අවුකන පිළිමය
ඇසේ මතු වන කඳුළු බිඳු ගෙන
ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැල වෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
නො අදහා බුදු කෙනකු දෙවියකු
මානයෙන් වල්මත් ව සිටි මම
ගලක් යැයි ඔබ සිතා සිටියෙමි
තෙතක් හෝ කිසි දයාවක් නැති
ගලින් කළ ඔබ හදින් වෑහෙන
මහා කරුණා ගුණය නො පෙනිණි
අහිංසක හදවත්හි උපදින
මෙලෙක් සංකල්පනා සිතුවිලි
ගලින් කළ ඔබ හට ම මිස ලොව
ගලින් කළ අයට නැඟෙයි
කෙලෙස් මල පිරි නුවර අත හැර
බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආයෙමි පොළෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති වූ විට
ඉහළ නිල්වන් අහස විනිවිද
නැඟෙන ඔබගේ යෝද බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර
මගේ කුදු බව පසක් කොට ඇත
ඔබේ පාමුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අහෝ සාමිනි
ජීවිතේ යම් පලක් ඇත් නම්
කිමැයි ඒ මට කියා දුන මැන
මහගමසේකර
මේ කවිය.....
බැලූ බැල්මට මෙය භක්ති කාව්‍ය රචනයක ස්වරූපය ගනී. එහෙත් එහි ඊට වඩා පුළුල් සමාජ පදනමක් පවතී. අවුකන පිළිමය අබියස දී කථකයාගේ දෑසින් කඳුළු බිඳු වැඟිරෙන්නේත් ඔහු තම හදෙහි මැලවෙන කැලැමල් පුද කරන්නේත් කුමක් නිසා ද? හදෙහි මැලවෙන්නේ යහපත් සිතුවිලි සහ ප්‍රාර්ථනා ය. ඒවා විකසිත වන්නටත් සුවඳ දෙන්නටත් උචිත පරිසරයක් නොමැත.
මේ කථකයා බුදු කෙනකු දෙවියකු නොඇදහූ නාගරික මධ්‍යම පාන්තිකයකු බව හැඟෙන්නේ ගැමි ජනයාගේ සිතුවිලි එසේ නොවන නිසා ය. තෙතක්, දයා ගුණයක් නැතැයි සිතූ කළු ගලින් මහා කරුණා ගුණය වෑහෙන බව ඔහුට පෙනේ. නාගරික සංස්කෘතියෙහි ජීවත් වන ඔහුට හමු වන මිනිසුන්ගේ හදවත් ගල් වී ඇත. ලෙයින් මසින් සැදුණ ද දයා කරුණා ගුණයෙන් තොර මිනිසුන් අතර වල්මත් වූ මිනිසාට මෙය අමිල සුවයකි.
සිද්ධාර්ථයන් කෙළෙස් මළ පිරි නුවර අතහැර පැමිණියේ විමුක්ති සුවය පතාගෙන ය. නූතන නාගරිකයා බුදුරුව කරා පැමිණියේ කළකිරීමෙනි. ජීවිතයෙහි පලක් තිබේ දැයි අසන්නට සිදු වන තරමට ඔහු හෙම්බත් වී ඇත. මේ රචනයෙහි වාංමාලාව සරල ය; මටසිලිටි ය. එහෙත් භාවික ගුණයෙන් අනූනය. මෙය නූතන මිනිසාගේ හදවත පාරන හිරිහැරකාරී ජීවන රිද්මය සහ අසම්පූර්ණ සංස්කෘතික ජීවිතය පිළිබඳ ගැඹුරු අරුත් දනවන උසස් කාව්‍ය නිර්මාණයකි; අව්‍යාජ ඉදිරිපත් කිරීමකි.
තිඹිරියාගම බණ්ඩාර
විශිෂ්ට නිර්මාණ රැසක් කළ මහගම සේකර නම් වූ අපූරු කවියා; ගී පද රචකයකු ලෙස පසුකාලීන ව ඉස්මතු ව පෙනුණ ද ඔහුගේ ගී පද රචනාවන්හි පැහැදිලි කාව්‍යෝක්තීන් දැකිය හැකි ය. එක්දහස් නවසිය හැට දෙක වසරේදී ඔහු විසින් ලියන ලද සක්වාලිහිණි කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් නිර්මාණයකි ‘අවුකන පිළිමය.’ පසු කලෙක දී ඔහුගේ කාව්‍ය රචනා ගීත ලෙස නිර්මාණය වූ අතර ‘අවුකන පිළිමය’ කාව්‍යය ද පණ්ඩිත් අමරදේවයන් විසින් ගීයක් ලෙස ගායනා කැර ඇත. මෙහිදී අමරදේවයන් ‘අවුකන පිළිමය’ කාව්‍යයේ තෝරා ගත් කොටස් කිහිපයක් පමණක් සිය ගීතයට භාවිත කෙළේ ය.
කවියෙහි කථකයා අවුකන පිළිමය දැක ජීවිතයේ නිස්සාර බව මෙනෙහි කරයි. ගලින් නිම කරන ලද පිළිම වහන්සේ දැක විශ්මයට පත්වෙයි. පැහැදීමට පත්වෙයි. ඒ අපරිමිත බුදු ගුණ සිහිපත් වීමෙනි. මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්සයන්, බුදු කරුණාවට පෙනුණ ද, මිනිසුන්ට මිනිසුන් ගැන නොතේරීම පිළිබඳ ව කවියා සංවේගයට පත්වෙයි. කවියා නිර්ව්‍යාජ හැඟීම් ඇත්තෙකි. බුදුන් වහන්සේ බුදු බව පතා, සසරින් එතෙර වීමට වනගත වූවා සේ කවියා සමාජය ගැන කලකිරී පැමිණ ඇත්තේ බුදුරුව ඉදිරියට ය. මින් පෙර ඔහු බුදු කෙනකු හෝ දෙවියකු නොඇදහූ කෙනෙක් යැයි කියයි. පිළිම වහන්සේ දකින ඔහු සිත තුළ ඇතිවෙන පහන් හැඟීමත්, මේ අස්ථිර, ව්‍යාජ ලෝකයේ හුදකලා වී යැයි ද දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරි ලෝකයේ ඇති කරදරකාරී බවත් ඔහු කියන්නේ අවුකන පිළිමයට ය. ඔහු තමන්ට සවන් දීමට, පිහිටක් වීමට කෙනෙක් සිටියැයි යන හැඟීමෙන් බුදුරුව අමතයි.
“ඔබේ පාමුල බැගෑපත් ලෙස
වැටී අයැදිමි අහෝ සාමිනි
ජීවිතේ යම් පලක් ඇත්නම්
කිමැයි ඒ මට කියා දුන මැන”
Silumina