Pages

Wednesday, June 20, 2012

සිත සතුට ගෙනාවේ ඔබමය මගේ හිතත් ඹබ ලග නැවතිලා....

සිංහල සිනමා ගීතයේ වසන්ත කාලය කොතැන දැයි ඇසුවහොත් මා දෙන පිළිතුර නම් හැට හැත්තෑව දශකද්වය බවයි.
හැට හැත්තෑව දශකද්වයන්හි ගීත කලාව හිස මත තබා ගැනීම මානසික ව්‍යාධියක් දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය.
එය ව්‍යාධියක් වුවත් සුන්දර ව්‍යාධියකි. ඒ නිසා එයට ප්‍රතිකාර අනවශ්‍ය බව මගේ හැඟීමයි.
එදා සිනමා ශාලාවලින් අප එළියට ආවේ මොහොතකට පෙර ඇසූ ගීත මුමුණමිනි.
චිත්‍රපට නිසා ගීත ජනපි‍්‍රය වූවා මෙන්ම ගීත නිසා චිත්‍රපට ද ජනපි‍්‍රය විය.
හින්දි තනුවල වචන සපයා නිමැවුණු ගීත ද ස්වාධීන තනුවලට වචන සපයා නිමැවුණු ගීත ද වචනවලට තනු සපයා නිමැවුණු ගීත ද එකල බහුල විය.
සාමාන්‍ය සිනමා ගීත සම්ප්‍රදාය බිඳ දැමු සිංහල චිත්‍රපට කීපයක් ම හැත්තෑව දශකයේ තිරගත වූවා මට මතක ය.
“කළු දිය දහර” “දෑස නිසා” “පෙම්බර මධු” “රජගෙදර පරෙවියෝ” “දුහුළුමලක්” “බඹරු ඇවිත්” “වසන්තයේ දවසක්” වැනි චිත්‍රපට එක පෙළට මගේ මතකය අවදි කරයි. මේ අතර හැත්තෑපහ හෝ හැත්තෑහයේ තිරගත වූ “දුහුළු මලක්” චිත්‍රපටය අපූරු ගීත පෙළක් සිංහල ගීතයට දායාද කළ චිත්‍රපටියකි.
“රන්කෙන්දෙන් බැඳ” “බොඳ මීදුම්” “රෝමය ලෙසේ” යන ගීත මේ මොහොතේ මගේ මතකයට එයි. “රන් කෙන්දෙන්” නමැති ගීතය ගැන මින් පෙර තත්සර ඇසුරේ සටහන් තැබුවා මට මතකය.
මේ චිත්‍රපටයේ මා අද පවා ආනන්දයට පත්වන “බොඳ මීදුම්” ගීතය පිළිබඳ ව මම මේ මොහොතේ සටහන් තබමි.
සිනමා ගීතයක් රචනා කිරීම එක්තරා කෘත්‍රීම රාජකාරියකි. තමාගේ නොවන අනුන්ගේ ගැටුමකට රචකයා අවතීර්ණ විය යුතු වෙයි. කොටින් ම අනුන්ගේ සංවේදනාවක් තමන්ගේ බවට හරවා ගත යුතු වෙයි. සැබැවින් ම මෙය අභියෝගයකි.

මේ අභියෝගය බොහෝ අවස්ථාවල දී ජයගත් රචකයකු ලෙස අජන්තා රණසිංහයන් නම් කළ හැකිය. ඒ සඳහා භාෂා නෛපුණ්‍ය මෙන් ම හදවතේ සංවේදී බව ද අත්‍යවශ්‍ය ය.

දුහුළු මලක් චිත්‍රපටය දිග හැරෙන්නේ අසම්මත පේ‍්‍රමයක් මත ය. විවාහක ගැහැනියක අවිවාහක තරුණයකු සමට පෙම් සබඳතාවක පැටළේ. ආලයෙන් මෙන්ම රාගයෙන් ඔවුන්ගේ දෑස් අඳ වී තිබේ.

එහෙත් ඔවුහු යෞවනයේ රමණීයත්වය භුක්ති විඳිති. අසම්මතය යටපත් කරගෙන යෞවනයේ සොඳුරු සිහින ඔවුන් මොහොතකට වෙළා ගනී. සුන්දර වටපිටාව ඔවුන්ගේ ආල හැඟුම් උද්දීපනය කරයි. අජන්තා රණසිංහයන් ඇතුළු වන්නේ ඒ පරම රමණීය පේ‍්‍රම ලෝකයටයි.

“බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ
ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා
හෙටත් වාසනාවන්

පේ‍්‍රමය නමැති කාන්තාරයේ හුදෙකලා වූ ගැහැනියක අදිසියේ ලද සෙනෙහසකින් ප්‍රමුදිත වන අකාරය මේ වදන් මාලාවේ නින්නාද වෙයි. ගීත රචකයකු සතුව භාෂා බලාගාරයක් පැවතිය යුතුය. එහෙත් ඒ බලාගාරය තුළින් ස්ථානෝචිත වදන් මාලා බිහි කළ යුතුය.

“සිහින නදි රළ රැල්ලේ පැතුම් විමන් රන් ඔරුවේ” වැනි යෙදුම් රූපකාර්ථවලින් සපිරි සුමියුරු කාව්‍යාලංකාරයන් ය. “ඔබේ නිමල නිද්‍රා ගී” “මල් වරුසා සුවඳ සමය” වැනි යෙදුම් රචකයාගේ අදීනත්වය ප්‍රකට කරන සෞන්දර්යාත්මක යෙදුම් ය.

පේ‍්‍රමය කවියට නඟන්නකුට පේ‍්‍රමණීය හදවතක් පැවතිය යුතුය. එය අජන්තා රණසිංහයන් තුළ නොඅඩුව පවතින බව පැහැදිලිය.

විවාහක ගැහැනියක ඉදිරියේ වුවද මේ යෞවනයාගේ පේ‍්‍රමණීය සිතුවිලි මෝදු වෙයි. ඇය විවාහ කරගැනීමේ ආස්වාදය ඔහු මනසින් අත්විඳියි. ඇයට ද මේ මොහොතේ තම සැමියා සහ දියණිය අමතකය.

ඇය ද නැවුම් ආදරයක මිහිර යදියි. චිත්‍රපටයේ තේමාව අමතක කර දැමුව ද යොවුන් හැඟුම් කිති කවන, සුන්දර පද මාලාවක් මෙහි අන්තර්ගතය.

ඔහු - මාල හතක් පළඳන්නට -
හීන හතක් එළිවන්නට
දොළොස්මහේ පහන් එළිය මටත් වාසනා
මටත් වාසනාවන්

ඇය - අනාගතය කිරුළු දරා
දෙපා මුලට වඩින තුරා
ලවන් පොඟන මියුරු තෙපුල්
අදත් වාසනා
හෙටත් වාසනාවන්...

මේ ගීතයේ සංගීතය මේ මනරම් පද මාලාව උපරීම තලයට ඔසවා තබයි.
සුන්දර පරිසරයක වන වදුලක ඇසෙන, සැවුල් කොවුල් විහඟ ගීත සියල්ල ම මේ නාද මාලාවේ අන්තර්ගත ය.
අවසානයේ දී මේ ගීතය උත්තරීතර තලයට රැගෙන යන්නේ සුජාතා අත්තනායක ගේ හා අබේවර්ධන බාලසූරිය ගේ සුගායනයයි.
ඔවුන්ගේ ගායන මාධුර්යය සම සිඳ, මස් සිඳ, නහර සිඳ ඇටමිදුළු සිඳ ආදරයේ මිහිරියාව මුළු සිරුරට කාවද්දයි.
ඒ මිහිර අත්විඳි අපි මොවුන් සියලු දෙනාට ණය ගැත්තෝ වෙමු.
මේ නිර්මාණයට මොවුන් දායක කරගත් විජය ධර්ම ශ්‍රී නමැති නැසීගිය අධ්‍යක්ෂවරයාට අපි පින් අනුමෝදනා කර සිටිමු.
සරසවි බැල්ම ලබන දෙනෙත් ඉතා දුලබ ය. අජන්තා රණසිංහයන් වෙත සරසවිය ඕනෑවටත් වඩා බලා ඇත.
සිංහල සිනමා ගීත කලාවේ අජන්තා රණසිංහ මුද්‍රාව බිඳ දැමිය නොහැකිය. ඔහුගේ පද මාලාවල නින්නාදය, ඈත ගිරිකුළු සිසාරා සුදු මීදුම මැදින් සාර කෙත්වතු පසුකරගෙන සීත දියවැල්වලට මුසු වෙයි.

ධම්මික බණ්ඩාර - Silumina