Pages

Tuesday, June 05, 2012

හීන් හඬින් ඉකි බිඳුම් ඇසෙන්නේ

එකදාස් නමසිය අසූඑක වසරේ සැප්තැම්බර් මාසයේ දිනක මම ඇඹිලිපිටියේ වී මෝලක වී ගෝනියක් උඩ වාඩි වී සිටියෙමි. උසස් පෙළ විභාගය ලියා හමාර වී මගෙ මිතුරකු සමඟ ඔහුගේ ඥාතියකු ගේ ඇඹිලිපිටියේ නිවසට පැමිණියේ විනෝදය පිණිස ය. මේ ගීතය ප්‍රථමයෙන් මා ශ්‍රවණය කළේ ඒ නිවසට අයිති වී මෝලේ සිටින අවස්ථාවේ දී ය. ඒ අවස්ථාව මට මෙතරම් මතක සිටියේ ඇයි ද යන්න මම නොදනිමි. එහෙත් මේ වන විට වසර තිස් එකක් මේ ගීතය මගේ මනසේ නොනැසී රැඳී තිබුණු බව නම් මම දනිමි.

පාසල් ශිෂ්‍යයකු ලෙස මා මේ ගීතයට මුලින් ම පි‍්‍රය කළේ මෙහි තනුවට සහ කපුගේ ගේ ගායන ලාලිත්‍යයටයි. එහෙත් ඊට වසක් පමණ ගෙවී යද්දී එහි පද මාලාව රස විඳින්නට තරම් මගේ සිතුවිලි මෝරමින් තිබිණි.

ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද රචනාවල විශේෂත්වයක් වන්නේ ඒවා අතිශයින් සංකේතාත්මක වීමයි. ගම් පියසක තම නෑනණ්ඩියට පෙම් බැඳි තරුණයකුට හදිසියේ ම මුහුණ දෙන්නට සිදුවන අනුවේදනීය අත්දැකීමක් මේ නිර්මාණයට තේමා වී තිබේ. එක්වරම නෑනණ්ඩියගේ නිවසින් ඔහු වෙත එල්ල වන්නේ නෝක්කාඩුවකි. විරසකයකි. ඒ විරසකය සිදුවීම් කීපයක් ඔස්සේ රචකයා සංකේතවත් කරයි.

“සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ
මාමණ්ඩී මට ඇයි මඟ හැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ

මේ යෞවනයා තම නෑනණ්ඩිය ගේ නිවසට යන විට වෙනදා ලැබෙන පිළිගැනීම ඔහුට නොලැබේ. සුදු නැන්දා ඔහු එනු පෙනි පෙනීම දොර වසයි. මාමණ්ඩිය ඉවත බලා ගනී. ගේ තුළින් ඇසෙන්නේ හීන් නඟාගේ හීන් ඉකිබිඳුමයි. නෑනණ්ඩියගේ නිවසින් මේ තරුණයා ප්‍රතික්ෂේප වී ඇති ආකාරය සංකේතවත් වේ. රචකයා දිගින් දිගට ම මේ පාරිසරික සංකේත තම නිර්මාණය තුළ භාවිත කරනු ලබයි.

“වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නඟේ නුඹ නෑ දන්නේ...

වෙනදා ඕනෑ ම මොහොතක ඔහු වෙනුවෙන් ඇරුණු කඩුල්ල අද වැසී තිබේ. ගෙදර ඇති කරන සුරතලුන් පවා මේ වෙනස හඳුනා ගනී. ඔහු හීන් නඟා බැලීමට පැමිණ ඇත්තේ හිස් අතින් නොවේ. ඇගේ තුන් ඉරි ගෙලේ බැඳීමට රිදී පොටක් ද රැගෙන ය. එය හීන් නඟා නොදනී. දැන ගත්තත් දැන් උදා වී ඇත්තේ තෑගි බෝග ගැනීමේ අවස්ථාවක් නොවේ.

තටු පොරවා ගෙන සැළයා කූඩු වෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පාන් පැලට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොළු වීලා

වෙනදා ඔවුන්ගේ ආලවන්ත කතාබහට ඇහුම්කන් දුන්නෙත් ඒවාට පිළිතුරු දුන්නේත් සැළලිහිණියාය. අද ඒ සැළලිහිණියා තටු පොරවාගෙන දුකින් බලා සිටී. ගැමියන්ගේ සංග්‍රහශීලී බවේ සංකේතය බුලත් හෙප්පුවයි. ඒ බුලත් හෙප්පුව පවා අද ඔහුව ප්‍රතික්ෂේප කර තිබේ. වෙනදා ඔවුන් මල් පහන් පුදන්නට ගියේ ගලේ විහාරයටයි. එහෙත් ඔවුන් ගේ අතින් පිදුණු නෑඹුල් මල් පොකුරු අද පුදසුන මත නොමැත. ඒවා පරවී ගොසිනි. තම නෑනණ්ඩිය ගේ දෙමාපියන් අතින් මේ තරුණයා දරුණු ලෙස ප්‍රතික්ෂේප කිරීම සමස්ත පරිසරය සමඟ බද්ධ කිරීමට රචකයා සමත් වෙයි.

මේ නිර්මාණයේ සංගීත සංයෝජනයේ සහ තනු නිර්මාණයේ සුවිශේෂ රසයක් පවතී. ගුණදාස කපුගේ යනු දක්ෂ තනු නිර්මාණ කරුවෙකි. පද මාලාවේ තේමාව උද්දීපනය කරනු පිණිස ඖචිත්‍යයෙන් යුතු නාද මාලා සොයා යාමට ඔහුට ජන්ම ප්‍රතිභාවක් පැවතිණි.

ලූෂන් බුලත් සිංහලයන්ගේ පද මාලාව ශෝකි සිතුවමකි. සුදු නැන්දාගේ ද මාමණ්ඩීගේ ද ඉරියව් අවට පරිසරයේ පරාජිත සෙවණැල්ල සමඟ බද්ධ වේ. ගැමි තරුණයාගේ මලානික මුහුණ ඉදිරියේ හීන් නගා ගේ ඉකිහඬ ඇසී නෑසී යයි.

ධම්මික බණ්ඩාර - Silumina