Pages

Friday, May 20, 2011

වෙසක්‌ කාලෙටයි කාගෙත් පිංකම් කාට පේන්නද අනෙ මන්දා?

වෙසක්‌ ලබනවා තොරන් බඳිනවා
තැන තැන දන්සැල් ඉදිවෙනවා
වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු
ආයෙත් සිරිලක රජවෙනවා...

වෙසක්‌ ගෙවෙනවා තොරන් ලිහෙනවා
දන්සැල් කාලය නිමැවෙනවා
වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු
ආයෙත් රජකම හැර යනවා...

වෙසක්‌ කාලෙටයි කාගෙත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා
නම්බු රැකීමයි නිවන් දැකීමයි
එකමඟ යන්නේ කොහොමද මන්දා...

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

වෙසක්‌ කියන්නේ සීමාවක්‌ නැතිව පින්දහම් කරන කාලයක්‌.. සම්බුදු හිමියන්ගේ තෙමඟුල සිහි කරමින් ප්‍රතිපත්ති පූජාවලත්, ආමිස පූජාවලත් නියෑලෙන්නේ සැදැහැ සිතින්.

වෙසක්‌ උත්සවයට අපේ සැදැහැවතුන් සූදානම් වන්නේ දින ගණනාවක ඉඳලා...

වෙසක්‌ ලබනවා තොරන් බඳිනවා
තැන තැන දන්සැල් ඉදිවෙනවා
වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු
ආයෙත් සිරිලක රජවෙනවා...more

වෙසක්‌ ලබද්දී තැන තැන දැවැන්ත තොරණ බැඳෙනවා. දින ගණනාවක සිට පුවක්‌ කඳන් එකින් එක ඉහළට ඉදිවෙමින් තොරණෙ සැකිල්ල සැකසෙනවා. ඉන්පසු දර්ශනීය චිත්‍ර පාට පාට විදුලි බුබුළු සවිවෙනවා. ඒ වගේම තමයි දන්සැලුත්... වෙසක්‌ සිරි නරඹලා ආයේ ගෙදර එන්නේ

ඉස්‌මුරුත්තාව හැදිලා. ඒ තරමටම අපි දන්සැල් වඳිනවා. ජීවිතේම අඩුම ගානේ වැස්‌සකටවත් පන්සලකට ගොඩනොවු අය ලක්‍ෂ ගණන් වියදම් කරමින් තොරණ හදනවා. මුදලාලිලා බැහැලා වැඩ. හරිම ආදරෙන් අතින් අල්ලාගෙන බලහත්කාරයෙන් දන්සැල වෙත ඇදගෙන යනවා. මේ අය වියපැහැදම් කරන්නේ තරගෙට තොරණෙ විරිදු හඬින් යකඩ කටෙන් නම ගම පින් තකා දෙන මුදල ගැන කියද්දී පුණ්‍යවන්ත බවක්‌ වුවමනාවෙන්ම ආරූඪ කරගන්නවා. අතපය දිග හැරලා දන් දෙන්නේ හරියට වෙස්‌සන්තර රඡ්ජුරුවෝ වගේ... සිරිසඟ බෝ රඡ්ජුරුවෝ වගේ. ඇත්තටම මේ රජවරු ආයෙත් රජවෙලාද කියලාත් හිතෙනවා.

වෙසක්‌ ගෙවෙනවා
තොරන් ලිහෙනවා
දන්සැල් කාලය නිමැවෙනවා
වෙස්‌සන්තර රජු සිරිසඟ බෝ රජු
ආයෙත් රජකම හැර යනවා

මේ අයගේ පින් වැඩ වෙසක්‌ කාලෙට විතරයි. තොරණ ගැලවෙද්දී දන්සැල් පාලුවට යද්දී මේ එක රජෙක්‌වත් නැහැ. එදා රජවරු ලෙස සිටි අය අද නෑ... රජකම හැරදාලා ගිහිං...

සිංදු ලියන හාමුදුරුවෝ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ කදිමට අද සමාජය ගැන මේ ගීයෙන් විවරණයක්‌ ලබාදෙනවා. හැබෑවටම පින්දහම් කරන අය ඉන්නවා. ඒත් සිද්ධාර්ථ හිමියෝ මේ පවසන්නේ ඒ සැදැහැවතුන් ගැන නොවේ.

වෙසක්‌ කාලෙටයි කාගෙත් පිංකම්
කාට පේන්නද අනෙ මන්දා
නම්බු රැකීමයි නිවන් දැකීමයි
එකමඟ යන්නේ කොහොමද මන්දා

මේ අය පිංකම් කරන්න වෙසක්‌ කාලය උදාවෙනතුරු ඉන්නවා. ඒ හොඳ ප්‍රසිද්ධියක්‌ ලබාගන්න පුලුවන් හින්ද අහල පහල අයට, තරහ කාරයන්ට, තරගකරුවන්ට පේන්න තමයි මේ ව්‍යාජ වෙස්‌සන්තරලා, සිරිසඟබෝලා පිංකම් කරන්නේ... කෙටියෙන්ම කිව්වොත් නම්බුව රැකගන්න මිසක්‌ නිර්වානය කරා යන්න නම් නොවේ... ඒත් නම්බු රැකීම කියන්නෙත්, නිවන් දැකීම කියන්නෙත් එකට පෑහෙන කාරණා දෙකක්‌ නොවේ. නම්බුව රකින්න කරන පිංකම්වලින් කවදාවත් නිවන් දකින්න නම් ලැබෙන්නේ නැහැ...

ගීය ගායනා කරන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි ශිල්පියා. පෙම් ගී ගයන ළමා ගී ගයන, විරහ ගීත ගයන එඩ්වඩ් මේ ගීය ගයන ආකාරය හොඳින් ශ්‍රවණය කරන්න... කලකිරුණු ස්‌වරයක්‌ මේ ගීය ගයද්දී එඩ්වඩ්ගේ හඬෙන් මතුවෙනවා. රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් ඊටම ගැලපෙනවා.
Divaina අජිත් අලහකෝන්