1988 පළාත් සභා මැතිවරණය පැවති සමයේ කපුගේ වාම අදහස් දරන්නෙක් ලෙස අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි අතිශයින්ම ජනප්‍රිය චරිතයක් විය. ඒ නිසාම ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ප්රමුඛ වුවමනාව මත ඔහුට කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරුවීම් ලැබීමට සිදුවිය.
එවකට අනුරාධපුර යුද හමුදා ප්‍රධානියා වූ බ්‍රිගේඩියර් ආනන්ද වීරසේකරගේ නියෝගයට අනුව පාලක කපුගේ, ගායක දිවුල්ගනේ, ප්රවෘත්ති සංස්කාරක නිව්ටන් ගුණසේකර, මම ඇතුළු විසිදෙනෙක් පමණ වූ කාර්ය මණ්ඩලය හමුදා භාරයට පත්වන්නේ මෙහිදීය.
උදේ හවා හමුදා රැකවරණය මැද ශ්‍රී මහා බෝධිය අසල සුනාත විශ්‍රාම ශාලාවේ හමුදා බැරැක්කයේ සිට රජරට සේවයට යන එන අපි කණ්ඩායම එහි විකාශය බාධාවකින් තොරව පවත්වාගෙන ගියෙමු.
මෙම වකවානුවේදී තම හිතවතා වූ නන්දන මාරසිංහව අනුරාධපුර මාරකැට්ටුවේදී වෙඩි තබා මරා දැමූ පාපතරයන් ඉන්පසු කපුගේ හඹා එමින් සිටි බව රහසක් නොවීය. එම රතු නිවේදනය කපුගේ පුත් මිත්‍ර මගින් ගෙදරටද දන්වා තිබූ බව අපි දනිමු.
එසේම සංගීතයට ලැදියාවක් ඇතැයි කියන උසස් පොලිස් නිලධාරියෙක්ද මේ වන විට අනුරාධපුරයේ විය. ඔහු ලියන ගීතවලට සංගීතය සැපයීම කපුගේ අතින් සිදුවිය. අඹ යහළුවෝ වූ මේ දෙදෙනා පසු කලෙකදී විරසක විය. විරසකය කෙතෙක් වීද යත් එහි ප්‍රතිඵලය වූවේ ඔහුගේ නිල බලයේ හයියෙන් කපුගේ රෑ එළිවන තුරු දින කීපයක්ම පොලිස් බංකුවේ වාඩිලා ගෙන සිටීමයි. මෙවැනි විවිධ බාධක මධ්‍යයේ කොපමණ වුවමනාවෙන් රාජකාරියේ එල්බ සිටියද මෙවැනි පුද්ගලයන්ගේ අසත්‍ය වාර්තා නිසා කපුගේ 1989 නොවැම්බර් මාසයේ දී යළි කොළඹ ප්‍රධාන කාර්යාලයට මාරු කරනු ලැබිණ.
ඉන් නොනැවතුණු පාලනාධිකාරිය 1990 ජනවාරි මාසයේ දී කිසිදු විමසීමක් නොකොටම අනිවාර්ය නිවාඩු යෑවීය. සංස්ථාවේ කිසිදු ඒකකයකට අධ්යක්ෂ ජනරාල්ගේ අවසරයක් නොමැතිව ඇතුල් විය නොහැකි බවටද විශේෂ නියෝගයක් පැනවිණ. මෙහිදී කරුණාරත්න දිවුල්ගනේ (අද උතුරුමැද ආණ්ඩුකාර) ජයතිලක බණ්ඩාර යන සහෘදයන්ටද ගුවන්විදුලියේ දොර වැසී යන අයුරු අපි දකිමු.
අනිවාර්ය නිවාඩු යෑවූ කපුගේ ඊළඟට 1990 මාර්තු 27 දින වැඩ තහනම් කරනු ලැබීය. වැඩ තහනම් කිරීමට තරම් චෝදනාවක් නොමැති බවට රහස්‍ය වාර්තාවක් ද මෙහිදී ලබාගෙන තිබූ බව පසුව අනාවරණය විය. මේ වන විට ඔහු දැරූ පාලක තනතුර සංගීතය හෝ වැඩසටහන් පිළිබඳව කිසිදු දැනුමක් නොතිබූ කාර්මික නිලධාරිවරයකුට පැවරීමද හාස්‍යජනකය.
90 අප්‍රේල් 24 දින එවකට සිටි අධ්යක්ෂ ජනරාල්වරයා, අමාරුවෙන් අටවාගත් චෝදනා පත්‍රයක් භාරදුන් අතර පසුව පැවති විනය පරීක්ෂණයේ දී කපූ මුළුමනින්ම නිදහස් විය. 91 අප්‍රේල් 28 දා කොත්මලේ ප්‍රජා ගුවන්විදුලියට මාරු කරනු ලබන්නේ ඉන් අනතුරුවය. මෙසේ කිහිප වතාවක්ම වැඩ තහනම් කර හෝ මාරු කිරීම් කරනු ලැබුවද එකී කාලය තුළදී අඩ වැටුපක් හෝ ලබාදීමට පාලනාධිකාරිය කාරුණික නොවූ බව කිව යුතුමය. චෝදනාවලින් නිදහස්ව යළි සේවයට වාර්තා කිරීමෙන් පසුව ගෙවී ගිය වර්ෂයටද අදාළව හිමිවිය යුතු නිවාඩු ඔහු අයෑදුම් කරනුයේ 1991 මැයි මාසයේ දී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන සංගීත වැසටහනට සහභාගි වීමටය. එහෙත් මෙවරද එකී අනුමැතිය ලබාගැනීමට කපූ වාසනාවන්ත වූවේ නැත.
ඒ පිළිබඳව තැකීමක් නොකළ කපුගේ සංචාරය නිමවා ගෙදරට එන විට 1991 ජුනි මාසයේ දී කිසිදු හේතුවක් නොදක්වා යළිත් වැඩ තහනම් කරනු ලබන බව දන්වන අධ්යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුත් ලිපිය ගෙදරට ලැබී තිබිණ.
කිසිදු චෝදනා පත්‍රයක් හෝ නොලද කපුගේට දෙවසරකට පසු යළි 1993 ඔක්තෝබර් මාසයේ දී කැඳවීම් ලිපිය ලැබෙනුයේ ඔහුට සිදුව ඇති අසාධාරණය මාධ්‍ය මගින් පෙන්වා දෙනු ලැබීමෙන් පසුය. එහෙත් ඔහුට පවරනු ලැබූ කිසිදු රාජකාරියක් නොවීය.
ආපන ශාලාවේ හා කොරිඩෝරයේ රස්තියාදු වීම නොරිස්සූ කපුගේ ඉඩ ලද හැම විටම බාහිර සංගීත කටයුතුවලට සම්බන්ධ වන්නේ මෙම වකවානුවේය.
මේ අතරතුර තවත් පළිගැනීමක් අනුරාධපුරයේ ක්‍රියාත්මක වෙමින් පැවතිණ. ඒ කපුගේ පදිංචිව සිටි රජරට සේවය සතු අනුරාධපුර නිවහනෙන් කපුගේ බිරිඳ හා දරු තිදෙනා පලවා හැරීමේ ක්රියාදාමයයි. දෙවසරකට පසුව කපුගේ මුළු පවුලම සමග කොළඹ ආවේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
Divaina
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශ්‍රාමලත්
සෝමරත්න පන්නිල