Pages

Monday, April 16, 2012

පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද මූණ පුරා පෙම් පිරිලා

පින්න මලේ සුද ඇන්න ගිහිල්ලද
මූණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා නුඹ සැන්දෑකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නගේ නුඹ යන්නෙ ගමෙන් පිට
ගම්දොර වෙල් එළි පාළු වෙතේ

ඉන්නෙ මොකෝ වැට ඉන්නවගේ නුඹ
එන්නෙ අලුත් අවුරුදු කාලේ
ගන්න එපා පරදේශ සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ...

පද රචනය – අමරසේන කංකානම්ගේ
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය – එඩ්වඩ් ජයකොඩි

කොහෝ කොහෝ...
කොහේ ඉඳන් 
කොහෝ කියන වදෝ...

ඈත ගුවන්විදුලි යන්ත්‍රයකින් සංගීත් නිපුන් සනත් නන්දසිරි ගාන්ධර්වයාගේ ළයාන්විත හඬ ඇසෙයි. අපේ නිවෙස අසල එරබදු ගස් නැතත් අද උදෑසන කොහාගේ හඬ ඇසුණා මට මතක ය. ගුවන්විදුලි යන්තරයටත් අවුරුදු එන බව දැනිලා වගේ ය.

මී අඹ අත්තේ
කොහෝ කොහෝ
දොළොස් මහේ මඟුල් දොහේ
රබාන රත්වෙන
නැකැත් වෙළාවට
නළාව පිඹපන් කොහෝ කොහෝ

අජන්තා රණසිංහයන් ගේ පදමාලාවකින් නැවතත් ගුවන් විදුලිය අවදිවෙයි.

’නාඬන් පුංචි හිරමණේ
ඇවිදින්, ඔන්න වසන්තේ’

ප්‍රදීපා ගේ හඬද රත්න ශ්‍රී ගේ පදමාලාවක් සමඟ මුසුවෙයි. සැබැවින් ම අවුරුදු ඇවිත් තිබේ.

”එරබොදු මල් මොට්ටු මොට්ටු
අවුරුද්දත් කිට්ටු කිට්ටු”

එබඳු රබන් පද අපට ළමා කාලයේ ඇසුණා මතක ය. ඒත් අද ඇසෙන්නේ රූපවාහිනියෙන් පමණි. බක් මාසය හෙවත් අප්‍රේල් මාසය පෙර ගැමියන් ගේ මඟුල් මාසයකි.

බක් මහටයි මහ වැස්ස වහින්නේ
බක් මහටයි අපි දීගෙක යන්නේ

බක්මහ දීගේ චිත්‍රපටයට දයානන්ද ගුණවර්ධන එබඳු ගීයක් ලියා තිබිණි. ඒ නිසා බක්මාසය එකල ගැමි සමාජයට අනඟ ගී සර ගෙන ආ මාසයක් ලෙසින් ද නම් කළ හැකිය.

විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන “පින්න මලේ” නම් වූ ගීතය ද බක්මාසය, ප්‍රේමය, සිංහල සංස්කෘතිය ආදී සියල්ල ඒකරාශි ව නිමා වූ ගීතයකි.

රචකයා, අනුභූතියට වඩා අනුප්‍රාසය පිරි බස්වහර ගැන අවධානය යොමුකර ඇති බව පෙනුණත් මේ ගීතය යම් මිහිරක් රසිකයාට දායාද කරයි.

”පින්න මලේ සුද 
ඇන්න ගිහිල්ලද
මූණ පුරා 
පෙම් පිරිලා
ඉන්න එපා නුඹ 
හැන්දැකරේ දොර
කන්ද කපා හඳ 
ගෙට එන්නා

තම හිත බැඳි ගැමි තරුණියගේ පැහැබර මුහුණ මේ තරුණයාගේ සිතුවිලි ආනන්දයට පත්කරයි. ඇගේ මුහුණ පින්න මලක සුදුපැහැය සොරාගෙන ඇති බවක් ඔහුට හැඟේ.

ඇය හැන්දෑවේ දොරකඩ සිටින විට කන්දකපා පෑයූ හඳ ඇගේ පැල්පතට පැමිණියාක් බඳු ය. සඳමඬල යැයි ඇයට රැවටෙන්නට ඉඩ ඇති බැවින් ඔහු පවසන්නේ හැන්දෑවෙද් දී ඇයට දොරකඩින් ඉවත්වන ලෙසයි. එය අපූරු ගේය කාව්‍යෝක්තියකි.

”දුන්න වගේ නැමි 
බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් 
අත වනතේ
මන්ද නගේ නුඹ 
යන්නෙ ගමෙන් පිට
ගම්දොර වෙල් එළි 
පාළු වෙතේ

බක්මහේ අසිරිය එද්දී හේන් කුඹුරු සරුසාර වෙයි. එහෙත් මේ තරුණයාට ඒ සතුට භුක්ති විඳිය නොහැකිය. ඒ ඔහුගේ හද බැඳි තරුණිය බක්මහේ දීගයන්නට සැරසෙන බැවිනි. ඔහුගේ ප්‍රේමය අප්‍රකාශිත ප්‍රේමයක් බව පැහැදිලිය. මට අජන්තා රණසිංහයන් ගේ පදමාලාවක් සිහිවේ.

”දම් පැහැ කහට කජු පුහුලන් 
පිපි කාලේ
රංචුව ගැහුණ හැටි මතක ද 
අපි බාලේ..”

ඉන්නෙ මොකෝ වැට 
ඉන්න වගේ නුඹ
එන්නෙ අලුත් අවුරුදු කාලේ
ගන්න එපා පරදේශ සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ

මෙහිදී ‘වැට ඉන්න” නැමැති යෙදුම ප්‍රබල කාව්‍යෝක්තියක් නොවේ. රචකයා එහි දී බලාපොරොත්තු වී ඇත්තේ ශබ්ද රසය පමණකි. ඔහු අලුත් අවුරුදු සමය පසු බිම් කරගෙන අලුත් විලාසිතාවලට නැඹුරුවන තම හද බැඳි තරුණියට අවවාදයක් කිරීමට ද අමතක නොකරයි. අනුභූතියේ යම් විසිරුණු බවක් පැවතිය ද මෙහි සංගීතය හා ගායනය නිසා මේ ගීතය අපූර්වත්වයට එක්වෙයි. රෝහණ වීරසිංහයන් ගේ ජනනාද රටාවට එඩ්වඩ් ජයකොඩි ගේ ජන ගී හඬ මනාව සම්මිශ්‍රණය වී තිබේ.

සිංහල අවුරුද්ද අත ළඟට ම පැමිණ තිබේ. හද බැඳි තරුණියන් දීග යනු දැක දුක් විඳින ගැමි තරුණයන් මෙන් ම අවුරුද්ද සැමරීමට නොහැකිව දුක්විඳින නාගරිකයන් ද බක්මාසයේ මුණගැසේ. රත්න ශ්‍රී විජේසිංහයන් ගේ කවි පදයක් මට මේ මොහොතේ සිහිවෙයි.

”වැඩපළේ වහල උඩ 
හඬන කොවුලනී
කිමද මේ තොපට 
නැතුවාද බඩගිනී
නම කියා විහිළු කළ 
කුරුළු දරුවනී
මැළවුණාම එ
රබදු මලෙත් නෑ පැණී

(රත්න ශ්‍රී)

එබඳු නාගරිකයන්ගේ දුක් සුසුම් මැද මම නැවතත් ගමට යමි. පීදුණු කුරහන් හේනක් මා ඉදිරියේ දිස්වෙයි. ඒ කුරහන් හේන අසල ගුරුපාරේ මඟුල් පෙරහැරකි. පැලේ සිටින ගැමි තරුණයෙක් ඒ මඟුල් පෙරහැර දෙස ශෝකයෙන් බලා සිටී. ඔහුගේ ඇසේ කඳුළක් වියළි පොළවට වැටී නොපෙනී යයි.

ධම්මික බණ්ඩාර Silumina