Pages

Saturday, April 09, 2011

පාසලේදී ගී ලියූ "වරදට" දඬුවම් ලැබූ ආනන්ද සමරකෝන්


(පසුගියදාට යෙදුණු ආනන්ද සමරකෝන් අනුස්‌මරණ දිනය නිමිත්තෙනි)


පාදුක්‌ක නගරයෙහි ලියන්වල ගම් පියසෙහි වර්ෂ 1911 ජනවාරි මස 13 වෙනි දින උපත ලද ආනන්ද සමරකෝන් සූරීන් අප ලක්‌ මව ලද උතුම් දායාදයක්‌ විය.

කෘත හස්‌ත කලාකරුවෙකු වූ මෙතුමන් විසින් රචනා කරන ලද ඉතාම නන්දනීය වූ පැබැදුම් අති විශාල සංඛ්‍යාවක්‌ අදත් හෙළ දන මන පුබුදු කරමින් පවතී.

පිළියන්දල වෑවල නම් ගමෙහි "වෑවල රජයේ පාසලේ" දී මූලික අධ්‍යාපනය හැදෑරූ මෙතුමා මුල්වරට ඔහුම විසින් ගීයක්‌ ලියා එම පාසලේදීම ගායනා කර ඇත. පාසල් අවස්‌ථාවේදී ගී ලිවීම වරදක්‌ ලෙස තීරණය කළ ගුරුවරයා ඔහුට දෙන දඬුවමක්‌ ලෙස පංතියේදීම එය ගායනා කරන ලෙස මේ කුඩා ළමයාට අණ කර ඇත. ඒ අනුව මේ පුංචි ආනන්ද සමරකෝන් දරුවා ගීතය ගයා ඇත. ඉන් පැහැදුණු ගුරුවරයාගේ කෝපය නිවී ගියේය. එතැන් පටන් මොහු ගීත නිබන්ධකයෙකු මෙන්ම ගායකයකු ලෙස ළමා ලෝකයේ රැව් දෙන්න වීය. Read more

19 34 වර්ෂයේදී කෝට්‌ටේ ක්‍රිස්‌තියානි පාසලක චිත්‍ර සහ සංගීත ගුරුවරයා වශයෙන් මොහුට මුල්ම රැකියාවට අවස්‌ථාව සැලැසුනි. ඒ වන විට සමරකෝන් තරුණයාගේ වයස අවුරුදු 24 කි.

සමරකෝන් මහතාගේ ජීවිතයේ තමත් දෛවෝපගත සිද්ධියකට මුල පුරමින් 1934 වසරේදී රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ශ්‍රී ලංකාවට සැපත් වී ඇත. එසේ පැමිණි එතුමා විසින් නුත්‍ය ගීත සහ නාටක රාශියක්‌ සහිත වූ සංදර්ශන ඉදිරිපත් කළ අතර, ඉන් රසවත් ලංකා වාසීන් අතර ආනන්ද සමරකෝන් මහතා ද අයෙකි.

තාගෝර් තුමාගේ ලංකා ගමනෙන් දෙවසරකට පමණ පසු 1936 වසරේදී තාගෝර් ගුරු කුලය වෙතින් තාගෝර් කලා සම්ප්‍රදාය සොයා ආනන්ද සමරකෝන් මහතා ඉංදියාව බලා පිටත් වීය.

ඒ වූ කලි කල්කටාවේ සිට සැතපුම් 70 ක්‌ මඟ ගෙවා ගිය කල බෝල් පූර්හි පිහිටි ශාන්ති නිකේතනය වීය.

එහි හය මසක්‌ පමණ ගත කොට යළි තම මම් බිම බලා පැමිණි සමරකෝන් මහතා ඔහුගේ උප්පැන්න සහතිකයේ සඳහන් කොට තිබූ එගොඩගේ ඡෝර්ඡ් විල්ප්‍රඩ් අල්විස්‌ යන වෙනුවට "ආනන්ද සමරකෝන්" යන නම යොදමින් එතෙක්‌ කල් ඇදහු ක්‍රිස්‌තියානි නම අත හැර දමා බෞද්ධයෙකු වීය.

මොහු දක්‍ෂ සංගීතඥයෙකු මෙන්ම චිත්‍ර ශිල්පියකු ලෙසද සම්මාන නීය පුද්ගලයෙකු බවට පත්ව සිටියේ 1940 දශකය තුළය. අප මාතෘ භූමියෙහි ජාතික ගීයේ නිර්මාතෘවරයාද ඔහුය. එය නිර්මාණය කරනු ලැබුයේ 1951 වර්ෂයේදීය. මොහු වඩා කෘත හස්‌ත මෙන්ම ජන සිත් වසඟ කළ ගීත ලියා ඇත්තේ 1940 දශකයේදීය. 

මෙතුමන් විසින් රචිත රමණීය ගී අතරින් එන්නද මැණිකේ මමත් දියඹටා.... නෙළන්න කෙකටිය මල් ඔහො ලාස්‌සනය....... සුදො...... ලාස්‌සනය සුදො පිපිච්ච කෙකටිය මල්...... යන ගීතයද රම්‍ය නගරෙ අනුරාධ පුරේ.... යන ගීයද පුංචි සුදා සුදු කැටියා යන ගීතයද ඇසේ මධුර ජීවනයේ ගිතා...... නාමු අමා දහරේ..... ගීතයද බැස සීතල ගඟුලේ පිහින පිහින නාමුකෝ නගෝ...... ආඳී වශයෙන් වූ රසවත් ගීත විශාල සංඛ්‍යාවක්‌ ඔහු විසින් රචනා කළා මෙන්ම ගායනා කරද ඇත.

සමරකෝන් මහතාගේ පළමු විවාහයෙන් දරුඵල නොලද අතර දෙවන විවාහයෙන් ලද දරුවා රංජිත් අරුණ දීප නම් විය. ඒ දරුවා හිමිදිරියේ ඉපදුනු බැවින් ඒ නම තැබූ අතර ඉතා කුඩා කාලයේම රෝගී වූ දරුවා මිය ගොස්‌ ඇත. ඉන් ඇති වු කම්පනයෙන් හා වේදනාවෙන් පසු වූ ඔහු "නිවී පහන නිවී ගියා" යන ගීතයද රචනා කොට ඇත්තේය.

පුතුනේ විප්‍රයෝගයෙන් කම්පනය වූ සමරකෝන් මහතා ලංකාව හැරදා ඉන්දියාව බලා පිටත් වූයේ 1948 වර්ෂයේදීය. ඉන්දියාවට යැමට පෙර සමරකෝන් මහතා විසින් ඉතාම ජනප්‍රිය වූ ගීයක්‌ රචනා කර ඇත. ඒ අප මව් බිමේ ජාතික ගීය වන "නමෝ නමෝ මතා ගීතයයි. මෙය ශ්‍රී ලංකාවේ ජාතික ගීය විය යුතු යයි 1951 නොවැම්බර් 22 වෙනි දින පවත්වන ලද කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී තීරණය වී ඇත. තම දේශයේ සුන්දරත්වය හා අභිමානය සිත් සතන් හි පුරවා නිදහස්‌ ශ්‍රී ලංකාවක්‌ අපේක්‍ෂාවෙන් ගී ලියූ මෙතුමා, 1948 වසරේ අප මව් බිම නිදහස්‌ ලබන විට මෙහි සිටියේ නැත. 

සීමා සහිත ලේක්‌ හවුස්‌ ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් සංවිධානය කරන ලද "දිනමිණ" චිත්‍ර පට තරගයෙන් ප්‍රථම ගීතය ලෙස මහජන මතය වැඩි පුරම යොමු වුයේ සමරකෝන් මහතා විසින් රචිත "මන රංජන දර්ශනීය ලංකා" යනාදී වූ ගීතයටය.

මොහු විසින් රචිත තවත් ජනප්‍රිය ගීත කීපයක්‌ නම් සුනිල වළා ගුවනෙ පායා දිලෙන්නා......

පුන්සිසි මනහාරා...., අක්‌කෙ.... අක්‌කෙ අර බලන්නකෝ........ ,වැස්‌සක්‌ නොවැ එන්නේ.......යන ගීතයද,

කරුණා නදියේ පැද යමු....පැදයමු..... පැද යමු....., රමණීය කුඩා ඔරුවේ.... ගීතයද,

ශ්‍රී......ලංකා මා ප්‍රියදර ජයභූමී.......

ගිතයද.... ආදී ගීත කීපයක්‌ද එතුමාගේ ගී පද මංජුසාවෙන් ගෙන හැර දක්‌වන්නේය.

මෙසේ ලක්‌ දන රසවත් කළ කලා කරුවානෝ අද වැනි දිනක සිය වටිනා ජීවිතයෙන් පලා ගියේය. දිවි හානි කර ගත්තේය. ඊට කලින් දිනයේ මේ පිළිබඳව ඇඟවීමක්‌ ද කර ඇත. 1962 අප්‍රේල් 02 වන දින සිය මවගේ ඡන්ම දිනය සැමරීම සඳහා සිය සහෝදරයන් සමග එක්‌ වීය. නුගේගොඩ ගංගොඩ පාරේ පිහිටි "මාලතී" නම් වු තම නිවසට පැමිණ නිදාගත් මොහු යළි පසුදා පිබිදුනේ නැත. අවුරුදු 51 ක්‌ පමණ වයස්‌ වූ මේ කලා කරුවා එදින නින්දට ගොස්‌ ඇත්තේ යළි නොපිබිදෙන ලෙසිනි.

1962 වසරෙ අප්‍රේල් මස 05 වෙනි දින එතුමා දිවියෙන් සමු ගත්තේය.

Divaina - අයිරිස්‌ මාලනී - පිලිමතලාව