

එමා පීඩා විඳින රෝගී තත්ත්වයේ නම Anorexia nervosa ය. කෙට්ටු සිරුරක් ලබාගැනීමේ ආශාවෙන් පෙළෙන ඇතැම් තරුණ තරුණියන් ගොදුරුවන මෙම රෝගය ඇතිවන්නේ ශරීරය මහත්වීමට ඇති අධික බිය හේතුවෙන් කෙට්ටුවීම අරමුණු කරගෙන දිගින් දිගටම ආහාර ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙනි. Anorexiaයනු අවසානයේ මරණය දක්වා දුරදිග යා හැකි තරම් ප්‍රබල රෝගී තත්ත්වයකි. මන්ද ආහාර ප්‍රතික්‍ෂේප කිරීම ශරීරය අධික ලෙස කෘෂවීමට පමණක් නොව හෘදය සහ වකුගඩු ආදී අවයවයන්ගේ ක්‍රියාකාරීත්වටද සෘජුවම බලපෑම් ඇතිකරන බැවිනි.
එමා ඩෆීගේ දෙමාපියන් සඳහන් කරන පරිදි ඇය තුළ මෙවැනි රෝගී තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇත්තේ ඇය අට හැවිරිදිව සිටියදී මුහුණදුන් එක්තරා සිදුවීමකි. එනම් මහත සිරුරකින් යුක්ත වුවහොත් නර්තන කටයුතුවල යෙදීමට නොහැකිවන බවට ඇගේ නැටුම් ගුරුවරිය සිසුවියකට අවවාද කරනු ඇයට දක්නට ලැබිමය. කෙසේ වෙතත්, එම වයසේ සිටම Anorexia රෝගය ඇය තුළ වර්ධනය වී තිබුණද ඒ බව වඩාත් ප්‍රකටවී තිබෙන්නේ ඇයට වයස 16ක්ව තිබියදීය.
දිනෙන් දින Anorexia රෝගය ඇය තුළ වර්ධනය වී අවසානයේ ආහාර මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන මට්ටමට පත්ව ඇති ඇය දැන් යන්තමින් දිවිගලවාගෙන සිටින්නේ දියර ආහාර ශරීරය තුළට ඇතූළු කිරීමට වෛද්‍යවරුන් නියමකර තිබෙන නිසාය. ඇගේ ජීවිත ගලවාගැනීම සඳහා පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට පැතීමට සූදානමින් සිටින ඇගේ දෙමාපියන් ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය පවුම් මිලියනක මුදලක් එකතු කර ගැනීමට උපකාරවන ලෙස අන්තර්ජාලය ඔස්සේ ආයාචනයක්ද ඉදිරිපත්කොට තිබේ.
Anorexia රෝගය අරභයා ප්‍රකටවූ අලුත්ම රෝගියා එමා වුවද, එම රෝගයෙන් පීඩා විඳ අවසානයේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවූ ජනප්‍රිය චරිතද ලොව බොහෝ සිටිති. මෝස්තර නිරූපිකාවන් ලෙස කටයුතු කළ උරුගුවේ ජාතික සොහොයුරියන් දෙදෙනකු වන එලියන් රැමෝස් සහ ලුයිසෙල් රැමෝස්, බ්‍රසීල ජාතිල නිරූපිකාවක වන ඇනා කැරොලිනා සහ ප්‍රංශ ජාතික නිරූපිකාවක වන ඉස්බෙලාකාරෝ එම රෝගය වර්ධනය වීම හේතුවෙන් මරණයට පත්වූ එබඳු තරුණියන් කිහිපදෙනෙකු ලෙස හැඳින්විය හැකිය. Anorexia රෝගීන් පුරුෂ පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය තුළ වැඩිවශයෙන් දැකගත හැකි වුවද තරුණයන්ද ඊට ගොදුරුවන අවස්ථා නැතිවා නොවේ. නිරූපන ශිල්පියකු වන ජෙරම් ගිලිට්සර් සහ “My Life as a male Anorexia” කෘතියේ රචක මයිකල් ක්‍රැස්තව් එම රෝගයට ගොදුරුව ජීවිතය අහිමිකරගත් ප්‍රකට තරුණයන් දෙදෙනකු වේ.