Pages

Friday, October 14, 2016

හිමි සරණ නැති කල නීතිය සිටියි පිහිටට

නිත්‍යනුකූල විවාහයකදී බිරියට හා දරුවන්ට තමා වෙතින් ඉටු විය යුතු යුතුකම් පැහැර හරින සැමියෝ වත්මන් සමාජයේ බොහෝ වෙති. එවන් අවස්ථාවල බිරියට හා දරුවන්ට නීතියේ පිළිසරණ පැතිය හැකි වුව ද බොහෝ දෙනෙක් ඒ පිළිබඳව නොදනිති. විවාහයකදී තමා සතු වන අයිතිවාසිකම් හා ඊට අදාළ නීතිය පිළිබඳව දැන සිටීම වැදගත් ය. මේ පිළිබඳව නීතිඥ සංගමයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය සැකැසේ.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව කාන්තාවක් විවාහයකට පත්වීමත් සමඟ බිරියක ලෙස හඳුන්වන අතර එමඟින් සමාජයේ මූලික හා ස්වාභාවික වැදගත්ම ඒකකය වන පවුල නිර්මාණය වේ. අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රකාශනය අනුව ද, පවුල යන්න මිනිස් සමාජයේ මූලික හා ස්වාභාවික කණ්ඩායම ලෙස පිළිගැනේ.

වලංගු විවාහයක් යන්න නීතිය ඉදිරියේ හුදු ගිවිසුමක් පමණක් නොව, එමඟින් බිරිය සහ සැමියා දෙදෙනාටම එකිනෙකා හා යුතුකම් හා වගකීම් රැසකින් බැඳෙති.

නූතන සමාජ ආර්ථික බලවේග, අධිනාගරීකරණය, ගෝලීයකරණය වැනි බොහෝ හේතු චිරාත් කාලයක් අප රටේ සාමකාමී ස්වරූපයක පැවැති පවුල් ඒකක කඩා බිඳ දැමීමකට හේතු වී තිබේ. එවැනි අවස්ථාවක වඩාත් අසරණ වන්නේ බිරිය හා ඇය විසින් ජනිත කළ දරුවන් ය.

නෛතික පිළිසරණ ලැබීමට නම් විවාහය නිත්‍යනුකූල විය යුතු යි. ඉන් අදහස් කරන්නේ විවාහ ලියාපදිංචි කිරීමේ පනත, මුස්ලිම් විවාහ හා දික්කසාද කිරීමේ පනත, උඩරට විවාහ පනත හා සම්ප්‍රදායික විවාහය තුළ ක්‍රිස්තු භක්තිකයන් සම්බන්ධ විවාහ පනත අනුව සිදු වන විවාහයන්ය. බිරියට නොසලකා හැරීම යන්නෙන් ඇය නඩත්තු කිරීම හා පෝෂණය කිරීම පැහැර හැරීම පමණක් නොව වද හිංසාවලට භාජනය කිරීම ද ඇතුළත් ය.

වෛවාහික යුතුකම් ඉටු කරවා ගැනීම සඳහා බිරියකට සහන පැතිය හැක්කේ 1999 අංක 37 දරණ නඩත්තු පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සහන අයැදීමයි. එහි සඳහන් පරිපෝෂණය කිරීමේ නෛතික යුතුකම අනුව වත්කම් ඇති කලත්‍රයකු විසින් වත්කම් නැති කලත්‍රයකු නඩත්තු කිරීම පැහැර හළ විට නඩත්තු නියෝගයක් දීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පවරා ඇත.

අන්‍යොන්‍ය කැමැත්තෙන් වෙන්ව සිටීම අනාචාරයේ යෙදීම යන කරුණු එකී හිමිකම අහෝසි වීමට හේතු වේ. එම පනතේ 10 හා 11 වගන්ති ප්‍රකාරය ලිඛිත පෙත්සමක් හා දිවුරුම් පෙත්සමක් මඟින් එකී ඉල්ලීම කළ හැකි අතර, ඉල්ලීමේ දෝෂ සහගත භාවයන් මත කිසිදු අධිකරණයකින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප නොකළ යුතු බවට ද විධිවිධාන යොදා ඇත. එම පනතේ 12 (02) වගන්ති ප්‍රකාරව විත්තිකරු අධිකරණය මගහැර සිටින්නේ නම් ඔහු නොමැතිව විමසීම පැවැත්විය හැකි අතර එහිදී කරන නියෝගයකට එරෙහිව අභියාචනයක් කළ ද නඩත්තු ගෙවීම නතර නොවන බව නඩත්තු පනතේ 14 වන වගන්ති ප්‍රකාරව කියවේ.

නඩත්තු ගෙවීම පැහැර හරින තැනැත්තා පදිංචි අධිකරණ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ හැකි අතර, එකී පනතේ 4 වන වගන්ති ප්‍රකාරව භාරකරුට ඉල්ලුම්කරුවන්ට හා දරුවන්ට ඇති අයිතිය ද ප්‍රකාශ කර ඇත. 99 අංක 37 නඩත්තු පනතේ 2 (2) වගන්ති ප්‍රකාරව වියපත් දරුවෙකු හෙවත් වයස අවුරුදු 18 – 25 අතර දරුවන්ටද නඩත්තු ලබාගැනීමේ හැකියාව තිබේ.

වගඋත්තරකරුගේ වැටුප තහනම් කිරීම නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් දණ්ඩන පැනවීම, වැටුප් තහනම් කිරීමේ නියෝගයකට අවනත නොවන සේවා යෝජකයන්ට දඩ ගැසීම මඟින් දඬුවම් කිරීම ද තැපැල් කාර්යාල හා බැංකු මඟින් නියමිත නඩත්තු මුදල් අය කර ගැනීම සඳහා ද ප්‍රතිපාදන සලස්වා ඇත.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ විවාහ වූ තැනැත්තියකට ක්වායි මණ්ඩල අධිකරණ මඟින් නියෝගයක් ගත හැකි අතර වග උත්තරකරු එකී නියෝගයකට අවනත නොවුවහොත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් කර එය ක්‍රියාත්මක කරගත හැකි ය.

සැමියා විසින් බිරියට කරන ශාරීරික හා මානසික වධ හිංසාවලදී ඇයට පිහිට ලැබිය හැකි ය. එවැනි විටෙක අපරාධ නීතිය මෙන් ම සිවිල් නඩු විධාන නීතිය මඟින් ගත හැකි සහන රැසකි‍.

සිවිල් හා අපරාධ නීතිය යටතේ බිරියකට සහන අයැදිය හැකි අවස්ථා ගණනාවකි.

ශාරීරික වධ හිංසාවට හා ශාරීරික වධහිංසා කිරීමට බිය ගැන්වීම, සාධාරණ හේතුවකින් තොරව ලිංගික හැසිරීම් ප්‍රතික්ෂේප කිරීම, වගඋත්තරකරු සමාජ රෝගයකින් පෙළීම හෝ පැමිණිලිකාරිය ලිංගික හැසිරීම සඳහා යෝග්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් නොසිටීම

අධිකරතර හා අපේක්ෂිත සාමාන්‍යයට වඩා ලිංගික හැසිරීම් සඳහා ඉල්ලීම් කිරීම , අසාමාන්‍ය හා අස්වාභාවික ලිංගික හැසිරීම, අඛණ්ඩව අසභ්‍ය වචන පාවිච්චිය හා බැණවැදීම, අඛණ්ඩ ශාරීරික හිංසා සමඟ අසභ්‍ය වචනයෙන් බැණවැදීම, සැමියාගේ යුතුකම් ඉටු නොකර පැහැර හැරීම, ඔරොත්තු නොදෙන තරමේ ‍බලහත්කාරකම් පෑම, තම බිරිය ලෙස පිළිගැනීමට වගඋත්තරකරු ප්‍රතික්ෂේප කිරීම, අන් අය ඉදිරියේ බි‍රිය අවඥාවට ලක් කිරීම, පදනමකින් තොරව චෝදනා නැඟීම, අනාචාරයේ හැසිරෙනවා යැයි බිරිය කෙරෙහි අස්ථාන චෝදනා නැඟීම, වගඋත්තරකරු අන් පිරිමින් සමඟ අසාමාන්‍ය ලිංගික සබඳතා පැවැත්වීම, අනාචාරයේ හැසිරීම. මේවායින් ඇතැම් කරුණු සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේද 16 යටතේ ක්‍රියා කළ හැකි ය. දණ්ඩ නීති සංග්‍රහයේ 483 ප්‍රකාරව සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පුළුවන. බලහත්කාරකම් සෑම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 372 අනුව ක්‍රියා කළ හැකි ය.

එසේ ම ව්‍යවස්ථාදායකය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අවම කර, සාමය ප්‍රවර්ධනය කිරීමේ අදහසින්, 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත හඳුන්වා දෙන ලදී.

බිරියකට නොසලකා හරින අවස්ථාවක සිවිල් නීතිය යටතේ ද පිහිට පැතිය හැකිය. ඉන් ප්‍රධානම සහනය නම්, දික්කසාදයක් සඳහා නඩු පැවරීමට ඇති හිමිකමයි. කැමැත්තෙන්ම විවාහය, සම්පූර්ණ කිරීමට වගඋත්තරකරු පැහැර හරින අවස්ථාවකදී ක්‍රියා කළ හැකි වන්නේ නීතිය අනුව දික්කසාද නඩු නිමිත්ත ලෙස සලකන ද්වේෂ සහගත ලෙස අතහැර යෑම.

මේ අනුව අපරාධ නීතිය මෙන් ම සිවිල් නීතිය යටතේ ද අගතියට පත් බිරියකට විවිධ සහන පැතිය හැකි බව පෙනී යන නමුත් ඇතැම් නීති වර්තමාන ප්‍රායෝගික තත්ත්වයන් අනුව ව්‍යවස්ථාදායකය විසින් යළි සලකා බැලිය යුතු වේ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ

Courtesy - Silumina