Pages

Sunday, February 26, 2012

දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර

පවුලේ අඬදබර බත් හැළිය ඉදෙන තුරු ය. අපේ ගැමියන් කීවේ එහෙම ය. ඒ ලාංකීය සමාජ සංස්කෘතියේ අතීත දායාදයකි. කුඩා බහින් බස් වීමක් දික්කසාදය තෙක් දික් ගැසෙන්නේ බටහිර සමාජයේ ය. පිරිමියා කෙසේ වුවත් පෙරදිග ගැහැනිය තම පවුල් ඒකකය රැක ගැනීමට මහත් වීරියක් දරන්නී ය. යශෝදරාවත වැනි ජනකාව්‍යයක් තුළින් වුව ද පෙරදිග ගැහැනියගේ ඉවසීම සහ පරිත්‍යාගශීලී ගුණය මනා ව අත්විඳිය හැකි ය.

“කැලේ තිබෙන කොයි දේවත්

රසවේවා

මලේ බමරු මෙන් පිරිවර

වැඩිවේවා

අව්වේ තිබෙන රැස් මාලා

අඩුවේවා

ගව්වෙන් ගව්ව දිව මාලිග

සෑදේවා

පෙරදිග පවුල් ඒකක පහසුවෙන් බිඳී නොයාමට තවත් හේතුවක් වන්නේ පැරණි සමාජයේ උපයන්නා පුරුෂයා වීමයි. ගැහැනිය යැපෙන්නියකු වීම නිසා ඇයට ඉවසීම ප්‍රගුණ කරන්නට සිදුවෙයි. අනෙක් සාධකය වන්නේ දරු සෙනෙහස පිළිබඳ සාධකයයි. බටහිර සමාජයට වඩා සංවේදී වූ මාපිය දූ දරු සබඳතාවක් පෙරදිග සමාජයේ පවතී. ඒ නිසා වැඩිහිටියන් අතර ගැටලු පැන නැඟුණ ද දූ දරුවන් නිසා ඔවුහු ඉවසා වදාරති. මේ සියලු පසුබිම් ප්‍රතිනිර්මාණය වන සංවේදී ගීතයක් ලෙසින් මේ ගීතය නම් කළ හැකි ය.

“මා එක්කලා අමනාපව

වී දබර

දූ ගේ තාත්තා එන්නේ

නෑ ගෙදර...


මේ ගැහැනිය තම සැමියා ව අමතනු යේ ‘දූ ගේ තාත්තා’ යනුවෙනි. එහි ම මේ පවුල් ඒකකයේ බැඳීම් ගොඩනැඟී ඇති ආකාරය හඳුනාගත හැකි ය. මොන වරද කළත් ඔහු ළමයින්ගේ පියා ය. එය සමාව දිය හැකි කාරණයකි. මේ ගැහැනිය ගේ කෝපය තුනී වී ළය නිවී සැනසෙන්නේ හදවතින් මතු වී එන මේ පීතෘමූලික හැඟීම හේතුවෙනි.

ගීය තුළ ගැබ් වන අරගලයේ ප්‍රතිඵලය සැමියා අමනාප වී නිවසින් බැහැර වීමයි. ඇය යටි සිතින් බලාපොරොත්තු වන්නේ ඔහු කොයි මොහොතේ හෝ ආපසු පැමිණේ විය යන්නයි. ඒ සඳහා ඇය පූර්ව සූදානමකින් සිටින්නී ය. ඔහු ගේ සිත සැනසෙන ආකාරයට ඇය නිවසේ අවට පරිසරය සකසන්නී ය.



“වැලි පොල් කටුයි හැඳි රෑනයි

පෙරළාලා

මිදුලේ වැටුණු කොළ සේරම

අතු ගාලා

ගේ ළඟ වැට කඩුල්ලට බැරි

බර දීලා

රෑ එළිවන තුරා ඉමු මිදුලට

වීලා



ගීත රචකයා සාහිත්‍යවේදියකු වූ තරමට ඒ ගීතයේ සංකේතාර්ථ බහුල වේ.



“ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා”



මේ යෙදුම අපූර්ව කාව්‍යෝක්තියකි. එහි මතුපිට චිත්තරූපයක් අන්තර්ගත ව පවතී. සැමියා එනතුරු කඩුල්ලට බර වී මග බලා සිටින බිරියකගේ සහ දියණියකගේ චිත්‍රයක් එයින් මතුවේ. ‘බැරි බරදීලා’ යන යෙදුම ධ්වනි පූර්ණ යෙදුමකි. සැමියා නොමැති නිවස ආර්ථික ප්‍රශ්න වලින් ද පිරී යයි. මේ බැරිබර දැරීමට ඇයට තනි ව ම නොහැකි ය. ඇය සැමියා එනතුරු මග බලා සිටීමට මේ සියල්ල හේතු සාධක බවට පත්වේ.

මේ ගීතය වඩාත් හැඟීම්බර වන්නේ අවසාන අදියර තුළයි. දැන් දිවා කාලය ගෙවී ගොසිනි. සන්ධ්‍යාව එළැඹී තිබේ. මව සහ දියණිය නැවතත් කඩුල්ල ළඟට වී මඟ බලා සිටිති. ඔවුන්ගේ දෑස් කඳුළින් තෙත් වී තිබේ. තවත් නම් ඉවසනු නොහැකි ය. ඉන්නා තැනකට පණිවුඩයක් යවා දැන් සැමියා ගෙන්වා ගැනීමට කාලය එළඹ තිබේ.



“හඳමාමා නැඟෙන තුරු අපි

තරු ගනිමූ

දෙදෙනාගේ ම දුක

තල් අත්තක ලියමූ”



තව මොහොතකින් සඳ පායනු ඇත. දියණිය පියා ගැන මවගෙන් විමසමින් සිටින්නී ය. ඇය ද සැනසිය යුතු ය. මේ මව දියණියගේ සුරංගනා සිහිනවලට අමතයි. දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියූ විට හඳමාමා ඒ පණිවිඩය දූගේ තාත්තාට රැගෙන යනු ඇත. කෙතරම් අපූරු කාව්‍ය සංකල්පනාවක් ද?



“හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ

හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ”



තාමත් ඉටු නොවුණු මේ අහිංසක ප්‍රාර්ථනාව ඇතැම් විට හෙට දවසේ ඉටු වනු ඇත.

සංගීතඥයා මේ ගීතය සඳහා ජන ගී රිද්මය භාවිතා කරයි. මාලනී බුලත්සිංහල සතු උච්ච ස්වරය, ජන ගීයේ එන වැලපුම් කවි ආකෘතිය සමඟ මුසුකර අනුභූතිය වඩාත් ප්‍රබල ව ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වී තිබේ.

ගායිකාව වූ මාලිනිය ගැන ද යමක් කිව යුතු ය. ඇය අප අතරින් වෙන්ව ගියේ ඇය සිටිය යුතු කාලයක දී ය. ඇගේ ගීත වසන්තය මල් ඵල ගන්වන සමයේ ඈ අප දමා ගියා ය. ඒ මධුර හඬෙහි අඩුව තවමත් ඉතිරි ව පවතී. මේ ගීතය මාලනියගේ ම හඬට බද්ධ වූවකි.

මගේ සිත ඈත ගම්මානයකට දිව යයි. රාත්‍රි අහස තරුවලින් වැසී ඇත. ඈත කඳු අතරින් හඳ මෝදුවෙමින් පවතී. පුංචි ගෙපැලක කඩුල්ල අසල මවක් හා කුඩා දියණියක් පියා එනතුරු මඟ බලාගෙන සිටිති. ඔවුන්ගේ දෑස්වල පිරී ඇති කඳුළු තරු එළියට දිලිසෙයි.

ධම්මික බණ්ඩාර Silumina