Pages

Wednesday, June 13, 2012

අර බලන්න අර පුර හඳ අහසේ

ශ්‍රී ලාංකීය ගී පදමාලා ක්ෂේත්‍රය මනරම් කාව්‍යොක්තීන්ගෙන් පරිපූර්ණ කිරීමේ ගෞරවය හිමිවන්නන් අතර රත්න ශ්‍රී විජේසිංහයන් ඉදිරියෙන් ම සිටී. දශක ගණනාවක් තිස්සේ මෝරා වැඩුණු තම කවිත්වයේ ගොරහැඩිකම් කපා ඉවත් කොට ඔපවත් කර සුගම ගී පදමාලා කරා තම කවි සිතුවිලි ඔහු විසින් එක්කරනු ලැබ තිබේ. එසේ නොවුණි නම් අසූව දශකයේ අවසානයත් සමඟ සිංහල ගීත සාහිත්‍යය නොඑන ගමන් යන්නට ඉඩ තිබිණි.

මගේ මතකයට අනුව නම් මේ ගීතය මා මුල් වරට අසන්නේ කරුණාරත්න දිවුල්ගනේ ගේ ‘සංහිඳ පාමුල’ කැසට් පටයෙනි. ගායනය සංගීතය සියල්ල අබිබවා මෙහි පදමාලාව ඇසූ සැනින් එය මා තුළ රසතාවයන් උද්දීපනය කිරීමට සමත් විය.

“ප්‍රියයෝ විප්පයෝගො දුක්ඛෝ
අප්‍රියෙන් සථපයෝගෝ දුක්ඛෝ

ප්‍රියයන් වෙන්වීම දුකකි. අප්‍රියයන් එක්වීම දුකකි. අප්‍රියයන් එක් වුණොත් පළවා හැරිය හැකි ය. එහෙත් ප්‍රියයන් වෙන්වුවොත් ගෙන්වා ගත නොහැකි ය. ගෙන්වා ගත නොහැකි නම් ප්‍රියයන් සොයා යා යුතු ය. ඒ සඳහා ප්‍රේමවන්තයකුට ඕනෑම දුරුකතරක් ගෙවිය හැකිය. තම ගම්බද සුපෙම්වතිය අතැර දමා නගරයට පැමිණි මේ ප්‍රේමවන්තයා ද අවසානයේ තීන්දු කරන්නේ ප්‍රියයන් සොයා යාමටයි.

“දුරු කතර ගෙවා ගෙන
මං නොකියම ආවට
මට සමාවෙයන් බණ්ඩර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ”

බණ්ඩර මැණිකේ ඔහුගේ පෙම්වතියයි. ඇය බලන්නට එන්නේ නම් දැනුම් දී ආ යුතු ය. එහෙත් ඔහු යන්නේ ලිපියක් වත් නොඑවා හදිසියෙනි. ඇය ගැන සැක සිතින් නොකියාම ආවා දැයි ඇයට සිතිය හැකි ය. “සමාවෙයන්” යනුවෙන් පැවසීමෙන් ඔහු වරද පිළිගනියි. එහෙත් සැබෑ වරද කරුවා ඔහු නොව අහසේ පායා ඇති ‘සඳ’ බව ඔප්පු කිරීමේ වෑයමක ඔහු නිරත වෙයි. මේ ගේය කාව්‍යයේ රමණීයත්වය උදාවන්නේ එම සංකල්පනාව නිසා ය. එතැන් පටන් ඔහු නොකියා පැමිණීම සාධාරණීකරණය කිරීමට තවත් සාධක ගණනාවක් ගෙනහැර පායි. ඇගේ නවයොවුන් අසිරිය ඔහුගේ ආධ්‍යාත්මය වෙළාගෙන ඇති අපූරුව ඒ තුළින් ධ්වනිත වෙයි.

දුම් වලාකුළේ තරු කැට හැංගිලා
ඇස් කොනින් බලා මට ඉඟි බිඟි කළා
මට ඉන්නට බෑ කොළොම් තොටට වෙලා
ඔය කතා කරන දෑස මතක් වෙලා

කොළොම්පුරයේ දුම් වලාකුළු මැදින් වුව ද රෑ අහසේ තරු කැට දිලිසෙයි. ඒ තාරකා ඇස් කොනින් බලා ඔහුට ඉඟි බිඟි කරයි. කාව්‍යාලංකාර අතර ඇති උත්ප්‍රේක්ෂාලංකාර රචකයා මනාව උපයෝගි කරගනිමින් ස්වභාව ධර්මයට ජීවය දෙයි. මෙවැනි කාව්‍යොක්ති ගොඩනැඟීමට රත්න ශ්‍රී සතුව අපූර්ව ප්‍රතිභාවක් පවතී.

“සේපාලිකා මල් බිමට බැහැලා

ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දර ද
මගෙ දූ තනියම හිනාවෙයි

(‘මගෙ දුවේ’ ගීතය)
මේ දුම් වලාකුළු වලට වඩා සොඳුරු තරු කැට යුවළක් ඈත ගමක ඔහු සතුව පවතී. එය කතා කරන තරු කැට යුවළකි. ඒ තරු කැට යුවළ සිහිවෙත් ම, මේ කටුක කොළඹ නගරය ඔහුට තිත්ත වෙයි. හදිසියේ ම ඔහු ගම එන්නේ එබැවිනි. සැබැවින් ම බණ්ඩර මැණිකේ මොහුට සමාව දිය යුතු ය.
“මහමැදුර උඩින් පුර හඳ පායලා

නුඹේ මූණ පෙනුණි මුළු අහසම පුරා
ඒ සෙනේවන්ත කමට වහන් වෙලා
මට ගම නෑවිත් ඉන්නට බැරි උණා

අගනුවර කොන්ක්‍රීට් වනාන්තරයට ඉහළින් පුර හඳ පායා ඇත. ඒ හඳ තුළින් ඔහු දකින්නේ බණ්ඩර මැණිකේ ගේ මුහුණයි. සුන්දර ගම්පියසක ඔහු ලද ඒ ආදරය අමතක කර මේ කොළොම්පුරයේ කෙසේ නම් ඉඳින්නද? සමාව දෙනු හැර බණ්ඩර මැණිකේ කුමක් කරත් ද?

විප්‍රලම්භ ශෘංගාරය පමණක් නොව සම්බෝග ශෘංගාරය ද සම්මිශ්‍රණය කොට ගොඩනැඟුණු පරිපූර්ණ ගේය පද සංකල්පනාවක් බවට පදමාලාව පත්ව තිබේ.
මෙහි සංගීතයේ සුවිශේෂ විශේෂතාවක් නොමැති වුව ද සංගීතඥයා වන එච්.එම්. ජයවර්ධන ජනප්‍රිය ස්වර රටාවක් භාවිතා කර ඇති බව පැහැදිලි ය. රත්න ශ්‍රී ගේ පදමාලාවට මීළඟ සාධාරණය ඉටුවන්නේ දිවුල්ගනේ ගේ ගායනය තුළයි. ශාංගාරය සහ ශෝකය මුසු හැඟීම් බර හඬක් ගායකයාට ස්වභාවධර්මය දායාද කොට තිබේ. මේ සමස්තය බද්ධ වනවිට තවත් සුමියුරු ගී පදමාලාවක් සිංහල ගීත සාහිත්‍යයට එක් වී ඇති බව පැහැදිලි ය.
මට මා කොළඹ නැවතී සිටි දෙල්කඳ බෝඩිං කාමරය සිහිවෙයි. වාසනාවට හෝ අවාසනාවට ඒ කාමරයට මොන ආකාරයෙන් වත් අහස පෙනුණේ නැත. එසේ පෙනුණා නම් මා ඒ බෝඩිං කාමරයේ වසර දෙකක් කොහෙත් ම ගත නොකරනු ඇත.