විහඟ නදින් පැතිරෙන සප්ත ස්වරයේ මියැසියෙන් වසන්තයේ මල් පිපී සුවඳ ගලන විට හීන් සීරුවේම ගීතලෝලී සිත් අද්දරට සියුම් රිදුමක් ගෙනෙන ඔහු පිළිබඳ මතකය නම් අමතක නොවේම ය. හරියටම මීට වසර අටකට පෙර මෙලොව හැර නික්ම ගිය ද ගීතයෙන් අපට ජීවිතය ඉගැන්වූ ඔහු දැනුදු අප සමඟ හිඳින්නාක් මෙනි.
1973 පෙබරවාරි 19 වැනිදා මුලින්ම ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ කපුගේ ගායනා කළ ‘දෑස නිලුපුල් තෙමා” ගීතය ඔහු ගැයූ ප්‍රථම ගීතය යි.
මාලනී බුලත්සිංහල සමඟ කපුගේ ගැයූ “දම් පාටින් ළා සඳ බැස යනවා” ඔහුගේ ප්‍රථම යුග ගීතය වූ අතර මුල්ම චිත්‍රපට ගීතය වූවේ “එක්ටැම් ගේ” චිත්‍රපටයට ගායනා කළ “උන්මාද සිතුවම් මැවේ” ගීතය ය. 1974 දී “ඒ” ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පියෙකු වූ කපුගේගේ ගායන දිවියේ ප්‍රථම සම්මානය ඔහුට හිමි වූවේ ගායනයට පිවිස දශක දෙකකට පමණ පසුව ය.
Read more
ඒ 1997 දී සරසවිය සම්මානය (හොඳම ගායකයා) “බිතු සිතුවම්” චිත්‍රපටයේ ගැයූ “කියග මගිය” (පද - සුනිල් ආරියරත්න) ගීතය සඳහා ය. 1998 දී ද හොඳම ගායකයා ලෙස සරසවි සම්මානයෙන් කපුගේ පිදුම් ලැබූ අතර “විසිදැල” චිත්‍රපටයේ ඔහු ගායනා කළ “බිඳුණා දැහැන් බිඳුණා” (පද – එච්.ඩී.ප්‍රේමරත්න) ගීතය ඔහුට එම සම්මානය හිමි කර දුන්නේය.
කපුගේ සිය සෞන්දර්ය චාරිකාවේදී ගීත ගායනය මෙන්ම සංගීත නිර්මාණයෙන් ද මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉටු කළ මෙහෙවරය කිසිවෙකුට අමතක කර දැමිය නොහැකිය. ඔහුගේ ඇසුරින් සිය නිර්මාණයන්ට ආලෝකය ලද කරුණාරත්න දිවුල්ගනේ, සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ, ක්‍රිශාන්ත එරන්දක, ඇනස්ලි නානායක්කාර සහ ජයතිලක බණ්ඩාර වැනි ගායන ශිල්පීහු බොහෝ දෙනෙකු වෙති. කරුණාරත්න දිවුල්ගනේ වරක් “ගුණදාස කපුගේ නමැති සුවිශේෂ කලාකරුවාගේ ඇසුර මාගේ ගායන දිවියට විශාල ආලෝකයක් වුණා.
මගේ සාර්ථක නිර්මාණ හැම එකකම වාගේ පසුපස ඉන්නේ ඔහු යි.” යනුවෙන් පැවසුවේ ඒ නිසාම නොවේ ද? ගුවන්විදුලි තැටි ගීත, වේදිකා නාට්‍ය ගීත, රූපවාහිනී නාට්‍ය මෙන්ම චිත්‍රපට ගීත රැසක් ද කපුගේ නිර්මාණය කළේ ය. “තුරඟ සන්නිය” ඔහු සංගීතවත් කළ ප්‍රථම වේදිකා නාට්‍ය වූ අතර “තාරාවෝ ඉගිලෙති” නාට්‍යයේ අදත් ජනප්‍රිය ගීත සියල්ල ද කපුගේගේ සංගීතයෙන් රසවත් වූ ගීත වේ.
1982 දී ප්‍රදර්ශනය වූ ‘සඳා’ චිත්‍රපටය කපුගේ සංගීතවත් කළ මුල්ම චිත්‍රපටය වූ අතර “චුට්ටේ” (1983) “රතු මකරා” (1983), “මාල ගිරවි” (1984), “පුතුනි මට සමාවෙන්න” (1985) වැනි වාණිජමය චිත්‍රපට මෙන්ම “බව දුක” සහ “බව කර්ම” වැනි කලාත්මක චිත්‍රපට ද ඔහු සංගීතවත් කළේය. ඔහු නිර්මාණ වර්ගීකරණය කළේ නැත. “කලාකරුවන්ගේ කාර්යය විය යුත්තේ පොදු චින්තනය එක්තැන් කිරීමය” යන වග එවන් විට ඔහු අනුගමනය කළ පිළිවෙත විය.
කැසට් ගීත පට ඔහුගේ ගායන දිවියේ සුවිශේෂ මංසලක් සලකුණු කළේය.
ඒ ‘සන්ෆ්ලවර්ස් සමඟ කපුගේ’ ගීත පට සඳහා ගීත ගායනා කිරීම නිසා ය. 1980 දී ඔහු ගී ගැයූ “දම් පාටින් ළා සඳ බැස යනවා” කැසට් පටය ඔහුගේ පළමු කැසට් ගීත පටය විය. ඉන්පසු “සීතල සඳ එළියේ” (1981) “උන්මාද සිතුවම්” (1983) කැසට් ගීත පට සඳහා ගී ගැයූ කපුගේ පසු කලෙක “පිය සටහන්” – “ඉරබටු තරුව“ සහ “සන්ෆ්ලවර්ස් සමඟ ගුණදාස කපුගේ” ආදී කැසට් ගී පට සඳහා ද ගායනයෙන් දායක වූවේය. සන්ෆ්ලවර්ස් සංගීතයට කැසට් පට සඳහා ගීත ගැයීම සම්බන්ධයෙන් කපුගේ සංගීත ක්ෂේත්‍රයේ බොහෝ විචාරකයින්ගේ මෙන්ම ඔහුගේ ගීත ශ්‍රාවකයන්ගේ ද දෝෂාරෝපණයට ලක් වූවේය. නොමනා ක්‍රියාවක් කළ ප්‍රබුද්ධ ගායන ශිල්පියෙකු ලෙස විමසුමට ලක් වූ කපුගේ ළඟ ඊට සරල පිළිතුරක් විය.
ඔහුගේ පිළිතුර තුළ ප්‍රශ්නයක් ද විය. “ප්‍රසංග වේදිකාවේදී සන්ෆ්ලවර්ස්ලා එක්ක විශාරද ගුණදාස කපුගේට ගීත ගායනා කරන්න හොඳ නම් කැසට් පට වලට ගායනා කරන්න නරක ඇයි?” සැබැවින්ම සන්ෆ්ලවර් සංගීත රැල්ල මෙරට සංගීත ක්ෂේත්‍රය ආක්‍රමණය කළ එම වකවානුවේ කපුගේ ආර්ථික වශයෙන් කටුක පීඩා විඳිමින් උන්නේය. ඔහුට, ඔහුගේ දරු පවුලට ජීවත්වීමට මුදල් ඕනෑ කළේය. ඔහු ඒ තත්ත්වයට මුහුණ දීමට පියවර ගත්තේ ය. විශාරද ගුණදාස කපුගේ සාමාන්‍ය මිනිසෙකු වී ජීවිතය කියා දුන්නේ එලෙසය.
1984 දී “කාලයේ රාවය” සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත්වූ කපුගේ 1985 දී “මාවතේ ගීතය” සහ 1990 දී “කම්පන” ඒක පුද්ගල ගී ප්‍රසංග පවත්වමින් ජනතාවාදී ගායන ශිල්පියෙකුගේ ගමන් මඟ පහදා ගත්තේය. “කම්පන” ගී ප්‍රසංගය මෙරට මෙන්ම විදේශයන්හි ද පැවැත්වූ වාර ගණන දහසකට ආසන්න වේ. සෘජු ලෙසම සිය දේශපාලන මතය ප්‍රකාශ කළ කපුගේ මාක්ස් ලෙනින් වාදියෙකු බව නොරහසකි. “මානව සමාජයේ දුප්පත්කම නැති කරගන්න සූරාකෑමෙන් තොර සමාජයක් ගොඩනඟන්න ඕනෑ ය” යන අදහස ඔහු දැඩි ලෙස පිළිගත්තේය.
ඔහු සිය ගීතයෙන් ඒ සඳහා හඬ අවදි කළේය. “බිම්බරක් සෙනඟ” , “ලෙලි තලන නුඹෙ අතට”, “විදුලි මිණි පහන්” සහ “උතුරු කොනේ නුඹ හිනැහේ” ගීත තුළ ඒ හඬ මුසු වී ඇසුණේ ය. තවමත් ඇසෙන්නේ ය. “කලාව ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් අවසන් විය යුතු ය” යන වග කපුගේ ද විශ්වාස කළේ ය. එසේම සාහිත්‍යමය වටිනාකමට හෝ සෞන්දර්යට හානියක් නොවන අයුරු යථාර්ථවාදී දෘෂ්ටියක් සිය ගීත නිර්මාණයන්ට ආරෝපණය කිරීමට කපුගේ සමත් වූවේය.
ගීතය, සංගීතය සේම මධුවිත ද ඔහුගේ වින්දනයට එකතු වූවේය. සුපිරි අවන්හලක, හෝටලයක සම්භාවනීය පුද්ගලයින් සමඟ මෙන්ම පදික වෙළෙන්දෙකු, ත්‍රිරෝද රියදුරෙකු හෝ දුප්පත් කම්කරුවෙකු හෝ සමඟ ද මධුවිත පානය කිරීමට කපුගේට බාධාවක් තිබුණේ නැත. ඔහු මිනිසුන්ට ආදරය කළේ එලෙසය. තවදුරටත් පවසතොත් ඔහු ගීත ප්‍රසංගවල ගී ගයා ලැබුණු මුදල් අසරණ රෝගීන් සහ දිළිඳු සිසු දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කළ අවස්ථා ද විය. ඔහු සිය බිරිඳ ප්‍රේමාට, මිත්‍ර පුතාට, සචිනි හා රිද්මා දියණියන්ට මෙන්ම සෑම මිනිසෙකුටම ආදරය කළේය. එහෙත් ඔහු තමාට ආදරය නොකළ බැව් කපුගේට ආදරය කළ සැමම දන්නා කරුණකි.
මෙරට පමණක් නොව විදේශයන්හි ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ද ප්‍රියතම ගායන ශිල්පියෙකු වීම නිසා කපුගේට සිය ජීවිතයේ අවසන් භාගයේ බොහෝ දවස් මෙන්ම අවසාන දවස් ද ගතකිරීමට සිදුවූවේ විදේශ ගතවය. කාලය මිනිසුන් වර්ග නොකරනවා මෙන්ම කපුගේ ද මිනිසුන් වර්ග නොකළේය. එහෙත් කාලය විසින් නොකළ යුත්තක් සිදු කළේ යයි මම සිතමි. ඒ, 2003 වසරේ අප්‍රේල් තුන්වැනිදාය. අවසාන වරට ඩුබායි හි පැවැති සහරා ෆ්ලෑෂ් සංගීතවත් කළ “සුමුදු ගී සර” (2003 මාර්තු 28දා) ගීත ප්‍රසංගයේ ගී ගයා කපුගේ ශ්‍රී ලංකාවට පැමිණියේ අප්‍රේල් පළවැනිදා හිමිදිරියේය. ජීවිතයේ අපමණ වූ කටුක පීඩා අතර මැදදීත් ඇද නොවැටුණු ඔහු ගුවන් තොටුපළේ දී ඇදවැටුණේය. කිසිවෙකුට යළි ඔහු නැගිටුවන්නට බැරි විය.
කාලය මේ සොඳුරු මිනිසා අපෙන් උදුරා ගනිමින් නොකළ යුත්තක් කළේ යයි මම සිතන්නේ එනිසා ය. “මිනිස්කම ගීතයෙන් කියා දී අපට ජීවිතය ඉගැන්වූ ආදරණීය ගායකයාණෙනි.... ඔබ ඔබේ ගීතයෙන් ආරාධනා කළ පරිදි, අපි කඳු නොවී සුනිල දිය දහර වෙමු”
සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැඟෙන
සුනිල දිය දහර වෙමු
එකම ගඟකට වැටෙන...