හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා
හිත ඉගිළෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳු අතරේ
මා තනිවෙනවා පා යුග දවනා
නිරුදක මරු කතරේ
මා සැනසෙනවා මා පිය ළඳගේ
මුදු සැනසුම් සිහිලේ
හිත හිනැහෙනවා මා මගතොට දී
දුටු ළඳ මුව මඬලේ
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - බන්දුල විජේවීර
සිත වනාහි දුර ගමන් කරන තනිව හැසිරෙන ගුහාවක් වැනි ය. ඒ බුදු හිමියන් සිත විග්රහ කළ ආකාරයයි. එහෙත් ඒ ගැන සරල ගීයකින් කියැවුණු අවස්ථා දුලබ ය. මට මහගම සේකරයන්ගේ ‘ප්රබුද්ධ කාව්යයේ එක්තරා ප්රකාශයක් සිහිවේ.
Read more
Read more
“හිත නම් වල් අසෙකි
අල්වා බැඳ තැබිය යුතු
නුවණින් මෙහෙයවිය යුතු
(ප්රබුද්ධ)
සුනිල් ආරියරත්නයන් මේ මිනිස් සිතෙහි ස්වභාවය නිර්මාණශීලීව ගොනුකර ගනී. තමා ගේ සිතට එබී බැලීමෙන් තමාගේ සිත හඳුනාගත හැකි නමුදු එය නිර්මාණශීලීව ඉදිරිපත් කිරීම අසීරු ය. සුනිල් ආරියරත්නයන් ජයගන්නේ ඒ අභියෝග යයි. සිතුවිලි සිරකළ නොහැකි ය. ඒවා අවකාශයේ සැරිසරයි. රචකයා හිතෙහි ස්වභාවය ආත්ම කථනයක් ලෙස ගී පද මාලාව තුළ ගොනු කරයි.
“හිත හීලෑ නෑ
හරිම මුරණ්ඩුයි
තැන තැන ඇවිදිනවා
හිතෙන හිතෙන තැන නවතිනවා”
“එක් බලාපොරොත්තුවක මරණ මංචකය තවත් බලාපොරොත්තුවක තිඹිරි ගෙයයි” යනුවෙන් පවසන්නේ ද මනුෂ්‍යයා සුවහසක් ප්රාර්ථනා සිහිනලෝක අතරේ ජීවත්වන බැවිනි. එසේ ම කුමන ප්රාර්ථනාවක් ඉටු වුව ද බොහෝ මිනිසුන් තෘප්තිමත් නොවන්නේම ය.
“මිනිසා හඬ හඬා උපදින්නේ ය, කෙඳිරි ගගා ජීවත්වන්නේ ය, බලාපොරොත්තු කඩවී මැරෙන්නේ ය යනුවෙන් පවසන්නේ ද ඒ අසීමිත අතෘප්තිමත් බව සංකේතවත් කිරීමටයි. මට ජී.බී. සේනානායකයන් ගේ එක්තරා පද්‍ය පන්තියක් සිහිවෙයි. එය සම්පූර්ණයෙන් ම “තත්සර ඇසුරට මුසු කරන්නේ කොටසක් පමණක් උපුටා දැක්වීමෙන් නිර්මාණයේ අරුත ඉස්මතු නොවන බැවිනි.
එසේ ම ජී.බී. සේනානායකයන්ගේ මේ පද්‍ය පන්තිය මේ ගීතයේ අනුභූතිය සමඟ සමාන්තර වන අවස්ථාවන් දක්නට හැකි ය. එසේ ම හීලෑ නැති අතෘප්තිමත් සිත පිළිබඳ සංකේතාත්මක පණිවිඩයක් ද එහි අන්තර්ගත බැවිනි.
රන් හැට්ටය හැඳ
රන් පටියෙහි
දිග කඩුව බැඳ
අසු පිට නැඟුණු කුමාරයා
ගම් නියම් ගම් රාජධානි
පසු කොට ගියේ ය
පස් වසක් ගමන් කළ ඔහු
විවාහ කොටගත් කුමරිය
ගෙන ඒ මට
තව පස් වසක් ගත විය
“එවැනි රුවක් නොදුටිමු” යි
ඈ ගෙනා දින
පුර වැස්සෝ කීහ.
එදින හවස් කල
පුර දොර අසල දී
රජ ගෙදර
දොරටු පල්ලා ගේ දුව
භද්රා
කුමරුට හමු විය
“තී කවුරු” යි
ඔහු විස්මයෙන් ඇසීය
“තිගේ වැනි රුවක්
මම කිසිම කලක නොදුටිමි”
(ජී.බී. සේනානායක)
මේ ගීතයේ හමුවන කථකයා ද සිහින දකින්නකි. එම සිහින මිහිඳුම් සිහින බඳු ය. එහෙත් මොහොතකින් ඒ සියල්ල සිහිනයක් ම බව ඔහුට ම වැටහෙයි. අවසානයේ ඔහු අත්විඳිනුයේ වේදනාවයි.
හිත ඉගිළෙනවා කාශ්මීරයේ
සුදු හිම කඳු අතරේ
මා තනිවෙනවා පා යුග දවනා
නිරුදක මරු කතරේ
ලද දෙයින් තෘප්තිමත් වීමට වඩා ලද දෙයින් අතෘප්තිමත් වීම ද මනුෂ්‍යත්වයේ ලක්ෂණයකි. විවාහය පිළිබඳ ප්රකට කියමනක් මේ මොහොතේ මට සිහිවෙයි.
“විවාහය වූ කලී ඇඹුල් පලතුරකි.
බුදින්නා ගේ කට ඇඹුල් වෙයි
බලා සිටින්නාගේ කටට කෙළ උනයි”
ගීතයේ ද මුණ ගැසෙන්නේ මඳක් ඒ හා සමාන චරිතයකි. ඔහු ඔහුගේ ප්රියාවියට ආදරය කරයි. එහෙත් මඟතොට දකින යුවතියක කෙරෙහි හිත නොදැනුම්වත්වම ඇදී යයි. ඔහුට එය පාලනය කර ගැනීමට නොහැකි වෙයි. වරද හිතට ම පවරා දී ඔහු නිහඬ වෙයි.
මා සැනසෙනවා මා පිය ළඳගේ
මුදු සැනසුම් සිහිලේ
හිත හිනැහෙනවා මා මඟ තොට දී
දුටු ළඳ මුව මඬලේ
ගීතයේ චමත්කාරයට එක් හේතුවක් වන්නේ මෙය අතිශයින් අව්යාජ ප්රකාශනයක් වීමයි. ඒ නිසා පදමාලාව සමඟ රසිකයාට ආත්මීය වීම අතිශයින් පහසු ය.
බන්දුල විජේවීර නම් වූ ගායකයා මගේ අසල්වාසී කලාකරුවෙකි. ගායන ක්ෂේත්රයේ ඔහුට බොහෝ දුර යා හැකිව තිබිණි. එහෙත් ඔහු ඔහුගේ ගමන අතරමග නවතා දැමූ බවක් හැෙඟ්. එය ඔහුගේ පමණක් නොව ජාතියේ ද අවාසනාව ය. ඔහු ගේ ඇතැම් ගී ගුවනින් නෑසුණ ද හදවතින් ඇසේ.
“රිදී නිම්නය කඳුළු නිම්නය
ඔබය මගෙ ජීවිතේ
නොදුටු නිම්නය
ඔබය මගෙ ජීවිතේ”
බන්දුලයන් විකට ගීත හෝ උපහාසාත්මක ගීත තුළ පමණක් කොටු විය යුතු නැති ගායකයකු බව මගේ පෞද්ගලික හැඟීමයි. අලියා අලියාගේ තරම දන්නේ මිය ගියායින් පසුව ය යන කියමන මා ඔහුට ආදේශ නොකරන නමුත් එහි සත්යයක් ඇති බව ඔබට ද සිතෙනු ඇත.
මේ සඳහා ගොඩනැඟෙන තනුව අතිශයින් ශ්රවණ මාධුර්යයෙන් යුතු ය. තනුවේ මාධුර්යය පද මාලාව සමඟ බද්ධ වන අතර බන්දුලයෝ එයට හානි නොකරති.
ගීතය වූ කලි නව ඉසව් සොයා යා යුතු මාධ්යයකි. සුනිල් ආරියරත්නයෝ එහි වගකීම මැනැවින් ඉටු කළහ. සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් සරත් පෙරේරා වැන්නන් ගීතය සමඟ කළ සරල සුගම සොඳුරු ගනු දෙනුව ඉන්පසුව හරි ආකාරව ඉටු විණි ද? වීරෝධාකල්ප සමඟ ගොඩනැඟුණු පසුකාලීන පරපුර ඒ ගීතවල සොඳුරු බව සැබෑ ලෙස දුටුවෝ ද? මේ ප්රශ්නය ඉතිරිකර මම දැනට සමුගනිමි.
ධම්මික බණ්ඩාර Silumina