Pages

Sunday, April 22, 2012

තේ දල්ලක කඳුළැල්ල...

ලෝකය පුදුමාකාරයි. විවිධාකාරයි. උදේට ඉර පායලා රෑට මහා අන්ධකාරය පැතිරෙනකම් මේ ලෝකේ මිනිස්‌සු අසීමිත වැඩ කන්දරාවක සිරවී ඇත. පෙනෙන නොපෙනෙන සංකීර්ණ දේවල් බොහෝමයක්‌ මේ පරිසරයේ සිදුවේ. ඒ විෂමාකාර සමාජය තුළ ජීවත් වෙන්නෙ එකිනෙකට වෙනස්‌ මිනිසුන් වුවත් ඒ හැමෝගෙම අභිමතාර්තයන් සමාන යෑයි කිවහොත් ඔබ එයට එකඟ නොවේවි. අපි හැමෝම දවසින් දවස උත්සාහ කරන්නේ ජීවිතය ජීවත් කරවන්න. ඒ වෙනුවෙන් නොකරන දෙයක්‌ නැති තරමට මිනිසුන් ජීවිතයට ආදරය කරන්නට පුරුදුව ඇත. ජීවිතය දැනෙන්නෙ යම්තමින් හෝ ඒ වෙනුවෙන් කැපවුණු තරමට. කටුක ලෙස දරාගන්නා යම් කැපකිරීමක්‌ ජීවත් වෙන්න නම් ඒ ජීවිතයේ වටිනාකම ඉතාමත් ඉහළයි. මේ යොමුව පෙනෙන ලෝකය තුළ බොහෝ දෙනෙත්වලට හසු නොවන එවන් ජීවන සටනක්‌ ගැනයි. 

හැමදාමත් සුවබර නින්දකින් පසු ඔබේ දෙනෙත් විවර වෙන්නේ උණුසුම් පානයක්‌ අපේක්‍ෂාවෙන්. තේ පානය ඇතැමුන්ට ජීව ශක්‌තියක්‌ බඳුවූ ප්‍රබෝධමත් පානයකි. තේ දලුවකින් මැවෙන ඒ අපූරු රසය අතහැර දමන්නට නොහැකි තරමට අපේ දිවට හුරුවී ඇත. එහෙත් ඒ රසය පිටුපස විඳවන ජීවිත කොතෙක්‌ සිටිනවාදැයි කතාබහ කරන්නේ කීයෙන් කී දෙනෙක්‌ද?

තේ ගස්‌ වැවෙන්නේ වතු ජනතාවගේ හද ගැස්‌මෙන්. ඒ ජීවන සුවඳින්. ඒ තේ දලු මත දුවන්නේ ඔවුන්ගේ අතැඟිලි පමණක්‌ම නොවේ. මුළුමහත් ජීවිතයමයි.

උදේ හයට නැඟිටලා තේ වතු යනවා

සවස පහට නාගෙන ගෙදරට එනවා

බඳේ තිබෙන ගෝමර අව්වට දනවා

තේ වතු නොයන් ඒ දෙන පඩි මං දෙනවා

ඔවුන්ගේ දුක ලියෑවුණු කවි ගීත අපේ සාහිත්‍යයේ තිබුණත් ඒ වෙනුවෙන් හඬක්‌ නඟන්නට ඒ හදගැස්‌ම හඳුනා ගන්නට කෙනකු නැතිවීම අසතුටට කාරණයක්‌.

මේ ඒකාකාරී ජීවිතය ගෙවෙන්නේ තේ වතු සමගිනි. වෛවාරණ ඇඳගෙන වටේට කැරකෙමින් ගණන් සාදන්නට, ලියන්නට ඔවුන්ට නැත. ඔවුන්ගේ ගතට වෙළෙන්නේ පොලිතින් කවරයකි. වරලසට ගැසූ මල් මාලාවන්, තෝඩු, අරුංගල්, විසිතුරු, පාවහන් ඔවුන්ට හිමි නැත. තමන් ගැන, රුව ගැන සිතන්නට කාලයක්‌ නැති තරමට ඔවුන්ගේ ජීවිතය ගෙවෙන්නේ මේ රැකියාවන් සමග පමණි. නමුදු මසක අවසානයේ දී මහා පඩිපතක්‌ ඔවුන්ට ලැබෙන්නේද නැත. ඒ මුදල තීරණය වන්නේ ඔවුන්ගේ ඇඟිලි තුඩින් කැඩෙන තේ දලු ප්‍රමාණයෙනි. 

මේ ජනතාව වෙනුවෙන් ඉදිවුණු අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස පහසුකම් නැතැයි කිවහොත් එය බොරුවකි. නමුත් ඒ බොරුව තුළ සැඟවුණු ඇත්ත හැමදාටම ඔවුන්ට පමණක්‌ම විඳින්නට වුණු වේදනාවන් මිසක අන් කාහටත් නොදැනෙන නොපෙනෙන දෙයක්‌ම විය. උදේ රැයින් පිටත්වන ඔවුන්ගේ ජීවිතවලට දැනෙන තෙහෙට්‌ටුව, විඩාව නිවා දමා ජීවත් වන්නට සුවිශාල මන්දිර නොලැබෙන ඔවුන්ගේ දුක සීමා වන්නේ අඩි 10 ක 12 ක පුංචි කාමරයකට පමණි. තේ වගාව ප්‍රධාන අපනයන භෝගයක්‌ව පවතින කල ඒ සඳහා උර දෙන්නන් පිළිබඳව සිතිය යුතු කාලය එළැඹ ඇත.

ගංගාවක ජලය ගලා යන්නේ පහත් තැනිනි. ඇති හැකි අය ලැබෙන නොලැබෙන දේ තීරණය කරන්නටත්, අයිතිවාසිකම් ලබා ගන්නටත් පොරකන සමාජයක තැළෙන, පොඩිවෙන පුංචි මිනිසාට තමන් වෙනුවෙන් හඬක්‌ නඟන්නටවත් ඉඩක්‌ නොලැබෙන තරමට අවාසනාවන්ත වී ඇත. ඔවුන් ජීවත් වන ගණ අන්ධකාරය සැබෑ ආලෝකයකට පරිවර්තනය කරන්නට නොහැකි බව සැබෑය. නමුත් ඇඟිලි තුඩින් කරන ජීවන සටන දෙස හුදෙක්‌ මානුෂීය බැල්මක්‌වත් හෙළන්0නට නොහැකිවීම මිනිස්‌කමටද නිග්‍රහයකි.

මහේෂා දිල්මිණි ගමගේ - Sunday Divaina