Pages

Saturday, February 18, 2012

දෑස වැසුන හැම මොහොතෙම ඔබමයි මට පෙනෙන්නේ...

ආදරවන්තයා ළඟ ඉන්නවා නම් ආදරවන්තියට වෙන කිසිම දෙයක්‌ ඕනෑ නැහැ. ආදරවන්තයටත් එහෙමයි. ඇය නිතරම තමන් සමීපයේ සිටිනවා නම් මුළු ලෝකෙම නැතත් කමක්‌ නැහැ. 

ලෙන්ගතුකම වැඩි හින්දයි
උදේ හවා ඔබ සිහි වෙන්නේ...
නොදැක ඉන්න බැරි හින්දයි
නෙතු අද්දර කඳුළු පිරෙන්නේ...
අනන්තයට සිත දිව්වත්
ඔබ ළඟමයි සිත නවතින්නේ...
උන්මාදව ඔබෙ නාමය
මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ...

මගේ හිතේ ඔයා ගැන තියෙන ආදරේ... මහා සාගරේටත් වඩා විශාලයි. ඒ හින්දම වෙන්නැති මට ඔයාව හැම වෙලාවෙම මතක්‌ වෙන්නෙ. මට ඔයාව නොදැක ඉන්න බැහැ. දවසක්‌ හරි ඔයාව දැක්‌කෙ නැත්නම්... මගේ ඇස්‌ දෙක කඳුළින් බොඳ වෙනවා. හදවත ඉකිබිඳිනවා. කොච්චර ඈතකට හිත ගියත්... අන්තිමේදී හිත නවතින්නෙ ඔයා ළඟයි. සමහරු හිතනව මට පිස්‌සු කියලා. මම හැම තිස්‌සෙම මුමුණන්නේ ඔයාගේ නමයි. 

ඇය උපරිමයෙන් ආදරය විඳින පෙම්වතියක්‌. පෙම්වතාට පිස්‌සු වැටිලා. යෞවනයේ උන්මාද වූ ආදරයක.a මේ ගීය ලියුවේ ළහිරු සඳවින්න. තනු නිර්මාණයත් ඔහුගේ... ප්‍රේමණීය හඬකින් ගීය ගයන්නේ මංජුලා දිල්රුක්‌ෂි.

මේක මගේ අත්දැකීමක්‌. පාසල් යන කාලෙදි තිබූ ආදරයක සැමරුමක්‌. පසුව ගීයකට ලියෑවුණා. ඒත් මේ ගීයට කලිනුත් මම ගීත කීපයක්‌ම ලියා තිබෙනවා. මංජුලාටම සඳේ සිසිල මට එපා, චාමරට මදුනාගල අහසේ.... ඇතුළු ගීත රැසක්‌ම ලියුවා. මංජුලාට සිංදු හතක්‌ විතර ලියලා තියෙනවා. 

නිදිවරමින් රෑ තුන්යම
ඔබ ගැනමයි සිතන්නේ....
දෑස වැසුන හැම මොහොතෙම
ඔබමයි මට පෙනෙන්නේ...
ඉහ ඉද්දර ළඟට වෙලා
කවදද කවි කියන්නේ...
පොරොන්දුවක්‌ දුන්න සිතින්
නෑ සරදම් කරන්නේ...

ප්‍රථම යාමයේත්, මධ්‍යම යාමයේත්, පශ්චම යාමයේත්, රෑ තුන්යාමේම මට නින්දක්‌ නැහැ. ඔයා ගැනම තමයි හිතන්නෙ. ඇස්‌ දෙක මොහොතකට පියවුණත්, මට පෙනෙන්නෙ ඔයාගෙ රුව. මට ඔයා ළඟින්ම ඉන්න ඕනේ... ඒත්... ඒත් කවදද මම ඔයාගේ හිස පිරිමදිමින් ළඟට වෙලා කවි කියන්නේ. මම ඔයාට පොරොන්දු වුණා කවදාවත් අමතක කරන්නෙ නෑ කියලා. ඔයත් මට පොරොන්දු වුණා ඒ වගේ අවංක සිතක්‌. කවදාවත් ආදරය විහිළුවකට ගන්න එකක්‌ නැහැ.

මේ බිඳුණු ආදරයක්‌ නොවේ. ඇයට හැමවිටකම ඔහුව සිහිපත් වෙනවා. නමුත් මේ දෙදෙනා විවාහ වූ දෙදෙනෙක්‌ නොවේ. විවාහය බලාපොරොත්තුවෙන් ඉන්න දෙන්නෙක්‌....

හීනෙන්වත් දුරස්‌ වුණොත් 
කොහොමද දුක දරන්නේ
මුළු ලෝකෙම උරණ වුණත්
හැමගේ හිත බිඳෙන්නේ
ආදරයක්‌ කියා දුන්න
හිත ළඟ තනි රකින්නේ....
පුංචි කෙල්ල මම ඔබ ළඟ
දිවි ඇති තුරු රැඳෙන්නේ...

ඔයා කවදාවත් මගේ හිතෙන් ඈතට යන්න එපා. දෙයියනේ... හීනෙකින්වත් එහෙම වෙන්න එපා. ඒක හීනයක්‌ වුණොත් ඒත් මට දුක දරාගන්න බැහැ. අපි දෙන්නගෙ ප්‍රේමයට අපේ එක්‌වීමට හැම කෙනෙක්‌ම අමනාප වේවි. විරුද්ධ වේවි. ඒත් හැම කෙනෙක්‌ගෙම හිත් බිඳින්න වෙනවා. ඒ කියන්නේ අපි එක්‌වෙනවා. මට ආදරයේ මුලකුරු කියා දුන්නේ ඔයා. කොටින්ම ඔයා මගේ ප්‍රථම ප්‍රේමය. මම හැමදාම ඔයාගේ තනියට ළඟ ඉන්නම්. මගේ ජීවිතේ තියන තුරුම මේ පුංචි කෙල්ල ඔයාගෙ තනි රකින්නම්. 

ඇයගේ හිතේ ඔහු ගැන තියෙන ආදර හැඟුම් දෝරෙ ගලනවා. ඈ සිත තුළ උපදින සිතිවිලි අපමණයි.

ගීය මංජුලාගේ හඬින් ගැයෙන නිසා මේ ආදර සිතිවිලි උපදින්නේ පෙම්වතියකට බව ගීය රස විඳින්නාට හැඟීමක්‌ එනවා. ඒත් මේ ආදර හැඟුමන් පොදුයි. පෙම්වතිය විතරක්‌ නොවේ පෙම්වතාටත් මේ සිතිවිලි පොදුයි.

ලෙන්ගතුකම වැඩි හින්දයි
උදේ හවා ඔබ සිහි වෙන්නේ...
නොදැක ඉන්න බැරි හින්දයි
නෙතු අද්දර කඳුළු පිරෙන්නේ...
අනන්තයට සිත දිව්වත්
ඔබ ළඟමයි සිත නවතින්නේ...
උන්මාදව ඔබෙ නාමය
මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ...

නිදි වරමින් රෑ තුන්යම
ඔබ ගැනමයි සිතන්නේ
දෑස වැසුන හැම මොහොතෙම
ඔබමයි මට පෙනෙන්නේ...
ඉහ ඉද්දර ළඟට වෙලා
කවදද කවි කියන්නේ...
පොරොන්දුවක්‌ දුන්න සිතින්
නෑ සරදම් කරන්නේ....

හීනෙන්වත් දුරස්‌ වුණොත් 
කොහොමද දුක දරන්නේ
මුළු ලෝකෙම උරණ වුණත්
හැමගේ හිත බිඳෙන්නේ
ආදරයක්‌ කියා දුන්න
හිත ළඟ තනි රකින්නේ....
පුංචි කෙල්ල මම ඔබ ළඟ
දිව ඇති තුරු රැඳෙන්නේ...

ගායනය - මංජුලා දිල්රුක්‍ෂි
පද මාලාව - ළහිරු සඳවින්න

අජිත් අලහකෝන් - Divaina