Pages

Tuesday, May 29, 2012

සැඟවී ගියාට රිදවා ගියාට සැමදා ඔයාම ඕනා...

හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක්‌ කියන්
හැංගී වසන්තේ මාගේ ලොවින්
කඳුළක්‌ නැඟෙන්නේ නෙතටත් හොරෙන්

බොඳවීලා... පැතූ සේයා...
රිදවාලා... සිත පාරා...

සැඟවී ගියාට රිදවා ගියාට සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම මතකේ තියාන සෙනෙහේ මවන්න ඕනා

මැවී පේන හීන ගානේ
ඉඟියෙන් කෝල පෑවා
ළයේ ගෑවි ගෑවි වාගේ
සිතුම් වීලා ආවා... 

රැඳී පාව යාවි ඈතේ
රැඳුනත් මාව දාලා
ඔබේ දැස සිහිව ආයේ
හැඟුමන් රෑන පාරා...

පද රචනය - ෂෙහාන් ගලහිටියාව
ගායනය හා තනුව - කවීෂ කවිරාඡ්

ආදරේ කරපු හිතකට වෛර කරන්න පුළුවන්ද.. බැහැ. කොහෙත්ම බැහැ.... ඒත් සමහර ආදරවන්තයන් වෙන් වුණාම එකිනෙකාට වෛර කරන්න පටන් ගන්නවා...

හිංසා කරන්නේ වෙන්වී ගිහින්
මාගේ අතින් වූ වරදක්‌ කියන්
හැංගී වසන්තේ මාගේ ලොවින්
කඳුළක්‌ නැඟෙන්නේ නෙතටත් හොරෙන්

ඔයා.... මගේ හදවතින් වෙන්ව ගිහින් අවසානයි. මාව හැර ගියේ ඔයාමයි.... ඒත්... ඇයි තවමත් මට හිංසා කරන්නේ.... වෛර කරන්නේ...... මගේ අතින් ඔයාට වරදක්‌ වුණාද..... නැහැ..... එහෙම වරදක්‌ වුණා නම් කියන්න. ඔයා මගෙන් වෙන්වෙලා ගියාට පස්‌සේ සුන්දරත්වය මගේ ලෝකයෙන් පළා ගියා...... වසන්තය සැඟවී ගියා .............. කඳුළු ගලා එන්නේ දෙනෙතටත් නොදැනීමයි....

බොඳවීලා පැතූ සේයා
රිදවාලා සිත පාරා
සැඟවී ගියාට රිදවා ගියාට
සැමදා ඔයාම ඕනා
සසරේ පුරාම මතකේ තියාන
සෙනෙහේ මවන්න ඕනා...

මම කොතරම් දේ ඔයාගෙන් පැතුවද....... ඒත් ඒ පැතුම් බොඳවෙලා. මාගේ හිත පෑරිලා... ඔයා මාව රිදවලා ඈත්ව ගියත් මට නම් හැමදාමත් ඕනේ ඔයාවමයි. සංසාරේ හැමදාමත් ඔයා ගැන හිතමින්..... ආදරය කරන්නයි මට ඕනේ........

කවීෂ ගයන මේ ගීයේ පද රචනා කළේ ෂෙහාන් ගලහිටියාවයි.

මම මේ සිංදුව ලියුවේත් තනුවකට. කවීෂගේම තනුව.... මේ මගේ හිතවතකුට වූ අත්දැකීමක්‌.... සැබෑ සිද්ධියක්‌ ඔහු කලක්‌ තිස්‌සේ ආදරය කළ පෙම්වතිය පසුව .... ඔහු හැරදා ගියා... ඒ යන්නේ තවත් අලුත් පෙම්වතෙක්‌ සමග....... ඒ ගිය ඇය.... අලුත් පෙම්වතාට පෙම් කරමින් පැරැණි පෙම්වතාට හිංසා කරන්න පටන් ගන්නවා. ඔහුට රිදවනවා....... පළි ගන්නවා.

මැවී පේන හීන ගානේ
ඉඟියෙන් කෝල පෑවා
ළයේ ගෑවි ගෑවි වාගේ
සිතුම් වීලා ආවා...

මම හැමදාමත් හීන දකිනවා...... ඒ මැවෙන හැම හීනෙකම ඉන්නේ ඔයා.... ඔයා හීනෙන් ඇවිත් මට ඉඟිබිඟි පානවා....... ඔබ නෙතඟින් දැක්‌වූ කෝල බැල්ම..... මගේ හදවතට දැනුණා.... සුන්දර සිතුම් ගලා එන්න පටන් ගත්තා.

මගේ හිතවතා..... ඒ කියන්නේ පරණ පෙම්වතා අංශු මාත්‍රයකින්වත් ඇයට වෛර කළේ නැහැ. ඇය තවකෙකු සමග ගියත්...... ඒ ගිහින් හිංසා කළත්.... ඇය සමග යළි එක්‌වන්න පැරැණි පෙම්වතා කැමැතියි. ඒ තරමටම ඔහු ඇයට ආදරෙයි" ෂෙහාන් ගීයට පාදක වූ අත්දැකීම් විස්‌තර කළා.

රැඳී පාව යාවි ඈතේ
රැඳුනත් මාව දාලා
ඔබේ දෑස සිහිව ආයේ
හැඟුමන් රෑන පාරා...

මාව දාලා ඔහුත් සමග ඈතට ඈතට පාවී ගියත්..... මට නිතරම නුරාවෙන් පිරි ඔයාගෙ දෙනෙත් සිහිවෙනවා... ඒ වෙලාවට මගේ හිත ඇතුලේ සිරවී තිබෙන පිරී තිබෙන හැඟුම්.... යළි යළිත් පෑරෙනවා.

මේ සිංදුව ජනප්‍රිය වුණේ එකපාරටමයි. කවීෂගේ ඇල්බම් එක කරලා අවුරුදු එකහමාරක්‌ විතර වෙනවා. ඒත් ඒ කාලෙට වඩා අද මේ ගීය හිට්‌වෙලා. නිතරම ඇහෙනවා. කවිෂත් නිතරම ගයනවා. ෂෙහාන් යළි පැවසුවා......

ෂෙහාන්... ගීයකට පෙරලූ මේ අත්දැකීම් ....... බොහෝ දෙනකුට පොදුයි. ආදරය කළ හදකට වෛර කරන්න බැහැ කියා සමහරු කියනවා..... ඒත්....... ආදරයත් වෛරයත් අතර නෑ සබඳකමක්‌ නැත්තෙම නැහැ....

අජිත් අලහකෝන් - Divaina