Pages

Monday, July 06, 2015

දෙහදක් යා කළ ඉෂිතාගේ ආදර අන්දරය


ඉන්දියාවේ පුංචි තිරයේ දිග හැරෙන්නේ එසේ මෙසේ ටෙලි නාට්‍ය නම් නොවේ. ජනප්‍රියත්වය අනුව කොටස් සංඛ්‍යාව අඩුවැඩි කෙරෙන ඒවා මෙගා වර්ගයේ ටෙලි නාට්‍යයන් ය. ඇතැම් ඒවා කොටස් දහසකට ආසන්නය. එවැනි ටෙලි නාට්‍යය රැසක් පසුගිය කාලය තුළ බිහිවූවත් ‘යේ හයි මොහොබ්බතීන්‘ (මේ සෙනෙහසයි) ටෙලි නාට්‍යය තරම් ඉන්දියාව පුරා අතිශය ජනාදරයට පාත්‍ර වූ එකක් නම් මෑත කාලයේ බිහිවූයේ නැත.

ඉන්දීය ටෙලිනාට්‍ය කලාවේ පෙරළිකාර නිර්මාණයක් ලෙස සැලකෙන ‘යේ හයි මොහොබ්බතීන්‘ එරට පුංචි තිරයේ දිග හැරෙන්නට වූයේ 2013 වසරේ දෙසැම්බර් 3 වැනිදා සිටය. කොටස් 482කින් යුතු මේ ටෙලිනාට්‍යය මාස 18ක් පුරා ‘ස්ටාර් ප්ලස්‘ රූපවාහිනි නාලිකාව ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ඉන්දීය ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට ගොඩවී ඔවුන් ඇඳ බැඳ තබාගැනීමට සමත්වූ එකකි.

සිය පළමු නවකතාවෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේඛකයන්ගේ ත්‍යාගය දිනාගත් ඉන්දියාවේ සුප්‍රකට නවකතාකාරියක වන මංජු කපූර්ගේ ‘කස්ටඩි‘ නවකතාව ඇසුරින් නිර්මාණය කරනු ලැබූ මේ ටෙලි නාට්‍යය ‘කල්යානම් මුදල් කාදල් වරෙයි‘ නමින් දෙමළ බසින් ද, ‘මොන් නියේ කචකචී‘ නමින් බෙංගාල බසින් ද, ‘ප්‍රනායම්‘ නමින් මලයාලම් බසින් ද, ‘අවන්නු මට්ටෙයි ශ්රවානි‘ නමින් කන්නඩ බසින් ද හඬ කවා විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ සෙසු ප්‍රාන්තවල ප්‍රේක්ෂකයන්ට නැරැඹීමේ අවස්ථාව උදාකර දී තිබේ.

එය දැන් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ද රසවිඳීමේ ඉඩකඩ ලබාදෙමින් සිරස රූපවාහිනි නාලිකාව ඔස්සේ සතියේ දිනවල රාත්‍රී 9.30ට ‘මේ ආදරයයි‘ නමින් හඬ කවා විකාශය කෙරේ. ස්ටාර් ප්ලස් හරහා ඉන්දිය ප්‍රේක්ෂකයන් නරඹන ‘යේ හයි මොහොබ්බතීන්‘ මේ මස අග දී නිමාවට පත්වීමට නියමිතය. මේ දිනවල විකාශය වන්නේ එහි අවසන් කොටස් කිහිපයයි. එහෙත් ශ්‍රී ලාංකික රූපවාහිනි ප්‍රේක්ෂකයන්ට තවත් කාලයක් පුරා නැරැඹීමේ අවස්ථාව උදාවනු ඇත.

දිනෙන් දින ඉහළ යන ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද ‘යේ හයි මොහොබ්බතින්‘ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉන්දියාවේ පමණක් නොවේ. එය අමෙරිකාව, යුරෝපා රටවල් ඇතුලු ලොව පුරා බොහෝ රටවල වෙසෙන ඉන්දියානුවන්ගේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය බවට පත් වී තිබේ. මෙය සඳුදා සිට සෙනසුරාදා දක්වා ඉන්දීය වේලාවෙන් පස්වරු 7.30ට ස්ටාර් ප්ලස් නාලිකාව හරහා විකාශය කෙරේ.

විවිධ ඇගැයීම් දර්ශකවලට අනුව එම කාලය තුළ සෙසු රූපවාහිනි නාලිකා අභිබවමින් ස්ටාර් ප්ලස් නාලිකාව පෙරමුණ ගැනීමට සමත්වී තිබීම එහි අසීමිත ජනප්‍රියත්වයට කදිම නිදසුනකි.

‘යේ හයි මොහොබ්බතින්‘ පවුලේ ආදර කතාවකි. දික්කසාද වූ පන්ජාබි මිනිසකු වන රමන් හා ඔහුගේ දියණිය රූහිගේ ජීවිතයට සමීපවන ඉෂිතා නමැති දෙමළ ජාතික දන්ත වෛද්‍යවරියක මුහුණදෙන විවිධ සිදුවීම් වටා ගෙතුණු මේ ටෙලි නාට්‍යය බලාජී ටෙලි ෆිල්ම්ස් වෙනුවෙන් නිශ්පාදනය කරනු ලැබුවේ කුතුහලය කදිමට උද්දීපනය කිරීමට සමත් ඉන්දීය ටෙලි නාට්‍ය නිර්මාණකරුවකු වන එක්ටා කපූර් විසිනි.

ප්‍රධාන චරිත ත්‍රිත්වයක එකතුවක් වන ‘යේ හයි මොහොබ්බතින්‘ ටෙලිනාට්‍යමාලාවේ ඉෂිතාගේ චරිතය ඉන්දීය පුංචි තිරයේ සුරූපි නිළියක වන දිව්‍යංකා ත්‍රීපතී විසින් නිරූපනය කරනු ලබන අතර රමන් කුමාර භල්ලාගේ චරිතයට පණ පොවනුයේ කරන් පටේල්ය.

මෙහි වඩාත්ම කැපී පෙනෙන චරිතය බවට පත්ව ඇති කුඩා රූහි දියණියගේ චරිතය රුහනිකා ධවාන් විසින් නිරූපනය කරනු ලබන්නීය.

‘යේ හයි මොහොබ්බතින්‘ මේ තිදෙනාගෙම රංගන ජීවිතය එහෙම පිටින්ම වෙනසකට ලක් කළ ටෙලිනාට්‍ය මාලාවකි.

වසර 2005 දී ඉන්දියාවේ මධ්‍ය ප්‍ර දේශයේ බොපාල් දිස්ත්‍රික්කයේ රූ රැජන ලෙස අභිෂේක ලැබූ දිව්‍යංකා ත්‍රීපති එම දිස්ත්‍රික්කයේ රයිෆල් ඇකඩමියේ විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ අතර රයිෆල් වෙඩි තැබීමේ තරග ඉසව්වේ රන් පදක්කම්ලාභිනියකි. රූ රැජනක ලෙස ලැබූ ප්‍රසිද්ධිය ඇයට රංගන දිවියේ දොරටු විවර කරගැනීමට ඉවහල් විය.

අනතුරුව විවිධ ටෙලිනාට්‍ය ඔස්සේ සිය රංගන ජීවිතයේ නිම්වළලු පුළුල් කරගත් ඇය ප්‍රේක්ෂක හද දිනාගත් නිළියක බවට පත්වූයේ ‘යේ හයි මොහොබ්බතින්‘ ටෙලිනාට්‍ය මාලාව හරහාය. ඒ වනවිට විවිධ චරිත තුලින් සම්මාන රැසකට හිමිකම් කියා තිබූ දිව්‍යංකා පසුගිය දෙවසර තුල ඉන්දියාවේ ඉහළම තලයේ රූපවාහිනී සම්මාන උළෙල කිහිපයක ජනප්‍රියතම නිළිය, හොඳම නිළිය සම්මානයෙන් අභිෂේක ලැබුවේ ‘යේ හයි මොහොබ්බතින්‘ රංගනය වෙනුවෙනි.

පසුගිය මාසය වෙද්දී ඇය සිය එම ටෙලිනාට්‍ය මාලාවේ රංගනය උදෙසාම 21වැනි ‘ලයන්ස් ගෝල්ඩ් සම්මාන උළෙල ඇතුළු තවත් සම්මාන උළෙල කිහිපයකම ජනප්‍රියතම නිළිය බවට පත්වූ අතර ඇගේ රංගන ජීවිතය එකළු කළ ‘යේ හයි මොහොබ්බතින්‘ වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය මාලාව බවට පත්විය.

පුංචි තිරයේ වඩාත්ම ආදරය දිනාගත් නිළිය බවට පත්වූ දිව්‍යංකා මේ වනවිට ඉන්දියාව පුරා ජනහද බැඳගත් විසිත්ත කාමරයේ කාගෙත් කතාබහට ලක්වූ චරිතයකි.

‘යේ හයි මොහොබ්බතින්‘ ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ තබාගැනීමට සමත්වූ සෙසු චරිත ද්විත්වය වන්නේ රමන් හා ඔහුගේ දියණිය රූහිය.

කල්කටා නුවරින් රංගනයට එක්වූ ප්‍රකට ටෙලි නාට්‍ය නළු කරන් පටේල්ගේ රංගන ජීවිතය වඩාත්ම කැපී පෙනෙන එකක් බවට පත්වූයේ රමන් කුමාර් භල්ලාගේ චරිතයත් සමගය. පසුගිය වසරේ ‘සී ගෝල්ඩ් රූපවාහිනී සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ඔහු සම්මානයට පාත්‍රකළ රමන් කුමාර් භල්ලාගේ චරිතයට ලැබී ඇත්තේ අසීමිත ජනප්‍රියත්වයකි.

එය ඉන්දීය ටෙලිනාට්‍ය නළුවකු ලැබූ ඉහළම ජනප්‍රියත්වය බව කියැවේ. වසර 2000 දී රංගන ජීවිතය ඇරැඹූ කරන් පටේල්ට මේ වනවිට විකාශය වන තවත් මෙගා ටෙලි නාට්‍ය දෙකක ප්‍රධාන චරිතය රඟ දැක්වීමේ අවස්ථාව හිමිවූයේ ‘යේ හයි මොහොබ්බතින්‘ ටෙලිනාට්‍ය මාලාව හරහාය.

රමන් - ඉෂිතා යුවළගේ දියණිය රූහි ලෙස ‘යේ හයි මොහොබ්බතින්‘ ටෙලිනාට්‍ය මාලාවේ කාගෙත් ආදරය දිනාගත් කුඩා දැරිය රුහනිකා ධවාන්ය. පසුගිය වසරේ ‘ස්ටාර් පරිවාර් රූපවාහිනි සම්මාන උළෙලේ හා 13වැනි ඉන්දියානු ටෙලිනාට්‍ය සම්මාන උළෙලේ දී වසරේ ජනප්‍රියතම ළමා නිළියට හිමි සම්මානය දිනාගත් රුහනිකා මේ වසරේ දී එම රංගනය උදෙසා දෙවැනි වරටත් ස්ටාර් පරිවාර් රූපවාහිනි සම්මාන උළෙලේ ජනප්‍රියතම ළමා නිළිය ලෙස අභිෂේක ලැබුවාය.

‘යේ හයි මොහොබ්බතින්‘ ඉන්දීය පුංචි තිරයේ විශිෂ්ටතම නිර්මාණය නොවූව ද එය එරට ජනජීවිතයට බලපෑම් කරවන්නට තරම් සමත්වූ එකකි.

එකිනෙකට වෙනස් සංස්කෘතීන් දෙකක ආදර අන්දරයක මහිමය විදහා දක්වන මේ ටෙලි නාට්‍ය මාලාව ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ද කදිම රසාස්වාදයක් ලබාදීමට සමත්වී ඇත්තේ එහි කතා තේමාව මෙරට ජන සමාජයට ද පොදුවූවක් බැවිණි.