Pages

Monday, July 20, 2020

කොවිඞ් එන්නතක් එන තුරු කරමාලය පැළඳ ගනිමු

කොව්ඞ් 19 ගෝලීය වසංගතය එක් පැත්තකින් මිනිස් ජීවිතවලට බරපතළ ලෙසින් හානි කරද්දී තවත් පැත්තකින් මිනිසුන්ගේ නිර්මාණශීලී චින්තනය අවදි කිරීමට සමත් වී තිබෙනවා. එකම සිදුවීම කාසියක දෙපැත්ත සේ ජනසමාජයට හිතකර ලෙසින් මෙන්ම අහිතකර ලෙසින් බලපා තිබෙනවා.
කොවිඞ් 19 ශ්වසනය ආශ‍්‍රිතව පැතිරෙන රෝග තත්ත්වයක් බැවින් සමාජ දුරස්ථබව, මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම වැනි උපදෙස් අතර මුහුණ, කට, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම රෝගයෙන් ආරක්ෂාව සඳහා අනුගමනය කළ යුතු කි‍්‍රයාමාර්ග බැව් ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

2019 වසරේ චීනයේ වූහාන් නගරය කේන්ද්‍ර කර ගෙන උපත ලද කොවිඞ් 19 වෛරස වසංගතය අද වෙන විට ගෝලීය වසංගතයක තත්ත්වයට පත්ව තිබෙනවා. වසංගතයේ මුල් අදියර පාලනය කර ගැනීමට අපොහොසත් වීමේ පසුතැවීම පසෙක තබා දැන් කොවිඞ් සමග ජීවත්වීමේ කලාව සොයන යුගයක් ගොඩ නැගෙන ප‍්‍රවනතාවක වර්ධනීය අවස්ථාවක් බැව් කිවහොත් නිවැරැදියි.

නමුත්.. මේ කොතෙක් උපදෙස් ලබා දුන්නත් අපටත් නොදැනීම අපේ අත ඇස්, නහය, කට ස්පර්ශ වෙන අවස්ථාවන් අප‍්‍රමාණයි. එය සාමාන්‍ය සිදුවීමක්. නමුත් හදිසියේ හෝ කොවිඞ් වෛරසය ව්‍යාප්ත වෙන බිඳිති අපේ අතේ තැවරී තිබුණොත් නාසය, ඇස් සහ මුඛය වැනි විවෘත සිදුරු ඔස්සේ ශරීරගත විය හැකියි. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ NASA මගින් අපේ අත ඉහත අවයවයන් ස්පර්ශ කරන විට ඒ ගැන අනතුරු සංඥාවන් ලබා දෙන උපාංගයක් නිපදවා තිබෙනවා. නාසා ආයතනය මීට පෙරාතුව කොවිඞ් 19 වෛරස ආසාදිතයන් වෙනුවෙන් සාර්ථක වෙන්ටලේටර් ශ්වසන උපකාරක උපාංගයක්ද නිපදවා තිබෙනවා.

දැන් ඔවුන් කොව්ඞ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා අපූරු කරමාලයක් නිපදවා තිබෙනවා. එය නම් කර තිබෙන්නේ ‘‘PULSE" නමින්.Jet Propulsion Lab ආයතනය මගින් නිර්මාණය කරන ලද මෙම කරමාලය 3D තාක්ෂණයෙන් යුක්තයි. අධෝරක්ත සංවේදන යොදා ගෙන ඇති මෙම මාලයේ දිග අඟල් 12 ක සිට 18 දක්වා වූ දිග පරාසයකින් යුක්තයි. ඒ සමග කුඩා පෙන්ඩනයක් ඇති අතර ඇතුළත ඇති කම්පන උපාංගය 3V බැටරි ආධාරයෙන් කි‍්‍රයාත්මක වෙනවා. මේ සියල්ල ප්ලාස්ටික් ආවරණයකින් වසා තිබෙන අතර යම් අවස්ථාවකදී අප නොදැනුවත්ම හෝ මුහුණ, කට, ඇස් ස්පර්ශ කිරීමේදී අනතුරු සංඥාවන් නිකුත් කරනවා. කර මාලයේ ඇති මෙම පෙන්ඩනය ආකාරයේ උපාංගය නිසා සිදු කරන සිහිපත් කිරීම නිසා නොදැනුවත්ව හෝ මේ තහනම් කලාප ස්පර්ශ කිරීමට අපට අවසර නැහැ.

නාසා ආයතනයේ Jet Propulsion Lab සාමාජිකයන් විසින් මේ කරමාලය සමග අපූරු පණිවිඩයක්ද සමාජයට මුදා හැර තිබෙනවා. එන්නතක් හෝ ඖෂධයක් අපට හමු වෙන දිනක් එන තුරු මේ කරමාලය පැළඳගමු... ඒ ඔවුන්ගේ පණිවිඩයයි.

Jet Propulsion Lab විසින් මේ නිෂ්පාදනයේ බුද්ධිමය අයිතිය රඳවා ගෙනත් නැහැ. හැකියාව තිබෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් මාර්ගගතව මේ කරමාලය නිර්මාණය කර ගැනීමේ උපදෙස් බාගත කර ගැනීමට විවෘත ප‍්‍රවේශයක් ලබා දී තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා - Divaina
Daily mail