Pages

Monday, April 18, 2016

ලොව හොඳම නිදන කාමර ආකෘති

සුවදායී නින්දකටත්, මනස සැහැල්ලුවෙන් තබා ගැනීමටත් කදිම ස්ථානය නිදන කාමරයයි. නිවහනෙහි හොඳ ම ස්ථානය වන්නේ ද එම ස්ථානයයි. ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් ලෝකයේ හොඳම නිදන කාමර ආකෘති දහයක් පිළිබඳහඳුන්වා දී තිබෙනවා.

1. ග්‍රීන් සනී නිදන කාමරය( Green Sunny Bedroom)

මේ නිදන කාමරයෙහි මූලික වර්ණ ලෙස කොළ පැහැය සහ සුදු පැහැය දැකගත හැකි යි. එහෙත් මෙහි අන්තර්ගත කොළ පැහැය විවිධ අනු වර්ණ ලෙස දැකගන්න පුළුවන්. තනි සුදු පැහැයෙන් යුත් ජනෙල් භාවිත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නිස්කලංක, නිදහස් බවක් කැටිවූ නිර්මල හැඟීමක් පිළිබඳ කියාපෑමටයි.

නිදන කාමරයෙහි වෙසෙන්නා‍ගේ මනසට සුවයක් ගෙනෙන ලෙසින් ළා කොළ පැහැයෙන් යුක්ත තිර රෙදි,බිම අතුරන හා නිදන කාමරයෙහි ගෘහ භාණ්ඩ යොදාගෙන තිබෙනවා. හුරුබුහුටි ආලෝක (Lamp Shade) භාවිතයෙන් එම නිදන කාමරයෙහි නිදහස් හා සාමකාමී බව වර්ධනය කර තිබෙනවා.

2. සනී රැස්ටික් වුඩ් නිදන කාමරය (Sunny Rustic wood bedroom)

මෙහි ඇති සුවිශේෂීතාව නම්, දැව භාවිත කිරීම මූලික වශයෙන් දැකගත හැකිවීමයි. දැව මිශ්‍රිතව විවිධ මෝස්තරවලින් යුත් ගෘහ භාණ්ඩ මෙහිදී භාවිත කෙරෙනවා. මෙහි ජනෙල් සහ දොරවලට සුදු වර්ණය භාවිත කර තිබීමෙන්, නිදහස හා සාමකාමී බව නිරූපණය කෙරෙනවා.

හිරුගේ ස්වාභාවික ආලෝකය කෙළින්ම කාමරයට පතිත වන පරිදි මෙහි වීදුරු ජනේලයක් යොදාගෙන තිබීම විශේෂ ලක්ෂණයක්. මේ නිසා නිදන කාමරයට ආලෝකය හොඳින් අවශෝෂණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. රාත්‍රී කාලයේදී පමණක් කෘත්‍රිම ආලෝක බුබුළු මඟින් ආලෝකය ලබා ගැනීමට හැකිවන අන්දමින්, ඉතාමත් ම ආකර්ෂණීය ආකාරයෙන් මේ කාමරය නිර්මාණය කර තිබෙනවා.

3. මොඩන් ෆ්ලැට්ෆෝම් නිදන කාමරය (Modern Platform Bedroom)

මේ නිදන කාමරයේ ඇති අපූර්වත්වය නම් නිදන ඇඳ වේදිකාවක අයුරින් නිර්මාණය කර තිබීමයි. කාමරයෙහි උපරිම අවකාශය රැ‍ඳෙන පරිදි , පිටත ආලෝකය හොඳින් විනිවිද පෙනෙන සහ පරාවර්තනය වන ලෙසින්, ජනෙල් වැට වීදුරු භාවිත කර තිබෙනවා.

මෙහි මූලික වර්ණය සුදු පැහැයයි. වෙසෙන්නාගේ මනස සැහැල්ලු වන අන්දමින් නිර්මාණය කර තිබෙන මෙහි බිත්තිවල එල්ලන ඡායාරූපවල ද සුදු පැහැය මිශ්‍රිතයි. එසේ ම චාම් බවින් යුතු ඡායාරූපවලට මුල් තැන දී තිබීම ද විශේෂත්වයක්. සරලත්වය, චාම් බව මිශ්‍රණ වූ මේ නිදන කාමරය ද ඉතාමත් ම ආකර්ෂණීයයි.

4. රයිටස් සනී නිදන කාමරය(writers Sunny Bedroom)

මේ කාමරය විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ලේඛකයන්ට හා පොත්පත් කියවන්නන් සඳහායි. ඔවුන්ට අනුගත වන අන්දමින් කාමරයෙහි සියලු බිත්ති සුදු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා. නිදහස, භාහිර ශබ්ද කාමරයෙහි ඇතුළතට නො එන පරිදි ගෘහ නිර්මාණ සැලැසුම් කර තිබීම මෙහි ඇති විශේෂත්වයක්. දවසෙන් වැඩි කාලයක් , යම් කාර්යයක එකදිගට යෙදී වැඩ කළ හැකි අන්දමින් ගෘහ නිර්මාණ සැලැසුම් කර තිබීම මේ කාමරවලින් විද්‍යමාන වෙනවා.

පොත් රාක්ක සඳහා බිත්ති අල්මාරි යොදා ගෙන , සරල ආ‍‍ලෝක බුබුළු (Lamp Shade) භාවිත කිරීම නිසා, මේ කාමරයෙහි ජීවත් වන්නාගේ සිත නිතරම සැහැල්ලුවෙන් තබා ගැනීමට හැකියාව තිබෙනවා.

5. ඕල්ටනේටිව් හොටෙල් නිදන කාමරය (Alternative Hotel Bedroom)

මේ නිදන කාමරය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ හෝටල් සංස්කෘතිය ගුරුකොට ගනිමිනුයි. කුඩා මුළුතැන් ගෙයක්, නිදන කාමරයත් එකට සම්බන්ධ කරමින්, ඉතාමත් ම ආකර්ෂණීය සුදු වර්ණයක් යොදාගෙන මේ කාමර නිර්මාණය කර තිබෙනවා. අවශ්‍ය සෑම දෙයක්ම එක් ස්ථානයකින් ලබා ගැනීමට හැකි පරිදි සියලු අංගෝපාංග මේ නිදන කාමරයට ඇතුළත් කර තිබීම ද වි‍ශේෂත්වයක්.

දැව මිශ්‍රිත වෙනත් වර්ගයන්ගෙන් යුත් ගෘහ භාණ්ඩ ද යොදාගෙන තිබෙනවා. සුඛෝපභෝගී ජීවන රටාවට වැඩි වශයෙන් ඇල්මක් දක්වන පුද්ගලයන්ට මේ නිදන කාමරය වඩාත් යෝග්‍යයයි. ඉතාමත් ම කුඩා වපසරියක් තුළ, නිවෙසෙහි වැඩකටයුතු කර ගැනීමට හැකි පරිදි මේ නිදන කාමරය නිර්මාණය කර තිබෙනවා.

6. කළු සුදු නිදන කාමරය (Black and white)

මේ නිදන කාමරයේ ගෘහ භණ්ඩවලට කළු - සුදු වර්ණ පමණක් භාවිත කර තිබෙනවා. කාමරයේ බිත්ති තුළ අළු වර්ණය භාවිත කිරීමෙන් කළු - සුදු පැහැ ගෘහ භාණ්ඩවලට ආකර්ෂණීය පෙනුමක් එක් කිරීමට මේ ක්‍රමය මඟින් හැකියාව ලැබෙනවා.

සාම්ප්‍රදායික ක්‍රමයත්, නූතනත්වයත් එකට සම්බන්ධ කරමින් සාදා ඇති මේ කාමරයෙහි , බිත්ති ඡායාරූප සඳහා කළු හා සුදු වර්ණවලින් යුතු ඡායාරූප තබා තිබීම විශේෂත්වයක්. එමඟින් මේ නිදන කාමරයට විචිත්‍ර පෙනුමක් ගෙන එනවා. මේ නිදන කාමරයෙහි අරමුණ වන්නේ ද සැහැල්ලු හා සරල පැවැත්මයි.

7. නේචර් ඉන් නිදන කාමරය (Nature in Bedroom)

මේ නිදන කාමරයෙහි සුවිශේෂීත්වය වන්නේ බාහිර ස්වභාව ‍සෞන්දර්යය මනාව දැකගත හැකි අන්දමට වීදුරු යොදාගෙන නිර්මාණය කර තිබීමයි. හරිත පැහැයට මූලිකත්වය දෙමින්, සිතට නිස්කලංක බව සහ නිදහස් බව ළඟාකර දීම මෙවැනි කාමරයක් නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණයි.

ස්වභාවධර්මයට සමීප බව මනාව පිළිබිඹු වන අන්දමින් නිර්මාණය කර ඇති මේ නිදන කාමරයේ ගෘහ භාණ්ඩ සැලසුම් කර ඇති ආකාරය අපූර්වත්වයකින් යුක්තයි. දැව භාණ්ඩ භාවිත කර ඇතතේ ද පරිසරයට අනුගත වන ආකාරයටයි. තමා පරිසරයෙහි වෙසෙමින් ජීවිත්වන බවක් සිතට දැනෙන අයුරින් , ඉතාමත් ම නිදහස්කාමීව ජීවත් වීමට හැකි පරිදි මේ නිදන කාමරයෙහි ගෘහ සැලැසුම සිදු කර තිබේ.

8. අ ෆීචර් වෝල් නිදන කාමරය (A feature wall Bedroom)

මේ නිදන කාමරයෙහි සුවිශේෂීත්වය වන්නේ නිදන ඇඳ පිහිටන ස්ථානයේ බිත්තියෙහි ඔබ වඩාත් සිත්ගන්නා මෝස්තරයක් හෝ රටාවක් නිර්මාණය කර ගැනීමට හැකි වීමයි. එම නිර්මාණය ඉතාමත් ම කැපී පෙනෙන අන්දමින් හා විචිත්‍ර වර්ණයෙන් , ඔබ කැමැති ඕනෑම ආකාරයකට නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ නිදන කාමරය තුළට පැමිණෙන ඕනෑම කෙනකුට ආයාසයකින් තොරව එම බිත්ති අලංකරණ නිර්මාණය දැක බලා ගැනීමට හැකි අන්දමින් එය සැලැසුම් කර තිබෙනවා.

ඔබ, ඔබගේ ජීවිතයේ වඩාත් ම කැමැති ඡායාරූපය ඉතාමත් ම නිර්මාණාශීලී අයුරින් මෙහි තබා ගැනීමට හැකියි.

9. ඇක්සෙසරයිස් නිදන කාමරය (Accessorize )

මේ නිදන කාමරය බැලූ බැල්මටම රාජකීය ලීලාවකින් යුක්තයි. රාජකීය පවුල්වල රජ කුමරියන්, රාජකීය උසස් කුලයේ සේවකයන් ජීවත්වන මෙවැනි නිදන කාමර තුළ, සියලු සුඛෝපභෝගී අංගෝපාංග අන්තර්ගතයි. මහා බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල්වල නිදන කාමරවල ආභාසය ද මින් විද්‍යමාන වෙනවා.

ගෘහ නිර්මාණ සැලැසුමට අනුගතවන අන්දමින් ගෘහ භාණ්ඩ ද, රාජකීය තේමාව මුල් කර ගනිමින් නිර්මාණය කර තිබීම මෙහි විශේෂත්වයක්. ගාම්භීරත්වය, ප්‍රෞඪත්වය, රාජකීය තේජස මේ නිදන කාමරයෙන් මනාව පිළිබිඹු වෙනවා.

10. අ ෆීචර් හෙඩ් බෝර්ඩ් නිදන කාමරය (A Feature Head board Idea)

මේ නිදන කාමරයේ නිදන යහනෙහි ඇඳ විට්ටමේ පළල ඉතාමත්ම විශාලයි. බාහිරින් පැමිණි පුද්ගලයකුට ඒ බව මනාව විද්‍යමාන වෙනවා. විශේෂයෙන්ම ඉන්දීය සංස්කෘතියේ ආභාසය ඇසුරින් මේ නිදන කාමරය නිර්මාණය කර තිබෙනවා.

තේජස හා ආඩම්බරකම යනාදී ගුණාංග මේ නිදන කාමරයෙහි ජීවත්වන්නාට දැනෙ පරිදි ගෘහ භාණ්ඩ සැලැසුම් කර තිබෙනවා. නිදන කාමරයෙහි යහනෙහි ඇති සුවිශේෂීතාව නම්, මේ ඇඳ විට්ටමේ , ඔබ සිත්ගන්නා ඕනෑම ඡායාරූපයක් හෝ මෝස්තරයක් නිර්මාණය කර ගතහැකි වීමයි. එම නිර්මාණය , ඒ ඒ පුද්ගලයාගේ අනන්‍යතාව අනුව වෙනස් කර ගන්න පුළුවන්.