Pages

Friday, August 01, 2014

'ඇහැලේපොල කුමාරිහාමි' අද සිට තිරයේ..

දේශීය සිනමාව අම්මා අප්පා නැති 
අවජාතක දරුවකු බවට පත්කරලා
- අධ්‍යක්‍ෂ සුගත් සමරකෝන් 

ඇහැලේපොල පවුල විනාශ වුණේ 
එදා අපේ අයගේ කුළල් කා ගැනීම නිසා

සුගත් සමරකෝන්ගේ ඇහැලේපොල කුමාරිහාමි චිත්‍රපටය අද (01 වැනිදා) සිට දිවයිනේ සිනමාශාලා හතළිස්‌ පහක තිරගත කිරීම ඇරඹේ. රටපුරා සිනමා ශාලා පනස්‌ පහක ප්‍රදර්ශනය කිරීම සඳහා පිටපත් පනස්‌ පහකට අවසර ඉල්ලා සිටිය ද, ජාතික චිත්‍රපට සංස්‌ථාව විසින් ගෙන ආ නියෝගයකට අනුව සුගත් සමරකෝන්ට අවසර ලැබී තිබුණේ පිටපත් තිස්‌පහකට පමණි.

සුගත් පිටපත් පනස්‌පහකට අවසර ඉල්ලා සටන් කළේය. අවසානයේ ප්‍රශ්නය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට ගියේය. සුගත් සමරකෝන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපතිවරයා ජාතික චිත්‍රපට සංස්‌ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතාට උපදෙස්‌ දුන් බව සුගත් සමරකෝන් ප්‍රකාශ කරයි.


ඉන්පසු ඇහැලේපොල කුමාරිහාමි නියමිත පිටපත් තිස්‌පහට අමතරව තවත් පිටපත් දහයක්‌ සඳහා සංස්‌ථාවේ අනුමැතිය හිමිවිණි. කෙසේ වෙතත් ජාතික චිත්‍රපට සංස්‌ථා සභාපතිවරයා සමඟ චිත්‍රපට අධ්‍යක්‍ෂ සුගත් සමරකෝන් ඇහැලේපොළ කුමාරිහාමි අරභයා මත ගැටුමක නිරත වී සිටිති. සුගත් සමරකෝන් සමඟ අප සම්මුඛ සාකච්ඡාවකට එක්‌ වූයේ ඉහත කී පසුබිම මධ්‍යයේ ය.

ඇහැලේපොල කුමාරිහාමි නිසා ඔබ ඉන්නේ සිනමාව ගැන කළකිරීමකින්ද?

ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන් තුන්දෙනා ඝාතනය කරලා මේ අවුරුද්දට වසර 200 ක්‌ සම්පූර්ණ වෙනවා. රටේ පුරවැසියකු ලෙස රටට ආදරය කරන කෙනෙක්‌ විදිහට මම මේ චිත්‍රපටය කළා. හරිනම් මේ චිත්‍රපටය කළ යුත්තේ රජය විසින්. ඒත් පෞද්ගලිකව අපි මේ චිත්‍රපටය කරලා අද පරිප්පු කනවා.

දැන් ප්‍රශ්නය විසඳිලා. වැඩිපුර පිටපත් දහයකට අවසර ලැබී තිබෙනවා.

චිත්‍රපට හතරක්‌ පහක්‌ හදන මුදල් ප්‍රමාණයක්‌ මේ චිත්‍රපටයට වැය කළා. එහෙම කරලා පිටපත් තිස්‌පහකින් හතළිහකින් නිෂ්පාදන වියදම ආවරණය කරන්න ලැබෙන්නේ නැ. මේක කලාවක්‌ විතරක්‌ නොවේ. කර්මාන්තයක්‌. ජනාධිපතිතුමාට පසුගිය දවසක ඇහැලේපොල කුමාරිහාමි විශේෂ දර්ශනයක්‌ පෙන්නුවා. එතුමා චිත්‍රපටය ගැන සතුටු වුණා. ඒ වෙලාවෙම දුරකථනයෙන් කතා කරලා අශෝක සේරසිංහ චිත්‍රපට සංස්‌ථා සභාපතිවරයාට නියෝග කළා මේ චිත්‍රපටය වැදගත්, සාධාරණය ඉටු කරන්න කියලා. ඒත් සභාපතිවරයා අපට වැඩිපුර දුන්නේ පිටපත් දහයයි. හරිනම් පිටපත් විස්‌සක්‌ වැඩිපුර දෙන්න ඕනෑ. පිටපත් හැත්තෑපහකට වඩා අපෙන් සිනමාශාලා ඉල්ලා තිබෙනවා. දැන් සිද්ධ වෙලා තියෙන්නේ හතළිස්‌ පහකට යන්න. චිත්‍රපට සංස්‌ථා සභාපතිගෙ පිටපත් තිස්‌පහේ සිSමාව අපව හිර කළා.

ජනාධිපතිවරයා කෙළින්ම සභාපතිවරයාට ප්‍රකාශ කළේ නැද්ද පිටපත් විස්‌සක්‌ වැඩිපුර දෙන්න කියලා.

නෑ. අමාත්‍යාංශ ලේකම්ට හා සභාපතිට කිව්වා සාධාරණය ඉටු කරන්න කියලා. 2013 ජනවාරි මාසයට කලින් අපි මේ චිත්‍රපටය ආරම්භ කළේ. නීතිමය ලියවිලි අත්සන් කළේ ජනවාරි මාසයට කලින්. ඔය තිස්‌පහේ සීමාව ගෙන ආවේ 2013 ජනවාරි මාසයට පසුව හැදෙන චිත්‍රපටවලට. එහෙම නම් අපේ චිත්‍රපටයටත් පිටපත් 55 ක්‌ දිය යුතුයි. ලියවිලි ඉදිරිපත් කර අවසරය ලබා ගන්න කියා ජනාධිපතිතුමා කිව්වා. අපි අපේ ලියවිලි ඉදිරිපත් කළා. ඒත් උදේ ඉඳලා රස්‌තියාදු කරලා හවස අපට අවසර දුන්නේ පිටපත් දහයක්‌ වැඩිපුර පෙන්වන්න විතරයි. අපි මේ චිත්‍රපටය කළේ ජාතික හැඟීමකින්. ඒත් සභාපතිවරයා විජාතිකයෙක්‌ හැසිරෙන ආකාරයට තමයි මේ වෙනස්‌කම ඇහැලේපොල කුමාරිහාමිට කළේ.

පළමුව ඔය පිටපත් තිස්‌පහේ සීමාවට එරෙහිව සටන් කළේ සිරි පැරකුම් වෙනුවෙන් සෝමරත්න දිසානායක. ඒ සටනේදී ඔබ ඔහු සමඟ සිටියද?

එතැනදී මම හිටියේ නෑ. ඒත් ප්‍රතිපත්තිමය ලෙස අපිත් එතැන ඉන්නවා. ඒත් ඇහැලේපොල කුමාරිහාමි නිෂ්පාදක ගයාන් රණවීර එදා සෝමරත්නල සමඟÊමේ සටනේ හිටියා. ඒකට පළිගන්න තමයි අද ඇහැලේපොල කුමාරිහාමිට සංස්‌ථා සභාපති තහංචි දමන්නේ. මේක පෞද්ගලික පළිගැනීමක්‌ බව ජනාධිපතිතුමාටත් මම පැවසුවා. බලන්නකෝ ඉදිරියේදී ඒ අය තෝරාගත් චිත්‍රපටවලට තිස්‌පහේ සීමාව අදාළ වෙනවද කියලා. නීතියක්‌ නෑ. චිත්‍රපට සංස්‌ථා සභාපතිවරයාට ප්‍රතිපත්තියක්‌ නෑ. ඉහළින් නියෝග කළාම කරනවා. නැත්නම් වැඩ කරන්නේ නෑ. ආත්ම ගෞරවයක්‌ නෑ. ජනාධිපතිවරයා ඉදිරියට ගිහිං අඬලා තමයි අද වැඩක්‌ කරගන්න වෙලා තියෙන්නේ. ඒත් මේ අය එතුමාගේ උපදෙස්‌ ක්‍රියාත්මක කරන්නෙත් නෑ. සංස්‌ථා සභාපතිවරයා හැසිරෙන්නේ හරියට චණ්‌ඩියෙක්‌ වගේ.

ජාතික චිත්‍රපට සංස්‌ථාව සමඟ එහි සභාපතිවරයා සමග ගැටුම් ඇතිකර ගනිමින් චිත්‍රපට කරන්න පුළුවන්ද?

නෑ. මින් ඉදිරියට විජය කුවේණි, ඇහැලේපොල කුමාරිහාමි වැනි චිත්‍රපට ජනතාවට දකින්න ලැබෙන එකක්‌ නෑ. බොහෝ දෙනෙක්‌ කරන එකක්‌ නෑ. සභාපතිවරයාටම චිත්‍රපට හදන්න කියන්න. හොඳ චිත්‍රපට නොකළා කියා ආණ්‌ඩුව අපට නඩු දාන්නද. අපිට අපේ නිෂ්පාදකවරුන්ට ඕනෑ තරම් ව්‍යාපාර තියෙනවා කරන්න. කරවල විකුණනවනේ. මම ලංකාවට ආවේ එංගලන්තයේ ඉඳලා. හොඳ චිත්‍රපට කරන්න. ඒත් එක එක්‌කෙනාට පාච්චල් වෙන්න වුවමනාවක්‌ නෑ. ආයෙත් එංගලන්තයට ගිහින් වැඩක්‌ පලක්‌ කරගත හැකියි. ජනතාවට හින්දි කොපි පෙන්න පෙන්න ඉන්න තමයි සභාපතිට සිද්ධ වෙන්නේ. ඕනෑම දෙයක්‌ පිටරටින් ලංකාවට ආනයනය කරන්න පුළුවන්. ඒත් සිංහල චිත්‍රපට ආනයනය කරන්න බෑ. මකුළුදැල් බැඳිලා තිබුණු සිනමා ශාලාවල ඒ මකුළුදැල් කැඩුවේ සිරිපැරකුම්, කුසපබා වැනි චිත්‍රපට. එය කර්මාන්තයට ආලෝකයක්‌ වුණා.

ඇහැලේපොල කුමාරිහාමි චිත්‍රපටයට එරෙහිව කුමන්ත්‍රණයක්‌ තියෙනවා කියා ඔබ විශ්වාස කරනවාද?

මේක ඉතිහාසය පාසල් විෂයෙන් ඉවත් කළ මුග්ධ දේශපාලකයන් සිටි රටක්‌. රටේ දරුවන් බැට්‌මෑන්ලා, සුපර්මෑන්ලා ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. මද්දුම බණ්‌ඩාර වැනි වීර චරිත ගැන සොයා බලන්න, දැනුවත් වෙන්න දරුවන්ට අවස්‌ථාවක්‌ නැති වුණා. අපේ දරුවන්ට යළි ඉතිහාසය ගැන ඉතිහාසයේ විරුවන් ගැන දැන ගන්න චිත්‍රපට හදද්දී ඒ චිත්‍රපට රට පුරා වෙසෙන ප්‍රේක්‍ෂකයන්, සිනමා ශාලාවලින් ඉල්ලුම් කරද්දී එය වළක්‌වනවා නම්, තහංචි දමනවා නම් එතැන තියෙන්නේ කුමන්ත්‍රණයක්‌. අපේ ඉතිහාසය දරුවන්ගෙන් වසන් කරන්නයි මේ අය උත්සාහ කරන්නේ. සිනමා කර්මාන්තයට නීතිරීති දාලා සිර කරන්න බෑ. සිනමාකරුවන්ගේ මව ජාතික චිත්‍රපට සංස්‌ථාව. පියා රජය. අද මේ අම්මා අප්පා දෙදෙනා තමන්ගේ දරුවන් නිසි ලෙස රැක ගන්නවද නෑ. අම්මා අප්පා නැති දරුවන් වගේ සිනමාකරුවෝ අද අවජාතක තත්ත්වයට පත්වෙලා.

ඇයි ඔබ තනි පුද්ගලයෙකුටම දොස්‌ නඟන්නේ?

ඔව්. තනි පුද්ගලයකුගේ වුවමනාව මත තමයි මේ තහංචි දාන්නේ. ඔහු හිතුවක්‌කාරී, අත්තනෝමතික ලෙස පළිගන්නවා. ඒත් රටේ මිනිස්‌සු කළකිරෙන්නේ රජය කෙරෙහි. ඒක රජයට අවාසියි. එදා ජනාධිපතිතුමා මේ නිලධාරියාට සැරෙන් කතා කළා. පිටකොන්දක්‌ තියෙන මිනිහෙක්‌ නම් තනතුරින් ඉවත් විය යුතුයි. ආණ්‌ඩුව බලයට ගෙනෙන්න උදව් කළා කියලා ජනාධිපතිවරයාගේ මතයට එරෙහිව හයිය පෙන්වන්න මේ පුද්ගලයාට බැහැ. සභාපතිවරයාගේ මේ තක්‌කඩි ක්‍රියාකලාපයට එරෙහිව සෑම සිනමාකරුවෙක්‌ම නැගී සිටිය යුතුයි. ඒත් ඉතිං එදාවේල ටුවර්ස්‌ වගේ පිටපත් දහයකින් පහළොවකින් චිත්‍රපට පෙන්වන අයට නම් මෙය දැනෙන්නේ නැහැ.

එදා විජය කුවේණි චිත්‍රපටයෙන් කුවේණිය දෙස ඔබ සානුකම්පිතව බැලුවා. ඇහැලේපොල කුමාරිහාමි ගැන කතා කළොත්.

ඔව් සදාකාලික දේශපාලනික බල අරගලයේ සදානුස්‌මරණීය ෙ€දවාචකය තමයි ඇහැලේපොල කුමාරිහාමි. පසුගිය රජයන් සාහිත්‍ය විෂය පාසල් විෂයධාරාවෙන් ඉවත් කිරීමේ පාපය අදත් අපි විඳවනවා. හයවැනි ශ්‍රේණියේ ඉතිහාස පොතේ තියෙනවා කුවේණී මිනී මස්‌ කෑ යක්‍ෂණියක්‌ කියා. මම ඒ ගැන වසර ගණනාවක්‌ පර්යේෂණය කළා. මේ මතය නිවැරැදි කළා. කුවේණිය යක්‍ෂණියක්‌ නොවේ. මිනීමස්‌ කෑවේ නෑ. ඇය එකල අපේ රටේ තිබූ යක්‍ෂ ගෝත්‍රයේ කාන්තාවක්‌. ඒ වගේම ගෝත්‍රයක්‌ තමයි නාග ගෝත්‍රය. ඇහැළේපොළ රට පාවා දුන්නා කියා කියනවා. නෑ. ඔහුව ඒ තත්ත්වයට ගෙන ආවා. රාජසිංහ රජු දමිළ වූ නිසා සිංහල පවුල මරා දැමුවා කීවා. මම ජාතිවාදී නෑ. රාජසිංහ රජුගේ මනස එදා සිංහල දෙමළ නිළමේලා අවුල් කළා. අපේම අයගේ කුළල් කා ගැනීම නිසා අහිංසක දරු පවුලක්‌ විනාශ වුණා. ඒ නිසා තමයි ඉංග්‍රීසීන්ට රට යටත් කර ගන්න හැකි වුණේ. මේ කතාව ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ පැහැදිලිව තියෙනවා. නිද්‍රdශීලී පුරවැසියන්ව සුගත් සමරකෝන් චිත්‍රපටයක්‌ තුළින් අවදි කර ඇති බව චිත්‍රපටය නැරඹු මාඳුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළා. ජැක්‌සන් ඇන්තනී මෙතෙක්‌ කළ චරිතවලින් විශිෂ්ටතම චරිතය තමයි මේ චිත්‍රපටයේ රාජසිංහ රජු ලෙස කළේ. අනුර ධර්ම සිරිවර්ධන ඇහැලේපොල ලෙසත්, දුලානි අනුරාධා සහ ළමා නළු පුමුදිත උදය කුමාරත් හොඳ රංගනයක්‌ ඉදිරිපත් කරනවා. බුද්ධදාස විතානච්චි වාරියපොළ සුමංගල හිමි ලෙස අති විශිෂ්ට රංගනයක නියෑළෙනවා. ලකී ඩයස්‌ගේ රංගනයත් විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි. අද (01 දා) සිට ඇහැලේපොල කුමාරිහාමි ප්‍රදර්ශනය වෙනවා. අද පළමු දර්ශනය 10.30 ට සෑම සිනමා ශාලාවකම නොමිලේ නැරඹීමට අපේ නිෂ්පාදකතුමා අවස්‌ථාව ලබා දී තිබෙනවා.

අජිත් අලහකෝන්  - Divaina