Pages

Sunday, July 20, 2014

හොඳ NANNY කෙනෙක් තෝරා ගමු

රැකියාවක නිරත වන කාර්යබහුල අම්මා කෙනකුට තනියම බබාගේ වගකීම දරන්න බැහැ. ඒ වගේ වෙලාවට නැනී කෙනෙක්ගේ උදවු අවශ්‍ය වෙනවා. ඒත් නැනී කෙනෙක් තෝරාගන්න එක හිතුමතේට කරන්න බැහැ.

හොඳ මානසික සෞඛ්‍යයකින් යුතුවීම

නැනී කෙනෙක් හොඳ මානසික සෞඛ්‍යයකින් යුතු කෙනෙක් වෙන්න ඕන. දරුවට අනතුරක්, රිදවීමක් නොකර එයාව බලා ගන්න තරම් එයාගේ මානසිකත්වය සංවර්ධනය වීම ඉතාම වැදගත්.

ලෙඩ රෝගවලින් තොරවීම

නැනී කෙනෙක් ලෙඩ රෝගවලින් තොරවීම ඉතාම වැදගත්. නැත්නම් බබාට විවිධ කුෂ්ඨ, සරම්ප ආදිය බෝවෙන්න පුළුවන්.
ඒ වගේම හදවත් රෝග, රුධිර පීඩනය, ඇදුම, වලිප්පුව වගේ රෝගවලින් තොර කෙනෙක් වීමත් වැදගත්. නමුත් ඒ වගේ රෝග තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමත් ඉතාම වැදගත්.

පිරිසුදුකම

නැනී තමයි බබා ළඟ නිතරම ඉන්නේ. ඒ නිසා එයාගේ පිරිසුදුකම ඉතාම වැදගත්. නියපොතු කපල, දත් මැදලා, පිරිසිදුවට ඇඳපු කෙනෙක් විය යුතුයි.
ඒ වගේම වැසිකිළි ගිහින් සබන් දාලා අත සෝදන එකත් අනිවාර්යයි.

දරුවා පිළිබඳ අවධානය

දරුවා පිළිබඳ දක්වන අවධානයත් ඉතාම වැදගත්. දරුවා යන්නේ කොහෙද? එයා මොනවා හරි අහුලලා කටට දාගන්නවද? තුවාල කරගන්නවද? විවිධ ආයුධ වගේ දේවල් අරගෙන සෙල්ලම් කරනවාද කියලා හොයලා බැලීමට ඇයට හොඳ අවධාන ශක්තියක් තිබිය යුතුයි.

හොඳ පෙනීම

හොඳ පෙනීමක් වගේම හොඳින් කන් ඇහෙන කෙනෙක් වෙන්න ඕන. බබාගේ බත් එකේ ගලක් වුණත් තිබ්බාම එයාට ඒක අඳුනගන්න පුළුවන් වෙන්න ඕන.ඒ වගේම බබා මොනවා හරි ඉල්ලුවාම ඒක ඇහෙන, බබා නින්දෙන් ඇහැරිලා හඬද්දි ඒ සද්දෙ ඇහෙන කෙනෙක් වීමත් වැදගත්.

නැනී කෙනෙකුට බබා බාරදීලා යන අම්මා කෙනෙක් වුණත් නැනී ගැන වඩාත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. බබාව නාවන්නේ නැනී නම් බබා එයාට පුරුද වෙනකල් තනියම බබාව නාවන්න දෙන්න එපා.