Pages

Saturday, August 06, 2011

සොබා දහමට අවනඩුවක්

ආදරය ගැන මේ ලිපි පෙළෙන් කතා කළා වැඩි දැයි විටෙක මට සිතෙයි. එහෙත් ගීත නිර්මාණ සියයක් ගතහොත් අනූනවයක ම දක්නට හැක්කේ පේ‍්‍රමයයි. ඒ පේ‍්‍රමයට මා මෙන්ම ඔබ ද කැමති බව මම දනිමි. ඒ පේ‍්‍රමණීය ශෘංගාරයෙන් බැහැර වීම එතරම් පහසු කටයුත්තක් නොවේ. ඒ නිසා මම ද ඔබ සමඟ ඒ පේ‍්‍රමයේ පතුලට ම ගිලෙමි.
තමා ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය ළඟින් සිටීම, ස්පර්ශ කිරීම, සිප වැලඳ ගැනීම පේ‍්‍රමය සමඟ බැඳෙන සම්ප්‍රයෝග ශෘංගාරයයි. එවැනි අවස්ථාවක් මග හරින ආදරවන්තයන් සිටීනම් ඒ අල්ප ය. එහෙත් එවැනි ආශාවන් සමාජ සංස්කෘතික රාමුව තුළ ඉටුකරගන්නට යාමේ දී සංස්කෘතිය සභ්‍යත්වය, නිදහසක් නොමැති වීම විවිධ තහංචි ආදිය මේ ආශාවන්ට වැටකඩුලු බඳියි. එබඳු වැටකඩුලු ඉදිරියේ පේ‍්‍රමවන්තයෝ, පේ‍්‍රමවන්තියෝ අසරණ වෙති. ශාන්ත කුමාර විතාන අප ඉදිරියට ගෙන එන්නේ එසේ අසරණ වූ පෙම්වතෙකි. එහෙත් මේ පේ‍්‍රමවන්තයා ලෙහෙසියෙන් පරාජය බාර ගන්නා පුද්ගලයකු නොවේ. ඔහු මේ වැටකඩුලු තහංචිවලට අභියෝග කරන්නෙකි. මේ අභියෝග සඳහා නිදර්ශන අවට පරිසරයෙන් ම සොයා ගනියි.

“මල් කැකුළකට ආදරේ කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට ළඟට ළංව කවි කියන්න අවසර ඇත්නම් මට සිඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්...
පුංචි සමනලුන් මල් කැකුළුවලට ද ආලය කරනු ලබයි. ඔවුන් වළකන්නට කිසිවකු නොමැත. එහෙත් මල් කැකුළක් බඳු පෙම්වතියගේ කම්මුල් සිප ගැනීමට සමනලයකු බඳු පෙම්වතාට අවසර නොමැත. ඔහුට වැටහෙන පරිදි එය බලවත් අසාධාරණයකි. ඒ අසාධාරණය ඔහු ලොවට හඬගා පවසයි.
“ඔය සුදු කම්මුල්” නමැති යෙදුම හුදෙකලා කොට ගත් කළ ග්‍රාම්‍ය යෙදුමෙකි. එහෙත් සමනලයකු බඳු පෙම්වතාට එය අතිශයින් යෝග්‍ය වේ. මන්ද පාණ්ඩිත්‍යයෙන් දූෂිත නොවූ බොළඳ සුන්දර පේ‍්‍රමයකින් ඔහු වෙළී ඇති බැවිනි. ඔහු ගේ දෑස් ඉදිරියේ සිටින සුන්දරියගේ සියුමැළි බව ඒ තුළින් මතු වී පෙනෙයි.
එතැන් සිට මේ පෙම්වතා ස්වභාවධර්මයට ඊර්ෂ්‍යා කරන්නට පටන් ගනී. ඒ ඔහුට වඩා ඇයට සමීප වීමට ස්වභාවධර්මයට හැකි බැවිනි. ඒ තුළ ගීතමය කාව්‍යෝක්තීන් මැවීමට ශාන්ත කුමාර විතාන සමත් වෙයි.
more

“අහස තරම් දුරක ඉඳන්
පිනි වැස්සක් බිමට එවා ඔබෙ කෙහෙරැළි සිපගන්නට අහසට හැකි නම් ඒ කෙහෙරැළි සිපගන්නට ඇයි මට තහනම්
පිනි වැස්ස වැටෙන්නේ අහස තරම් දුරක සිටයි. පිනි වැස්ස ඇගේ කෙහෙරැළි මත පතිත වෙමින් ඒ කෙහෙරැළි සිප ගනිමින් රැඳෙන ආකාරය පෙම්වතා දකියි. එතරම් දුරක සිටින පිනි වැස්සට ඇගේ කෙහෙරැළි සිප ගැනීමට ඇති අවසරය ඔහුට නොලැබෙන්නේ ඇයි. පෙම්වතාගේ ප්‍රශ්න කිරීම අතිශයින්ම වේදනාබර ය. ඔහු මේ මොහොතේ ඒ පිනි බිංදුවලට ද සියුම් ලෙස ඊර්ෂ්‍යා කරයි.

ගහ කොළ නටුවලට හොරෙන්
මහ රෑ ඔබ ළඟට ඇවිත් ඔබෙ සියොලඟ සිපගන්නට සුළඟට හැකිනම් ඒ සියොලඟ සිපගන්නට ඇයි මට තහනම්
ඊළඟට ඔහු ගේ සියුම් ඊර්ෂ්‍යාව යොමු වන්නේ සුළඟ වෙතයි. රෑ නින්දේ සිටින ඇගේ සිරුර සිපගෙන සිහිල් සුළඟක් ඇදී යයි. සුළඟ එන්නේ ගහකොළ නටුවලට හොරෙනි. ඒ සුළඟට තිබෙන නිදහස ඔහුට නොමැති ය. ඔහු නැවත වරක් මුලු ලෝකයටම හඬගා මේ අසාධාරණය කියාපායි.
මේ සියලු ප්‍රශ්න කිරීම් යට රැඳෙන්නේ යොවුන් සිතක සැඟවී ඇති ශෘංගාරාත්මක පේ‍්‍රමයයි. එය ප්‍රකාශ කිරීමට ශාන්ත කුමාර ගොඩනඟා ගන්නා කාව්‍යොක්තිය අතිශයින් මනරම් ය.
වර්තමාන ගීත රචකයාට ගත හැකි පාඩම් රාශියක් මේ නිර්මාණය තුළ අන්තර්ගතව පවතී. ප්‍රධාන කරුණක් වන්නේ ශෘංගාර රසය මැවිමේ දී රැකගත යුතු සංයමයයි. මේ සංයමය ගිලිහී ගිය විට කුමන ජනපි‍්‍රය නිර්මාණයක වුවද ඕලාරික බවක් මතු වේ. නිර්මාණ විවේචනය කිරීමට මා එතරම් උනන්දු වන්නකු නොවේ. මේ ගීතයේ ගායකයා මගේ මිත්‍රයෙකි. එහෙත් මේ පදමාලාව ඔබ ඉදිරියේ තබන්නේ සංයමය ගිලිහීමෙන් ඇතිවන ඕලාරික ගුණය පෙන්වා දීම පිණිසයි.

“හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
ලියා ගන්න සින්නක්කර දෙනවද මට ඔය ඇස් දෙක...”
රචකයා පෙම් කරන්නේ ලොකු ඇස් දෙකකට ය. එනම් බකුසු ඇස් දෙකකට ය. දතක් ගලවන විට එන්නතකින් විදුරු මස හිරි වැටෙන්නාක් මෙන් මේ බකුසු ඇස් දෙක දුටු විට ඔහුගේ හිත හිරි වැටෙයි. එතැන් සිට රචකයා උත්සාහ ගන්නේ මේ බකුසු ඇස්, කුලියට හෝ බද්දට ගැනීමට නොව සින්නක්කර ලියා ගැනීමට ය. එසේ නම් මේ බකුසු ඇස් උගුල්ලා ගත යුතු ය. මට මේ මොහොතේ සිහිවන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන සුභා තෙරණියගේ කතාවයි.
මෙබඳු උන්මත්තකයකුට ඇය දෑඟිල්ලෙන් ඇන ඇස් ගලවා අතට ගෙන දන් දුන්නා ය. මෙබඳු ගී පද මාලාවක් අක්ෂිදාන සංගමයක තේමා ගීතය ලෙස යොදාගත්තාට වරදක් නොමැත. මෙහි දී තවත් ප්‍රශ්නයක් ඉතිරි වේ. මොහු ඇගේ ඇස් දෙක සින්නක්කර ලියා ගත් පසු ඉතුරු අවයව ගන්නේ කුලියට ද යන්නයි. මා මේ පද මාලාව තෝරා ගත්තේ මෙය අතිශයින් ජනපි‍්‍රය බැවිනි. මීට වඩා අන්ත කැලෑ පත්තර විවිධ නාලිකා ඔස්සේ විකාශනය වනු අප්‍රමාණ ව මා අසා ඇත. තරුණියකගේ දෑස් පිළිබඳ සංයමයෙන් ලියැවුණු අවස්ථා කීපයක් මෙහිදී නිදසුන් ලෙස තබමි.

“ආදර නිල් දෑසේ
ආදර නිල් දෑසේ මැණික් රුවක් ඇඳී දිලෙයි ආදර නිල් දෑසේ”
(ධර්මසිරි ගමගේ)

ඔබේ දෑසයි ඔබේ දෑසයි
නීල උත්පල දිගටි දෑසයි මීන චංචල කිඳුරු දෑසයි ඔබේ දෑසයි, ඔබෙ දෑසයි
(මහගම සේකර)

ඔබ සුමුදු නෙත්කැලුම් සපැමිණ
ගැටීලා මා ඇසිපියේ පතිත වුණා මහනෙල් මලක් සේ නිසල රැය මත විල් ජලේ
(මඩවල එස්. රත්නායක)
ශාන්ත කුමාර විතානයන් ගේ පද රචනාව ද ඕලාරික නොවූ සංයමශීලි නිර්මාණයකි.
සංගීතය සපයමින් ගායනයට එක්වන ලක්ෂ්මන් හේවාවිතාරණ ගෙන් මේ පද මාලාවට සාධාරණයක් ඉටු වී තිබේ. හැඟීම්බර තනුවකට ළයාන්විත ගායනයක් එක් කිරීමට මෙහිදී ඔහු සමත් වෙයි. මට මගේ අතීතය සිහි වෙයි. එක් යුවතියකට මා සිතින් පෙම් කරන අවදියක මේ හා සමාන හැඟීම් මා තුළ ඇතිවූ බව මට මතක ය. එහෙත් එකල මේ ආකාරයෙන් ඒ හැඟීම කවියට නැඟීමට හැකියාවක් මට නොවිණි. ශාන්ත කුමාර විතාන සහෘදයාණනි, ඔබට ස්තුතියි.