Pages

Thursday, October 25, 2012

කාසි නැත්නම් ආදරෙත් පරාදයි!

ගැහැනුන්ගේ ආදරය කිරීමේ කලාව

ඇගේ මීන චංචල දෑස දෙස ඔහුට තවත් නිමේෂයක්වත් බලා සිටින්නට බැරි විය.දේදුනු දෙකක් වන් ඇහිබැමිවලට යටවුණු ඒ දිගටි දෑස මතට නැවී “ආදරෙයි”යැයි කියන්නට ඔහුට නොනිත් ආශාවක් උපන්නේය.ඔහුගේ ආදරය ඈ පිළිගනිවීද?ජීවිතයේ දිගු ගමන යන්නට ඇයගේ සහය ලැබේවිද.මේ කිසිවක් ඔහු දන්නේ නැත.විසඳාගත නොහැකි වුණු ගැටලුවකට මැදිවුණු ඔහුගේ දෙඇස් ඈතින් පෙනෙන කඳු පංති අතර නතර විය.එවිට ඔහුට මැවි මැවී පෙනුණේ සීතල මීදුමට හසුවුණු ඇගේ නාරි ලාලිත්‍යයයි.එතැනින් දෑස් ඉවත් කරගත් හෙතෙම මෑතින් පෙනෙන ගහකොළ දෙස බලා සිටියේය ඔහුට එකවර ඇගේ සියුමැලි දෙතොල් සිහිගැන්විණි.දැන් ඉතින් විසුමක් නැත.බලන බලන හැම අතම සිටින්නේ ඇයයි.අසන හැම හඬකමරැඳී තිබෙන්නේ ඇගේ සිනහවයි. උසුලාගන්නටත් බැරි තරමට පොහොසත් ඔහුගේ ආදරයට සතේ අතේ නැති දුප්පත්කම බාධාවක් වේදැයි කියා යළිත් ඔහු සිතුවේය.ආදරයෙන් උමතු වුණු ඔහුගේ දෑස් මත අවසානයේදී ඉතිරි වුණේ හිරු බැස යන අහසේ ඉහිරුණු රත් පැහැය පමණි. 

ගැහැනියකගේ ආදරය දිනාගැනීමට පිරිමියකු ධනවතකු විය යුතුමද?සල්ලි තිබූ පමණටම කෙනකුගේ ආදරය දිනාගත නොහැකි යැයි කීවේ කලකට ඉහතදීය.දැන් කියන්නට සිදුව තිබෙන්නේ එහි අනෙක් පැත්තය.සල්ලි නැති තැන ආදරයක් ද නැති බවයි.එසේ කියන්නේ බ්‍රිතාන්‍ය මුල්කර ගත් වෙබ් අඩවියකි.අන්තර් ජාලය ඔස්සේ පවත්වනු ලැබූසමීක්‍ෂණයකින් අනතුරුව වෙබ් අඩවිය කියා සිටින්නේ පිරිමියකුගේ අතේ මිල මුදල් යහමින් ගැවසෙන්නේ නැත්නම් ඔහුටකාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගන්නටත්,එය සාර්ථකව පවත්වාගෙන යන්නටත් බැරි බවකි.සමීක්‍ෂණයට තොරතුරු ලබාගත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙනි.38%ක්ම පිරිමින් කියා සිටියේ තමන් තම සහකාරිය සමඟ සබඳතා පවත්වාගෙන යන්නේ තමන්ගේ ආර්ථික ශක්තිය පදනම් කරගෙන බවයි.එය කාන්තාවන් සතුටුවන සීමාවක නොතිබුණහොත්,ඒ මත ඔවුන් අතර තිබෙන සියලු ආදර සම්බන්ධතා ඇනහිටින බව ද ඔවුහු කියා සිටියහ.

ගැහැනුන් වැඩියෙන්ම සොයා බලන්නේ තම සහකරුවන්ගේ බැංකු ගිණුම්වල විස්තර බව ද අනාවරණය වී ඇත.ස්ත්‍රී  පුරුෂ සම්බන්ධතා ශක්තිමත් අන්දමට පවත්වාගෙන යන්නට බැංකු ගිණුම තීරණාත්මක සාධකයකි.බ්‍රිතාන්‍ය ගැහැනුන් 45% ක්ම සිටින්නේ ඒ රාමුව තුළය.පිරිමින් තම සහකාරියගේ බැංකු ගිණුමේ තොරතුරු ගැන සොයා බලා එයට අනුව ආදර සම්බන්ධතා ගොඩනඟන්නේ සාපේක්‍ෂව අඩුවෙනි. එය 30% ක් පමණ වන බව සමීක්‍ෂණයෙන් හෙළි වී තිබේ. 

ගැහැනුන්ගේ සිතීමේ සහ ආදරය කිරීමේ කලාව ගැන හොඳ හොඳ තොරතුරු හෙළි වී ඇත. හදිසියකදී මුදල් වුවමනා වුවහොත් කාන්තාවන්ට ඒ සඳහා සරණක් තිබිය යුතුය.එයට සුදුසු කෙනකු සමඟ තමන් දීග යා යුතු බව ඔවුන්ගේ සිතුවිල්ලයි.20% ක් ගැහැනුන් සිතන්නේ ඒ විධියටය.මූල්‍ය වශයෙන් අස්ථාවර බවක පසුවන පිරිමියකුට බහ දෙන්නට අකැමැති කාන්තාවන් ප්‍රමාණය 63% කි. පිරිමින්ගේ ණය – තුරුස්වලටත් ගැහැනුන් කැමැති නැත.ණය නැති කෙනකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නට හෝ එවැනි කෙනකු සමඟ සරණ යන්නට හෝ කාන්තාවන් වැඩියෙන් කැමැතිය.ඒ ක්‍රමයට ජීවිතය සහ ආදරය ගැන සිතන කාන්තාවන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 33% පමණ වේ. 

මෙවැනි තත්ත්වයක් තුළ තමන්ගේ වත්පොහොසත්කම් ගැන අනෙක් පාර්ශ්වයට තොරතුරු කියන්නට අකැමැති පිරිසක් ද සිටිති. එයට ගැහැනුන් මෙන්ම පිරිමින් ද අයත්ය. අවංකවම තමන් අත ඇති මුදල සහ බැංකු ගිණුම ගැන අනෙක් පාර්ශ්වය සමඟ කතා කරන්නට කැමැති පිරිස 20% ක් පමණ වේ. තමන්ගේ මිල මුදල්, තත්ත්වය ගැන අනෙක් පාර්ශ්වයට තොරතුරු කියන්න අකැමැති ප්‍රමාණය 20% කට ආසන්න බව ද හෙළි වී ඇත. වෙබ් අඩවියට ලැබී ඇති තොරතුරු අනුව තවත් වැදගත් සාධකයක් හෙළිදරව් වී තිබේ. එනම් රැකියා තත්ත්වයයි. හොඳ රැකියාවක් ශක්තිමත් ප්‍රේම සම්බන්ධයකට අත්තිවාරමකි. මිල මුදල්වලට වැඩි ආශාවක් දක්වන බ්‍රිතාන්‍ය ගැහැනු තමන් ආදරය කරන හෝ ආදරය කරන්නට යන හෝ පිරිමියාගේ රැකියාවෙහි ස්වභාවය ගැන සොයති. එය ස්ථිර එකක් ද නැත්නම් අස්ථිර එකක් ද? එය කෙබඳු තරාතිරමක වෘත්තියක් ද කියා දැනගන්නට ගැහැනු කැමැත්තෝය.හොඳ රැකියාවක් තිබේ නම් ඉහළ ආදායමක් ලබන්නට බැරිකමක් නැත.එය ජීවිතය සතුටින් තබාගන්නට හේතුවකි.අවදානම්වලදී විය පැහැදම් කර ගොඩඑන්නටත් මඟකි. ඒ නිසා කාන්තාවෝ පිරිමින්ගේ රැකියාව දෙස ද උකුසු ඇසින් බලා සිටිති. 

සමීක්‍ෂණයෙන් අනාවරණය වුණු තොරතුරු සම්බන්ධයෙන්මනිසුපර්මාර්කට් හි ප්‍රධානී කෙවින් මවුන්ට්ෆෝර්ඩ් කියන්නේ මෙබඳු කතාවකි. 

“සමීක්‍ෂණ කළේ ආර්ථික අපහසුතා බහුල කාලපරිච්ඡේදයකයි.ප්‍රේම සම්බන්ධයක් පවා රඳා පවතින්නේ මුදල් සහ සෙසු වත්කම් ප්‍රමාණය මතයි.ගැහැනියක් හැම විටම කල්පනා කරන්නේ තමන්ගේ වියදමවත් පියවා ගන්න පුළුවන් මුදලක් පුරුෂයාට ලැබෙනවාද කියන එකයි.ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. සියල්ල මුදලට යටවීම හොඳ දෙයක් නෙවෙයි.” 

සමීක්‍ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ සමාජයේ අද පවතින සැබෑ ස්වරූපයයි. එයට අනුව පිරිමියකුට ලැබෙන කුමක් හෝ රැකියාවක නියැලෙන්නට දැන් ඉඩක් නැත. හොඳ සහකාරියක් ලබන්නත්, ඈ සමඟ පවතින ප්‍රේමය මුළුමහත් දිවිය තුළම පවත්වා ගන්නත් විශාල වියදමක් දැරිය යුතුය.ඒ මුදල හරි හම්බ කරගන්නට බැරි වුවහොත් ජීවිතය අගාධයක් දෙසට ඇදෙන්නටත් බැරි නැත.මේ නිසා පිරිමින්ට සිදුව තිබෙන්නේ වැඩියෙන් මහන්සි වෙන්නටය.එය හුදෙක් රැකියාවක නිරතවන අවධියේ පමණක් කළ යුත්තක් නොවේ.ඉගෙන ගන්නා ළාබාල අවධියේ සිටම ඊට හුරුවිය යුතුය.එසේ නැතිව “නිකමකු” වුවහොත් මහපොළොවේ අඩිය ගසන්නට බැරිවනු ඇත. 

මේල් ඔන්ලයින් ඇසුරිනි 
මංජුලා විජයරත්න