Pages

Sunday, August 14, 2011

"ගාමණී" චිත්‍රපටය සිංහල සිනමාව ගොඩ ගැනීමට සමත් වේද?

සරත් වීරසේකරයන් විසින් නිර්මාණය කරන ලද "ගාමණී" චිත්‍රපටය සිංහල සිනමාව අද වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට සමත් වනු ඇතිය යන අදහස එය නැරැඹූ මා තුළ ඇති විය.

ජනප්‍රිය සිංහල සිනමාව අද වන විට අඳබාලයන් පිනවන කාම රැල්ලක්‌ බවට පත්වී ඇති බව රහසක්‌ නොවේ. ඒ අතර විද්වත් යෑයි කියනු ලබන සිනමාව වියත් කර ඇත්තේ මේ රට වනසන විජාතික දේශපාලන සංස්‌කෘතිය ආක්‍රමණය පෝෂණය කිරීමයි. ඒ සඳහා අවශ්‍ය ඩොලර් මෙන්ම ඒවා හුවා දක්‌වන ප්‍රචාරය ද ඒ විජාතික බලවේග විසින් නොමඳව සපයනු ලැබේ. සරත් වීරසේකරයන්ගේ "ගාමණී" චිත්‍රපටය බිහිවී ඇත්තේ මෙවන් පසුබිමක්‌ තුළයි.

සිනමාවක්‌ වශයෙන් හැඳින්විය හැකි සිනමාවක්‌ මෙරට තුළ උපත ලැබුවේ. ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ රේඛාව චිත්‍රපටය සමග බව අවිවාදයෙන් පිළිගත යුතු වෙයි. සිනමා මාධ්‍යය යනු කුමක්‌ද යන්න අපට පෙන්වා දෙන ලද්දේ රේඛාව චිත්‍රපටය විසිනුයි.


එහෙත් මේ උපත සමග බැඳුණු දෛවයේ සරදමක්‌ වෙයි. ඒ සරදම නම් එතෙක්‌ මෙතෙක්‌ සිනමාව පෙළනු ලබන ව්‍යාධියේ උපතද ඒ සමගම සිදුවීමයි. ඒ උපන් ගෙයි දෝෂය අපගේ ඊනියා විදග්ධ සිනමාකරුවන් අතෙහි තව තවත් ස්‌ථාපිතව ඇත. නැණ නුවණින් යුත් ප්‍රේක්‌ෂකයා සිනමාවෙන් ඈත් කර එය අප්‍රබුද්ධයන්ට සීමාවූ කාම රැල්ලක්‌ බවට පත්කර ඇත්තේ මේ උපන්ගෙයි දෝෂය යෑයි මම සිතමි. මෙය අප විසින් වටහා ගත යුතු වෙයි.

රේඛාව ආකෘතිමය අතින් විශිෂ්ට නිර්මාණයක්‌ විය. එහෙත් අන්තර්ගතය අතින් එය බොරුවක්‌ ව්‍යාජයක්‌ විය. රේඛාව විසින් පෙන්නුම් කළ ගම මේ රටේ ඇති සිංහල ගමක්‌ නොවේ. එය අපට සිහිපත් කළේ මේ රටේ ඇති ගමක්‌ නොව අප්‍රිකාවේ වනචාරි ගෝත්‍රික ගමකි. මේ රටේ ඉන්නා ගම ගැන නොදන්නා තුප්පහි විචාරකයන්ට මේ කරුණ නොපෙනීම පුදුමයට හේතුවක්‌ නොවේ. ආකෘතිමය විභූෂණයෙන් අන්තර්ගතයේ ව්‍යාජත්වය වසන් කළ හැකිය යන පාඩම නවක සිනමාකරුවන්ට කියා දෙන ලද්දේ රේඛාව විසිනුයි. ආකෘතිය විනා අන්තර්ගතය නොවැදගත්ය යන මිථාව දියත් කරන ලද්දේ රේඛාව විසිනුයි. රේඛාවෙන් ඇරැඹුණු මේ උපන්ගෙයි දෝෂය ඉන් අනතුරුව බිහිවූ සෑම විදග්ධ චිත්‍රපටයක්‌ තුළම දැකගත හැකි විය. "ගම්පෙරළිය", "විරාගය" වැනි චිත්‍රපට දෙක තුනක්‌ පමණ ඒ උපන්ගෙයි දෝෂයෙන් හෝ මිදී ඇත්තේ. පසුගිය කාලය තුළ බිහිසුණු විජාතික දේශපාලන සංස්‌කෘතික ආක්‍රමණයේ ප්‍රබල භූමිකාවක්‌වූ කොටි ත්‍රස්‌තවාදයට සුදු හුණු ගෑම මුල් කරගත් ඊනියා විදග්ධ චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ ව්‍යාජ අන්තර්ගතය ආකෘතිමය විභූෂණයෙන් යටපත් කරමිනුයි. අන්තර්ගතයේ ව්‍යාජත්වය නොදක්‌නා

පිටරැටියා එමගින් රැවටිය හැකිවිය. එමෙන්ම අන්තර්ගතයේ ව්‍යාජත්වය දක්‌නා මෙරට ප්‍රේක්‌ෂකයා ආකෘතිමය විභූෂණයෙන් මුසපත් කළ හැකි විය. සිනමාව මෙවැන්නකට හිතකර ඊට අනුබල දෙන මාධ්‍යයන් බවද පෙනෙන්නට තිබේ. රූපයට මුල්තැන දෙන සිනමාව ක්‍ෂණික වින්දනය පාදක කොට ගන්නකි. නවකතාවක්‌ රස විඳින විට අප යොදා ගනු ලබන විචාර බුද්ධියට ක්‍රියාත්මක වීමට ඒ තුළ ඇත්තේ මඳ අවස්‌ථාවකි. එබැවින් ආකෘතිමය විභූෂණයෙන් ප්‍රේක්‌ෂකයා වසඟ කර ගැනීමේ නිසඟ හැකියාවක්‌ සිනමාවට තිබේ. සිය අධම ප්‍රචාරය සඳහා විජාතික බලවේග විසින් සිනමාව යොදා ගැනීම මේ අවබෝධයේ ප්‍රතිඵලයක්‌ බව පෙනේ.

ආකෘතියට විනා අන්තර්ගතයට මුල්තැන නුදුන් සිංහල සිනමාව මෝස්‌තර සොයා යන විදග්ධයන් විනා සාමාන්‍ය ප්‍රේක්‌ෂකයන් ඒ වෙත කැඳවන්නක්‌ නොවීය. සිනමා හල් ක්‍රමයෙන් හිස්‌ වන්නට වූයේ මෙබැවිනි. එසේ හිස්‌වූ සිනමා හල් පිරවීම සඳහා තිබුණු එකම උපක්‍රමය වූයේ ඒවා අඳබාලයන් සඳහා විවෘත කිරීමයි. අඳබාලයන්ට සරිලන දේ ඒවා තුළ ප්‍රදර්ශනය කිරීමයි. සිංහල සිනමාව කාම රැල්ලට තෝතැන්නක්‌ වූයේ මේ අයුරිනුයි.

අද වන විට මේ තත්ත්වයට පත්ව ඇති සිංහල සිනමාව ඉන් මුදා ගැනීම සඳහා සරත් වීරසේකරයන්ගේ මේ නිර්මාණය සමත් වනු ඇතැයි මම සිතමි. ඊට මූලික හේතුව වශයෙන් මා දකින්නේ එහි ඇති ප්‍රබල අව්‍යාජ අන්තර්ගත යයි.

සරත් වීරසේකරයන් විසින් ගාමණී නිර්මාණය කර ඇත්තේ තමාට ඉතා සමීපතම සුහද අත්දැකීමක්‌ මුල්කර ගෙනයි. උතුර -නැගෙනහිර වූ කොටි ත්‍රස්‌තවාදය පිළිබඳවත් එය මැඬපවත්වනු සඳහා යොදා ගන්නා ලද ග්‍රාමරක්‌ෂක බළකාය පිළිබඳවත් එතුමා ලබන ලද අත්දැකීම් මේ චිත්‍රපටයට පාදක වී තිබේ. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ කොටි විසින් කරන ලද මහා මනුෂ්‍ය ඝාතනය මුල්කර ගෙන ඇරැඹෙන මේ කතා පුවත අප හද මනස බැඳ තබන උද්වේගකර සිනමා නිර්මාණයක්‌ බවට පත්කිරීමට වීරසේකරයන් සමත් වී තිබේ. ඒ තුළ මා දන්නා එකම දුර්වලකම නම් එහිලා කතුවරයා මෙහෙයවා ඇති දෘෂ්ටියේ ආධානගාහී බවයි. කළු සුදු නිරූපණයයි. නිර්මාණ කාර්යයට අත්‍යාවශ්‍ය මැදහත් සිත කතුවරයා විසින් නොතකා හරින ලද බව පෙනේ. "මිනිහට සොඳුරු ගුණ සහ නුගුණ ඇත." යන ආප්තය කතුවරයා විසින් නොසලකා ඇති බවත් පෙනේ. අර කොටි මෘගයන් අතරින් එකෙකුට හෝ උනුවන හදවතක්‌ නොතිබුණේ යෑයි අපට කිව හැකිද. එමෙන්ම දැහැමියන් සේ හැසිරෙන සිංහල සොල්දාදුවන් අතරින් එකෙකු හෝ අධමයකු නොවීයයි ඇදහිය හැකිද. මෙවැනි කළු සුදු නිරූපණයෙන් තොරව මානව හිතවාදී සංකීර්ණ දෘෂ්ටියකින් මේ කතා පුවත විශද කළේ නම් ඉන් ජනිත වන කරුණා රසය ප්‍රේක්‌ෂකයා තුළ උත්තරීතර පහන් සංවේගයක්‌ ඇති කිරීමේ සමත් වන්නට තිබුණේ යයි මට සිතේ. කලාකරුවා අධර්මය හෙළා දකින්නෙක්‌ නමුදු ඒ අධර්මයට බිලිවන මිනිසා හෙළා දකින්නකු නොවිය යුතු වෙයි.

මේ සිනමා නිර්මාණය මෙවේලෙහි බහුතර ජනතාව වෙත ගෙන යැම අත්‍යාවශ්‍ය කටයුත්තක්‌ ලෙස මම දකිමි. ඊට හේතු දෙකක්‌ මම දකිමි.

අද ජාතිද්‍රොහී බලවේග විසින් ක්‍රියාත්මක කිරීමට බලකර සිටින 13 සංශෝධනය ත්‍රස්‌තවාදයට හිස එසවීමට අවස්‌ථාවක්‌ සපයන පියවරක්‌ වනු නොඅනුමානය. ඊනියා බලය බෙදීම ත්‍රස්‌තවාදය නැති කරන්නක්‌ වෙනුවට යළි එය ඇති කරන්නක්‌ වනු නියතය. එබැවින් ඒ කුරිරු ම්ලේච්ඡත්වයේ ආදීනව ජනතාවට නිරතුරු සිහිපත් කිරීම වැදගත් වෙයි. ඒ දේශපාලන වුවමනාවට අමතරව ම විසින් පෙන්වා දී ඇති පරිදි මේ චිත්‍රපටය හිස්‌ව ඇති සිනමා හල් තූළට ජනතාව යළි කැඳවා ලීමේ සමත් වනු ඇතැයි ම විශ්වාස කරමි.

ආචාර්ය ගුණදාස අමරසේකර 

Divaina