Pages

Sunday, April 07, 2013

පිය මනිනවා නොවේ පානැගෙයි මාවතේ ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ

සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ
වැහි වළාකුලක්‌ නෑ පෙනෙන තෙක්‌ මානයේ
හද සසල වී ගියත් එදා දුටුව හීනයේ
නෑ ළතැවුලක්‌ මගේ චන්ද කින්නරාවියේ

අස්‌වැන්න ගොඩගසා තිබූ කමත වේලිලා
ගෙට ගන්න හිතක්‌ නෑ එහි ගිහින් පේවිලා
මට ඇහෙන්න ගී නොගයා මද සුළඟෙ පාවෙලා
ඇවිදින් කාහල්ල පුංචි කුරුළු හාමිලා

පියමනිනවා නොවේ පා නැගෙයි මාවතේ
ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ
තව හිතන්න කිසිවක්‌ විහඟුනි නෑ මගේ හිතේ
තෙපිත් ඉගිලියන් අහසට නොසිට කෑ පතේ

පද රචනය - වී.ජී.රෝහණතිස්ස
තනුව - සමන් වීරකෝන්
ගායනයන - ඉන්දික ප්‍රසාද්

සඳකිඳුරිය ගැන කෙතරම් කවි ගී ලියෑවී ඇත්ද... තමන්ගේ පෙම්වතිය චන්ද කින්නරාවියට උපමා කරන පෙම්වතුන් අනන්තයි අප්‍රමාණයි. මේ පෙම්බරයන් තම පෙම්බරිය දකින්නේ සඳ කිඳුරිය වගේම රූප සම්පත්තිය ඇත්තියක්‌ විදිහටයි... එහෙව් පෙම්වතිය... නොසිතූ විදිහට ඔහු හැර ගියොත්... දරාගන්න පුළුවන්ද බැහැ... පෙම්වතාගේ හිත.... ඇය වෙනුවෙන් ඉකිබිඳින්න පටන් ගන්නවා...

සිත අතරමං වෙලා රුදුරු හිම්හානයේ

වැහි වළාකුලක්‌ නෑ

පෙනෙන තෙක්‌ මානයේ

හද සසල වී ගියත් එදා දුටුව හීනයේ

නෑ ළතැවුලක්‌ මගේ

චන්ද කින්නරාවියේ

ගිම්හාන කාලය හරිම රුදුරුයි... හිරු ප්‍රචණ්‌ඩයි... වැස්‌සක්‌... වළාකුලක්‌ දකින්නවත් නෑ.... මේ පෙම්වතාගේ හිතත් ඒ වගේ... වසන්තය පහව ගිහින්... ගිම්හානය උදාවෙලා... හදවත සසලයි... ඔහු... සඳ කිඳුරිය වැනි රූසපුව ඇති යුවතියකට ආදරය කළා... ඒත්.... මිනිසා සමග වාසයට ගැළපෙන්නැති නිසා සඳකිඳුරිය යන්න ගිහින්... ඇගේ රූප සොබාවට... ආදරය කළ... වශී වූ ඔහුගේ හිත... අද අතරමං වෙලා....

මේ ගීය ලියුවේ ගොඩකවෙල කොස්‌නාතොට වී. ජී. රෝහණතිස්‌ස... සබරගමුව කවි සමාජයේ ආරම්භක සාමාජිකයෙක්‌ වන රෝහණතිස්‌ස ගොඩකවෙල රෝහණ මැණික්‌ අධිපතිවරයා... රාජ්‍ය මැණික්‌ සංස්‌ථාවේ පස්‌වැනි නිත්‍ය සාමාජිකයා...

මම මේ ගීය ලියලා අවුරුදු පහළොවක්‌ විතර ඇති. මගේ තාත්තා මාතර, අම්මා ගොඩකවෙල... මේ ගැමි අත්දැකීම් තමයි මම ගී රචනා කරද්දී යොදාගන්නේ... මේ ගීයටත් ගැමි පරිසරයේ රූපක යොදාගත්තා. රෝහණතිස්‌ස ගීය ගැන එසේ පැවැසුවා.

අස්‌වැන්න ගොඩ ගසා තිබු කමත වේලිලා

ගෙට ගන්න හිතක්‌ නෑ එහි ගිහින් පේවිලා 

මට ඇහෙන්න ගී නොගයා මද සුළඟෙ පාවෙලා 

ඇවිදින් කාහල්ල පුංචි කුරුළු හාමිලා


මේ පෙම්වතා ගොවි තරුණයෙක්‌... අස්‌වැන්න ගෙටගත් පසුව තමයි මේ ගැමියෝ ආවාහ විවාහ කර ගන්නේ...


අස්‌වැන්න වෙනුවෙන්ම ඔවුන් පේවෙනවා. ඒත් දැන් ඇය ගිහින්... ඔහු දමා ඇය යන්න ගිහින්... අස්‌වැන්න ගොඩගැසූ තැන එහෙමමයි... කමත වේලිලා ගිහින්... අස්‌වැන්න ගෙට ගන්න ඔහුට හිත දෙන්නෙ නෑ... වී සුවඳට පුංචි කරුල්ලෝ... කිරිල්ලියෝ එනවා... උන්ගේ කිචි බිචි නාදයත් දැන් මේ පරාජිත පෙම්වතාට කරදරයක්‌... ඒ නිසා ඔහු කුරුල්ලන්ගෙනුත් ඉල්ලා සිටිනවා මට දැන් වී වලින් වැඩක්‌ නෑ... ඇවිල්ලා මේ වී ටික කාලා පලයල්ලා... ඒත් මට ඇහෙන්න ගී නාද නම් කරන්න එපා....

මම සිංදු හැත්තෑවක්‌ විතර ලියලා තිබෙනවා. වික්‌ටර් රත්නායකයන් ගීත පහක්‌ ගයනවා. ප්‍රෙඩී සිල්වා සමුගන්න කලිනුත් මගේ ගීයක්‌ ගැයුවා. සඳ අසිරිය නමින් මම විරිඳු ගී කැසට්‌ එකතුත් කළා... මම ගීත ලියන්නේ වාහනේ යන ගමන්... හුදෙකලාව වාහනය පදවද්දී හිතට නිර්මාණ එනවා...

පියමනිනවා නොවේ පා නැගෙයි මාවතේ

ලොව නැවතිලා වගේ නීරසයි ජීවිතේ

තව හිතන්න කිසිවක්‌ විහඟුනි නෑ මගේ හිතේ

තෙපිත් ඉගිලියන් අහසට නොසිට කෑපතේ

මේ පෙම්වතාට දැන් හැම දෙයක්‌ම එපා වෙලා ගමන් කරන්නෙත් ඕනෑවට එපාවට... පෙම්වතිය තුරුළු කරගෙන ආදර බස්‌ දොඩද්දි ලෝකය හරිම ලස්‌සනට පේනවා...

ජීවිතේ හරිම රසවත්... ඒත්... විරහවකදී... පෙම්වතුන්ට දැනෙන්නේ ලෝකය නතරවෙලා වගේ... ජීවිතේත්.... කිසිම රසයක්‌ නෑ... මේ පෙම්වතාටත් එහෙමයි... ඇය ගැන... ආදරය ගැන හිතන්න... කිසිම දෙයක්‌ ඔහුගේ හිතේ ඉතිරිවෙලා නෑ... මගේ වී ටික කෑවා නම්... තවත් මෙහි නොසිට ඉගිලිලා අහසට පලයල්ලා.... අවසානයේ ඔහු කුරුල්ලන්ට කියනවා...

මම මේ සිංදුව ලියලා චන්දන ලියනාරච්චිට දුන්නා... ඔහු ගීය ගයන්න බාරගත්තා.... ඒත් හදිසියේම විදේශගත වුණා... ගීය ගැයුනේ නෑ... ඒ අතර ඉන්දික මල්ලි අපේ ගෙදර ආවා.... ඉන්දික මගේ ඥතියෙක්‌ වෙනවා... වගේම මම ඉගෙන ගත් ගොඩකවෙල රාහුල විද්‍යාලයේ කනිෂ්ඨ සිසුවෙක්‌ව හිටියා.... ඒ හිතවත්කම මත ඉන්දික මල්ලි මගෙන් ගීයක්‌ ඉල්ලුවා.... චන්දන ගීය නොගැයූ නිසා මම ඒ පදටික ඉන්දික ප්‍රසාද්ට දුන්නා.... මුලදී මේ සිංදුව හරිම ලස්‌සනයි. තබ්ලාවට, වයලීනයට මුල්තැන දුන්නා. ඒත් දැන් නම් වෙස්‌ටර්න් කරලා.... රෝහණ තිස්‌ස නෝක්‌කාඩුවකුත් පළ කළා....

කෙසේ වෙතත් පද මාලාවට ඔබින තනුවක්‌ ගීයට හිමිවී තිබෙනවා... ගීය ගයන ඉන්දික ප්‍රසාද්... තුරුණු ශක්‌ති සබරගමුව දිස්‌ත්‍රික්‌කයේ ප්‍රථම ස්‌ථානය ලැබූ තරුණයා... සමස්‌ත ලංකා තරගයේ සිව්වැනියා... සුපිරි තරුවක්‌ නොවුණත් ඉන්දික.... හොඳ හඬක්‌ තිබෙන.... ඉදිරි ගමන පැහැදිලි තරුණයෙක්‌.

අජිත් අලහකෝන් - Divaina