගලයෙකි. එහා මෙහා යන දෙනෝදාහක් සෙනඟ දෙස ඔහු බලා සිටියි. තමා ළඟ කලක් සිටි පේ‍්‍රමවන්තිය ඒ සෙනඟ අතරින් එක්වරම මතු වී නොපෙනී යයි. පෙරහරේ පන්දම් එළියෙන් ඔහුගේ දෑස් අග කඳුළු බිඳුවක් දිලිසෙයි.