වසරකට කැංගරුවන් 1600 ක් ඝාතනයට
ඕස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වයා කැංගරුවාය. එහෙයින් සැම විටම කැංගරුවා කැපී පෙනෙන ආකාරයෙන් පිළිබිඹු වීම සිදුවේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ දී ඕස්ට්‍රේලියානු පිල හැඳින්වෙන්නේ ද කැන්ගරු පිල වශයෙනි.


කැංගරුවනට ඉතාම ශීඝ්‍රයෙන් තම ගහනය වැඩි කර ගැනීමේ හැකියාවක් වෙයි. එය ස්වභාව ධර්මයේ අනුකූලතාවට පටහැනි නිසා මෙසේ ඔවුන් මරා දැමීම වසරක් පාසා සිදු කෙරේ. කැංගරුවන් බෝවීම වේගවත් වීම ස්වභාවධර්මයේ අනෙකුත් අංශවලට දැඩි ලෙස බලපෑමත් අනෙකුත් සත්ත්ව වර්ග නැතිවී යාමේ තර්ජනයත් නිසා මෙලෙස කැංගරුවන් ඝාතනය සිදු කෙරේ.
මේ අතර කැන්ගරු මස් රසවත් ආහාරයක් බවට පත්කර ගැනීමටත් ඕස්ට්‍රේලියානුවෝ පෙලඹී සිටිති. කැන්ගරු මස් රස බැලු බොහෝ දෙනකු පවසන්නේ එම මස් මුව හා මී හරක් මස් අතර වූ රසයක් බවයි. මෙම මස්වල මේදය අඩු නිසා ජනතාව අතර මහත් ජනප්‍රිය වී ඇති අතර ඒවා පැකිං කර අලෙවි කරන බවත් වාර්තා වේ. එසේම කැංගරු මස් මිල ගණන් සෙසු මාංශ වර්ගවලට වඩා අඩුවීමත් ඒ සඳහා විශේෂිත කෑම වට්ටෝරු ද ජනතාව අතර ජනප්‍රිය වී ඇත.
කැංගරු ගහනය අවම කිරීමේ ව්‍යායාමය අවසානයේ දී කෑම මේසය මතට පැමිණීමක් බව පරිසරවේදීන්ගේ මතය වෙයි. මේ අමානුෂික ක්‍රියාවට එරෙහිව නොයෙකුත් විරෝධතා හා නඩු දැමීම් වැනි දෑ සිදුකළත් කැන්ගරුවන් මරා දැමීම නිත්‍යානුකූලවම සිදු වේ.
මේ ක්‍රියාව සඳහා බොහෝ විට හමුදා වෙඩික්කාරයන් යොදා ගැනේ. වැඩි වශයෙන් කැන්ගරුවන් සිටින ස්ථාන වටකොට දිවි බේරා ගැනීමට පවා නොදන්නා අහිංසක කැන්ගරුවන් අමු අමුවේ මරා දැමීම මෙම දක්ෂ වෙඩික්කාරයින්ට එක් අතකින් තම දස්කම් පෙන්වීම සඳහා ලැබෙන අවස්ථාවක් ලෙසටත් සැලැකේ. බොහෝ විට මෙම ඝාතනය සිදුවන්නේ රාත්‍රි කාලයේදීය.
මාරාන්තික ප්‍රහාරයන් සිදුවන අවස්ථාවලදී එම ස්ථානවලට කඩා වැදී එම කටයුතු නැවැත්වීමට පරිසරවේදීන් කටයුතු කරතත් ඝාතනය දිගටම සිදුවේ. මේ අතර කැංගරුවන් ඝාතනය කිරීම වැළැක්වීම සඳහා උන්ගේ උපත් පාලනය කළ හැකි පර්යේෂණය ද ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ඇරැඹී ඇත.
කැන්බෙරා ටයිම්ස් පුවත්පතට අනුව මෙම ව්‍යායාමය සාර්ථක වුවහොත් මේ අමානුෂික ඝාතනය බොහෝ දුරට අඩුකර ගත හැකි වේ. එය සාර්ථක වුවහොත් ඝාතන කටයුතු සඳහා වැය වන මුදල සෑහෙන ප්‍රමාණයකින් අඩුකර ගත හැකි බව ද ඕස්ට්‍රේලියානු රජයේ මතය වී ඇත.
http://www.silumina.lk/