Pages

Saturday, December 21, 2013

ඡේසු උපත බෙත්ලෙහෙමේදී සිදු වුණේ ඇයි?

බෙතේලෙහෙම පිළිබඳව වූ මුල්ම සටහන ඇත්තේ ක්‍රි.පූ. 1400 දීය. ජෙරුසලමේ රජතුමා විසින් ඔහුගේ අධිපතියා වූ ඊජිප්තුවේ රජතුමාට බිට්‌ ලයිම් හෙවත් බෙත්ලෙහෙම් නගරය උදව් ඉල්ලා ලිපියක්‌ යවා ඇත. අලුත් ගිවිසුමේ ලුක්‌තුමාගේ සහ මතෙව්තුමාගේ ශුභාරංචියට අනුව නාසරතයේ ඡේසු උපත ලබා ඇත්තේ බෙත්ලෙහෙමේ දීය. ඊශ්‍රායලයේ විශාලම නගරය ලෙස සැලකෙන්නේ බෙත්ලෙහෙමයි. මෙය පාලනය කරන ලද්දේ අගෝස්‌තුස්‌ සිසර් නම් අධිරාජ්‍යයාය. ඔහු තම රටවැසියන් ලියාපදිංචි කිරීමට නියෝග කළේය.ඒ අණට අනුව සියලුම වැසියෝ තම තමන්ගේ උපන්ගම් බලා පිටත් වූහ.

ජෝසප් හෙවත් ජුසේතුමා අයත් වූයේ දාවිත්ගේ වංශයටයි. බයිබලයේ සඳහන් අන්දමට ජුසේතුමා අපූරු සිහිනයක්‌ දුටුවේය.

දාවිත්ගේ පුත් ජෝශප් ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න. මන්දයත් ඇය ගැබ් ගෙන ඇත්තේ ශුද්දාත්මයාණන්ගේ අනුහසින්ය. ඇය පුතෙකු බිහි කරන්නීය. උන්වහන්සේට ඡේසුස්‌ යන නාමය තබන්න. මන්දයත් සිය සෙන ඔවුන්ගේ පාපවලින් මුදාගන්නේ එතුමාණන්ය. (ශු.මතෙව් 1 ( 20 ( 21)

ජුසේතුමා නින්දෙන් දුටු සිහිනය බාර ගත්තේය. දේව සැලැස්‌මට අවනත වූයේය. පසුදා ඔහු මරියතුමිය සොයා ගියේය. මේ වන විට මරියතුමියද අපූරු ප්‍රාතිහාර්යක්‌ ලබා සිටියාය. එක්‌තරා දවසක ගාබ්‍රියල් නම් වූ දේවදූතයා මරියතුමිය සොයා පැමිණයේය.

මරියාවෙනි, ඔබ දෙවියන්වහන්සේගේ වරප්‍රසාද ලද්දෝය. ඔබ පුතෙකු ලබති. ඔහු ශ්‍රේෂ්ඨයෙකු වේ. ඔහු දෙවියන්වහන්සේගේ පුත්‍රයාය. මේ බව ඇසූ මරියතුමිය එසේ නම් මම ස්‌වාමින් වහන්සේගේ දාසිය වෙමියි කීsවාය. ඒ ඇසූ දේව දූතයා සතුටින් යන්නට ගියේය.

මතෙව්ට අනුව නාසරතයේ ජීවත්වුණ ඡේසුතුමාගේ මව්පියන් බෙත්ලෙහෙමට පැමිණි අවස්‌ථාවේදී ඡේසු බිලිඳා උපත ලබා ඇත. මහා හෙරොද් අධිරාජ්‍යයා ජුදාවන්ගේ රජු බෙත්ලෙහෙමේදී උපත ලබා ඇතැයි ප්‍රකාශයක්‌ නිකුත් කරමින් වයස අවුරුදු දෙකට අඩු දරුවන් මරා දමන්නට නියෝගයක්‌ නිකුත් කරන ලදී.

ජුඩියන් කඳු වැටියේ දකුණු දිග කොටසේ මුහුදු මට්‌ටමේ සිට මීටර් 775 ක්‌ ඉහළින් බෙත්ලෙහෙම පිහිටා ඇත. ගාසා තීරයට සහ මධ්‍යධරණි මුහුදට කිලෝ මීටර් 73 ක්‌ ඊසාන දිගින් පිහිටි බෙත්ලෙහෙම ආසන්නයේ ටෙල්අවිව් නගරය පිහිටා ඇත. ඊශ්‍රායලය ජෙරුසලම අම්මාන් ජෝර්දානය වැනි රටවල් සහ බෙයිට්‌ජාලා බෙයිට්‌ සාහෝර් යන සුළු නගර අතර අයිඩා සහ ආසා යන සරණාගත කඳවුරුද බෙත්ලෙහෙමට ඇතුළත් වේ.

ජෝසප් හෙවත් ජුසේතුමා අයත් වූයේ දාවිත්ගේ වංශයට හා පෙළපතටයි. ජුසේතුමාට මරියමව්තුමිය සමග බෙත්ලෙහෙම් පුරයට යන්නට සිදු වූයේ ඔහු එම පෙළපතට අයත් නිසාය. ජුදයේ බෙත්ලෙහෙම දාවිත්ගේ වංශය, දාවිත්ගේ නුවර හා දාවිත්ගේ සිංහාසනය යනුවෙන් සඳහන්ව ඇත. ජුදෙව් ජනතාවගේ බලාපොරොත්තුව වූයේ දාවිත්ගේ වංශයෙන් මෙසියස්‌වරයාණෝ දාවිත්ගේ නුවර උපදින බවයි. ඡේසුස්‌ වහන්සේගේ උපත සමග මෙම අදහස ඉෂ්ට විය. ඡේසු බිලිඳා බිහිවූයේ ගව ලෙනකය. එම කාලයේදී මෙම ප්‍රදේශවාසීන් සත්ව පාලනයේ යෙදී සිටියහ. ඡේසු උපත සිහි ගන්වනු වස්‌ මෙම ප්‍රදේශයේ කතෝලික පල්ලි කීපයක්‌ ඉදිකොට ඇත. අදටත් එඬේරුන් මෙම ප්‍රදේශයේ බැටළුවන් වෙළඳාමේ යෙදෙති.

මෙම ප්‍රදේශය මුල් කර ගෙන ඉදිවී ඇති නිවාස ඉදිරිපිට ගුහාවක හැඩය ඇති කොටසක්‌ ඉදි කොට ඇත. මෙම කොටස සතුන් ආරක්‌ෂාවට සහ ගබඩා කටයුතු වෙනුවෙන් යොදා ගෙන ඇත. නැටිවිට්‌ ප්‍රදේශයේ පිහිටි මේ අන්දමේ ගුහාවක ඡේසු දරුවාගේ උත්පත්තිය සිදු වූ නිසාම එම සිද්ධිය සිහිපත් කිරීමට මේ අන්දමේ ගුහා ස්‌වරූපයෙන් නිවාස ඉදිකොට ඇත. උත්පත්තිස්‌ථානය පිළිබඳව වූ අදහස්‌ දෙකක්‌ ඇත. මරියමාතාව විසින් ඡේසු බිලිඳා බිහි කරන ලද්දේ තරුවක්‌ පොළව මත සටහන් වූ ස්‌ථානයකය. ශුද්ධ වූ ජස්‌ටින් මුනිඳුන් හෙවත් ජස්‌ටින් මාර්ටියර් සඳහන් කරන්නේ උත්පත්තිය සිදු වූයේ ගුහාවකය. ඡේම්ස්‌ගේ ශුභාරංචියේ සඳහන් කරන්නේ මෙම ස්‌ථානය සහ තරුවක්‌ පොළව මත සටහන් වූයේ එකම ස්‌ථානයක බවයි.

ඡේසු දරුවාගේ උපත මුලින්ම දැන ගත්තේ සමාජයේ දුප්පත් ජන කොටසක්‌ වූ එඬේරුන්ය. රාත්‍රි කාලයේ බැටළුවන් රැක බලා ගන්නා එඬේරුන් වෙතට දෙවියන්වහන්සේගේ දූතයෙක්‌ පැමිණියේය. මම ඔබට ඉතා සතුටුදායක පුවතක්‌ රැගෙන ආවෙමි. මෙතෙක්‌ ඔබගේ ගැලවුම්කරුවාණන් වූ යේසුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේ අද බෙත්ලෙහෙමේදී උපත ලැබීය. උන්වහන්සේ රෙදිවලින් ඔතා ගව ඔරුවක බහා සිටිති. එඬේරන් මහත් සේ සතුටට පත් වූහ. ඔවුන් බෙත්ලෙහෙමට ගොස්‌ කුමරු පිළිගත්හ. දරුවාගේ උපතින් දින අටක්‌ ගෙවුණු තැන මුලින් පැමිණි ගාබ්‍රියල් දේවදූතයා සඳහන් කළ අන්දමට ඡේසුස්‌ යෑයි නම් තබන ලදී.

මෙම අවස්‌ථාවේදී උන්වහන්සේ බැලීමට විදේශයකින් පිරිසක්‌ ජෙරුසලමට පැමිණියහ .ජුදයන්ගේ රජු ලෙසින් නව ජන්මය ලත් දරුවා බලන්නට අපි පැමිණියෙමු. තරුව පෙරදිගින් දැක අපි ආවෙමු යෑයි කීහ. මේ බව දැනගත් හෙරෝද් රජු කලබලයට පත් වූයේය. ශාස්‌ත්‍රකරුවන් ගෙන්වා ඔබතුමන්ලා ගොස්‌ කුමරු සොයා ගෙන මටද ඒ ඉසව්ව දන්වා සිටින්න. මමද ඔහුට නමස්‌කාර කරන්නෙමියි කීහ. හෙරෝද් රජුගේ උපදෙස්‌ මත ශාස්‌ත්‍රවන්තයෝ කුමරු බලන්නට පිටත් වූහ. පෙරදා දුටු තරුව දිස්‌ වූ ගවලෙන අසල ඔවුන් නතර වූහ. මරියතුමියට සහ දරුවාට නමස්‌කාර කළහ. රැගෙන ආ භාණ්‌ඩ තෑගි ලෙස දී මේ පුවත හෙරෝද් රජුට දන්වා සිටියොත් කුමරුගේ ජීවිතයට අනතුරක්‌ වන්නට ඉඩ ඇති නිසා ඒ බව නොදන්වා සිටින්නට තීරණය කළහ. ඒ නිසාම ඔවුන් වෙනත් මගකින් ගම් රට බලා ගියහ.

මෙහි පැරණි නගරය පිහිටා ඇත්තේ නගර මධ්‍යයේය. මෙහි පිහිටි සම්පූර්ණ නිවාස සංඛ්‍යාව අටක්‌ වන අතර එක්‌ නිවාසයක්‌ පමණක්‌ මුස්‌ලිම් වේ. මොසෙයික මෝස්‌තරයන්ට අනුව මෙම නිවාස ඉදි කොට ඇත. මෙම මෝස්‌තර වෙනුවෙන් වූ දැනුවත් බවට ප්‍රසිද්ධිය ලබා ඇත්තේ කිතුදහම වැළඳගත් ප්‍රථම රෝම අධිරාජ්‍යයා වූ කොන්ස්‌ටන් ටයින්ගේ මවයි. පැරණි දේවස්‌ථානයන්හි පිහිටි මොසෙයික මොස්‌තර ඇගේ අධීක්‌ෂණය යටතේ නිර්මාණය වී ඇත. පැරණිs නගරයේ මුළු ජනගහනය පන්දහසක්‌ පමණ වේ.

බෙත්ලෙහෙම් ප්‍රදේශයේ පිහිටි පැරණිම දේවස්‌ථානය වන්නේ නැටිවිට්‌ නම් වේ. මෙම දේවස්‌ථානයද රෝම අධිරාජ්‍යයාගේ මවගේ අධීක්‌ෂණය යටතේ නිර්මාණය විය. මේ වන විට නැටිවිට්‌ දේවස්‌ථානය ප්‍රතිසංස්‌කරණය කොට ඇත. එය ක්‍රි.ව. 530 දී ජස්‌ටිනියන් අධිරාජ්‍යයා විසින් ප්‍රතිසංස්‌කරණය කරන ලදී. නැටිවිට්‌ දේවස්‌ථානය වන්දනාකරුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති පූජනීය ස්‌ථානයක්‌ වන අතර පලස්‌තීන පොලිසිය විසින් මෙය ආරක්‌ෂා කරනු ලබයි. ක්‍රි. ව. 614 දී පර්සියානුවන් විසින් මෙය විනාශ කරන ලදී. 1009 වසරේදී පාලනයට පත් අල් හකිම්ගේ කාලයේදී මෙම දේවස්‌ථානයට කිසිදු හානියක්‌ සිදු නොවීය. එයින් දේශීය මුස්‌ලිම් සහ කිතුනු බැතිමතුන් අතර පැවැතියා වූ සහජීවනය මැනවින් ප්‍රදර්ශනය වේ.

බෙත්ලෙහෙම බලා නත්තල් කාලයෙදී සංචාරක වන්දනාකරුවන් ඇදෙන අතර මෙම ප්‍රදේශය පාලනය වන්නේ පලස්‌තීනයෙන්ය.

පුන්‍යා චාන්දනී ද සිල්වා - Divaina