මට මගෙ දූගෙ පුංචි කාලෙ මතක් වෙනවා. මට දුව නළවන්නවත් ලැබුණෙ කලාතුරකින්. මං ගෙදර එනකොට මගෙ දුව නිදි. ඒත් මං එයාට ආදරෙයි. මට ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ මේ පදමාලාව සිහි උණේ මීට ගොඩක් කාලෙකට ඉස්සර. ඊට පස්සේ දුවට තියෙන ආදරය හින්ද ම මාත් පදමාලාවක් ලිව්ව. මං ඒ පදමාලාව ඔබ හමුවෙ තියන්නෙ නිහතමානී ව. හුඟක් ලංකාවෙ කලාකාමී හිතවත්තු මෙය අගය කළ නිසා. ඔබට රහක් නැතිනම් මට සමාවෙන්න.
හිමිදිරියේ පිනි අහුලන
සඳ එළියේ තරු අල්ලන
පුංචි දූට දේදුන්නක්
ගෙනල්ල දෙනවා
පරිස්සමට ඊතලයක් ළඟින් තියනවා
පංචායුධ කුමාරයා
නුඹ කැන්දන් යන දවසේ
ආශාවෙන් බලා ඉන්නවා
මගෙ දූටත් ආයුධයක් දෙන්න හිතෙනවා
විදුලි අකුණු වැහිකුණාටු
මගේ දූට හිරිහැර නම්
හිත හදාන බලා ඉන්නවා
මගෙ දූටත් රන් පත්තිනි සලඹ ගේනවා
මේ අනාගත නිර්මාණයක්. සංගීතවත් කළේ දර්ශන රුවන් දිසානායක. ගායනා කරන්නේ අමරසිරි පීරිස්. ඒත් මේ නිර්මාණයට වඩා මගේ හදවත ආදරේ කරන නිර්මාණයක් ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන් ලියල තියෙනවා.
”දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනේ
කාලයෙ රිය සක මහලු මගෙන් නුඹ
ඈතට ගෙන යන්නේ
රචකයා සිහිකරන්නේ දියණියගේ කුඩා අවදිය. දෑතේ පැටලෙමින් හුරතල් කතා කියපු අවදිය. කාලය විසින් සියල්ල ඔහුගෙන් උදුරාගනු ලැබ ඇති වග ඔහුට සිහිවෙනවා. “කාලය රිය සක” වැනි රූපකයක් යොදා ගැනීමෙන් රචනය වඩාත් ප්‍රාණවත් වෙනවා. තමන් වයසට යන විට බොහෝ දේ තමාගෙන් ඈත්වෙනවා වගේ දියණියත් ඈත්වන බව ඔහුට දැනෙනවා.
ඒ සමඟ ම අතීතය පිළිබඳ චිත්‍ර පෙළක් ඔහු ඉදිරියේ දිගහැරෙනවා. ඒ අතීත සිහිනය තුළ රැදෙන්නේ දියණිය සමඟ ගෙවුණු අතීතය පිළිබඳ පැහැබර මතක සටහන්.
බොළඳ මියුරු බස්
සවන් නිවාලූ
කැකුළු සිනා රස
සිත සනහාලූ
අතීත සිහිනය
බොඳවී දියවී
ඈතට පාවෙන්නේ
දරු සෙනෙහස හරියට ගඟක් වගේ. ගඟ පහළට ගලනවා මිසක ඉහළට ගලන්නෙ නෑ. දෙමව්පියො අප ගැන හිතනවා. අපි දෙමව්පියන් ගැන හිතනවට වඩා අපේ දරුවො ගැන හිතනවා. අපේ දරුවො අපි ගැන හිතනවට වඩා ඒගොල්ලන්ගෙ දරුවො ගැන හිතනවා. මේ තමයි ඇත්ත.
”පරපුර වඩන ලෙසින්
වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
මතක වරායෙන් නොපෙනෙන ඈතක
වැලිබත පාවෙන්නේ
මං ආයෙත්මත් මගේ දියණිය දිහා බැලුවා. ඇය පාඩම් කරනවා. ඇයත් මගේ ළඟ හැමදාම නොඉන්න බව දැනෙන කොට හීන් දුකක් ඇතිවෙනවා. ඒ මගේ උරුමය. සෑම පියවරුන්ගේම උරුමය. ඒකට අපිට හුරු වෙන්න වෙනවා. සුජාතා අත්තනායක ගැයූ අජන්තා රණසිංහයන් ගෙ පදමාලාවක් මට මතක් වෙනවා.
”පුංචි දවස්වල නින්දට යද්දී
පීතුපාදං නමාමහං කියලා
වැන්ද දෙපා අද යළිත් වඳීන්නම්
මංගල ගමනට යන්න අවසරයි
පියාණනී...
කොහොම උණත් මහලු විය කියන්නෙ බොහෝ දේ අපට අහිමි කරන දුක්බර සමයක්. මටත් හෙට දවසක ඒ දුක්බර සමයට පය තබන්නට වෙනවා. දරුවන්ගෙන් ඈත්වෙලා හුදෙකලා වූ දෙමාපියන්ගේ ශෝකය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනියගේ මුවට නැංවූයේ මෙන්න මෙහෙම.
”සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේළිය කැටුව මපුතු ද වෙන්විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ
දූලගෙ තාත්තා ඈත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වකගසාගෙන
මං ඉන්නවා නෙත කඳුළැලි දරාගෙන
දරුවන් ඇඳුම් ඇඟළුම් ගෙන සිඹින්නෙමි
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමි
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමි
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී
සුද්ධෝදන රජතුමා බුදුහාමුදුරුවන්ට දරු සෙනෙහස කියල දුන්න හැටි මතක් වෙනවා. එය සම සිඳ මස් සිඳ, නහර සිඳ ඇට මිදුළු සිඳ පියකුගෙ මවකගෙ පතුලටම කිඳා බසිනවා.
අමරදේවයන් මේ ගීතය ගයන්නේ හැඟීම් බරව. එයට ගැළපෙන තනුවක් ගීතය පුරා දිවයනවා. මගේ මතක වරායෙ පුංචි මතක ඔරුගොඩක් ගොඩගැහිලා මගේ දුව උයපු වැලිබත් ඔරුවක සිතිජයේ ඈත කෙළවරට ඇදෙනවා. මගේ ඇසට කඳුළක් උනනවා ඒ කඳුළු අතරින් බොඳවෙලා මගේ දුව මට පේනවා.