Pages

Thursday, February 18, 2016

ඇල්බට් අයින්ස්ටයින් මෙලොව ජනිත වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතකු බව නොදන්නා අයෙක් නොමැති තරම්ය. නූතන භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් පිළිබඳ බොහෝ දෙනකු නොදන්නා පෞද්ගලික කාරණාවක් මෑතකදී මාධ්‍ය හරහා අනාවරණය විය. ඒ සැමියකු සහ ආදරවන්තයකු ලෙස ඇල්බට් අයින්ස්ටයින් සිය පෞද්ගලික ජීවිතයේදී අසාර්ථක පුද්ගලයකු වූ බවය.

මේ කරුණු මුල් වරට හෙළිදරව් වූයේ ප්‍රකට චරිතාපදාන රචකයකු වන වෝල්ටර් අයිසැක්සන්, ඇල්බට් අයින්ස්ටයින්ගේ චරිතය පාදක කොටගෙන ලියූ “Einstein: His Life and Universe”කෘතිය මඟිනි. මේ කෘතිය තුළ විග්‍රහ කෙරෙන ආකාරයට අයින්ස්ටයින් සිය ජීවිතයේ ප්‍රේමණීය වීම නමැති සටනේදී නිරන්තරයෙන් පරාජයට පත් වූවෙකි. ආයාසයෙන් පටලවා ගත් පෙම් පලහිලව්වක් පවා දුරදිග පවත්වා ගැනීමට තරම් හැඟීම්බර ස්වභාවයක් අයින්ස්ටයින් වෙත නොතිබූ බව වෝල්ටර් අයිසැක්සන් සිය කෘතියේ සටහන් කරන්නේය.

ඔහු ඇල්බට් අයින්ස්ටයින් සහ මිලේවා මාර්ක්ගේ විවාහ ජීවිතය පිළිබඳ හෙළිකරමින් පවසන්නේ ඇල්බට් අයින්ස්ටයින් යනු ලෝකයේ දරුණුතම ස්වාමිපුරුෂයා වීමට ද ඉඩ තිබෙන බවයි. මිලේවා මාර්ක් සහ ඇල්බට් අයින්ස්ටයින් මුල් වරට හමුවන්නේ 1896 වසරේදී සිවු වසරක භෞතික විද්‍යා සහ ගණිත ඉගැන්වීමේ පුහුණු ඩිප්ලෝමා වැඩසටහනක අධ්‍යයන කටයුතු අතරතුර ය. එම ඩිප්ලෝමාව හැදෑරීමට තේරී පත් වී සිටියේ සිසුන් පස්දෙනකු සහ ශිෂ්‍යාවක පමණි. ඒ එක ම ශිෂ්‍යාව මිලේවා මාර්ක්ය. ඇගේ තීක්ෂණ බුද්ධියට සහ ආකර්ෂණීය පෙනුමට ඇල්බට් අයින්ස්ටයින්ගේ සිත ද ලොබ බැන්දේය.

මිතුදම ආදරයකට පෙරළුණු අතර, ඒ ආදරයේ ප්‍රතිඵලයක් ලෙස අයින්ස්ටයින්ට දාව දියණියක මෙලොව උපදින්නේ, මිලේවා සහ අයින්ස්ටයින් නීත්‍යානුකූලව විවාහ වීමට ද පෙර ය. ඒ දියණිය කිසිවකුට හෝ දරුකමට හදාගන්නට දී ඇත. 1903 වසරේදී ඇල්බට් අයින්ස්ටයින් සහ මිලේවා මාර්ක් විවාහ විය. ඉන්පසු අයින්ස්ටයින්ට දාව මිලේවාට උපන්නේ පුතුන් දෙදෙනෙකි. ඒ හාන්ස් ඇල්බට් අයින්ස්ටයින් සහ එඩ්වඩ් ය.

දරුවන් ලද්දේ වුව ද අයින්ස්ටයින් සහ මිලේවා ගත කළේ පී‍්‍රතිමත් යුග දිවියක් නොවේ. එහෙත් දරුවන් වෙනුවෙන් තමන් දෙදෙනා එක්ව ජීවත් විය යුතු බව අයින්ස්ටයින් තරයේම විශ්වාස කළේය. ඒ වෙනුවෙන් ඔහු මිලේවා වෙත නීති රීති ලැයිස්තුවක් පැනවීය. දරුවන් වෙනුවෙන් එකට ජීවත්වීම උදෙසා එම නීති ඉවහල් වනු ඇති බව ද විශ්වාස කළේ ඔහුගේ බුද්ධි මහිමයට කිසිසේත් නොගැළපෙන ලෙසට ය. එසේම එම නීති රීති අනුව මිලේවා හට හිමිවිය යුතුව තිබුණේ අයින්ස්ටයින් නිවෙසේ භාර්යාවගේ තනතුර නොව, මෙහෙකාරියගේ තැනය.

ඇල්බට් අයින්ස්ටයින් මෙම නීති පද්ධතිය ලියූවේ 1914 දී ය. ඒ ඔහු සහ මිලේවා අතර විවාහයෙන් වසර 11 කට පසුව ය. එම නීතිවලට අනුව ඇය වහලියක සේ අයින්ස්ටයින් වෙත සේවය කළ යුතු වුවද කිසිදා ප්‍රශංසාවක් හෝ ආදරණීය බවක් ඒ වෙනුවෙන් බලාපොරොත්තු විය නොහැකි බවට ද ඇල්බට් අයින්ස්ටයින් සිය නීති ලේඛනයේ පැහැදිලිව සටහන් කොට තිබිණි.

ඇල්බට් අයින්ස්ටයින් සිය බිරිඳ වූ මිලේවා මාර්ක් වෙත පනවා තිබූ නීති පද්ධතිය විස්තරාත්මකව පහත පරිදි වේ.

අනිවාර්ය රාජකාරි

* මාගේ සියලු රෙදිපිළි නිසි පිළිවෙළට සෝදා නමා තැබිය යුතුය.

* දිනක ආහාර වේල් තුනක් මගේ කාමරයට ලැබීමට සැලැස්විය යුතුය.

* මගේ නිදන කාමරය පිළිවෙළට පිරිසුදුව සකස් කළ යුතුය. කිසි විටෙකත් මගේ ලියන මේසයට අතවත් තැබිය යුතු නැත.

* අප දෙදෙනා අතර අන්තර් සබඳතාව පිළිබඳ සමාජීය අවශ්‍යතාවක් පැන නැඟුණ විට පවා ඔබට මා සමඟ එකට නිවෙසේ අසුන්ගෙන සිටීම සහ ගමන් බිමන් යාම පිළිබඳ ප්‍රශ්න කළ නොහැකිය.

අප අතර ඇති සබඳතාවයේදී

* ඔබ මගෙන් කිසිදා ආදරයක් බලාපොරොත්තු වීම හෝ ඒ වෙනුවෙන් පෙලඹවීම් කිරීම සිදු නොකළ යුතුය.

* මම අණ කළ විගස ඔබ මා සමඟ කරන කතා කිරීම නැවැත්විය යුතුය.

* මම අණ කළ විට කිසිදු විවාදයකින් තොරව ඔබ මගේ නිදන කාමරයෙන් හෝ අධ්‍යයන කාමරයෙන් පිටවිය යුතුය.

* විශේෂයෙන්ම ඔබ මගේ දරුවන් ඉදිරියේ මා හෑල්ලුවට ලක්කරන ලෙස කතා කිරීම හෝ හැසිරීම සිදු නොකළ යුතුය.

ඇල්බට් අයින්ස්ටයින්ගේ එම නීති මාලාව හිත් පිත් ඇති කිසිදු ගැහැනියකට බිරිඳක් ලෙස ඉවසා දරා ගත හැකි නොවේ. එහෙත් මිලේවා එම අභියෝගය පවා භාර ගත්තීය. එහෙත් එහි පීඩනය ඇගේ සිත තලා පෙලා දැමූ අතර, සිය දරු දෙදෙනා ද කැටුව ඇය ඇල්බට් අයින්ස්ටයින් අතහැර ගියාය. 1919 වසරේදී මිලේවා අයින්ස්ටයින් සමඟ වූ විවාහ බැම්මෙන් නීත්‍යානුකූ®ලවම වෙන් විය. එය අයින්ස්ටයින්ගේ පැරණි පෙම්වතියන්ට නම් කිසිසේත්ම පුදුමයට කාරණාවක් නොවූ බව වෝල්ටර් අයිසැක්සන් සිය කෘතියේ සටහන් කර තිබේ.

පසුව ඇල්බට් අයින්ස්ටයින් සිය නෑනා වූ එල්සා ලොවෙන්නාල් සමඟ පෙම් සබඳතාවක් ඇරැඹීය. 1919 වසරේදී දෙදෙනා විවාහ විය. 1935 වසරේදී දැඩි ලෙස රෝගී වූ එල්සා හෘද රෝග සහ වකුගඩු ආශි‍්‍රත ගැටලු නිසා 1936 වසරේ ජීවිතයෙන් සමුගත්තාය. මිලේවාට මෙන්ම එල්සාට ද අයින්ස්ටයින්ගේ හිත්පිත් නොමැති අමුතුම ආදරයෙන් පීඩාවට පත්වන්නට වූවාද යන්න පිළිබඳ නම් සාක්‍ෂියක් නැත. එහෙත් දෙදෙනා අතර පී‍්‍රතිමත් යුග දිවියක් තිබූ බවට පවා සඳහනක් නොවේ.

ඇල්බට් අයින්ස්ටයින් මුළු ලොවටම එදත් අදත් හෙටත් ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙකු බවට සැකයක් නැත. එහෙත් ඔහු පවා අංග සම්පූර්ණ මිනිසකු නොවන්නේය.

දිනමිණ පුවත්පත ඇසුරිණි.