වර්තමානය වනවිට අසන්නට දකින්නට ලැබෙන ප්‍රබල අර්බුදයක් ලෙස දික්කසාද වීම හැඳින්විය හැකි ය. විවාහ වූ යුවළක් විවිධ හේතු නිසා දික්කසාද තත්ත්වයට පත්වේ. එසේ දික්කසාද වී පවුල දෙදරා යෑමට බලපාන සාධක 10යි මේ.
1. දෙදෙනා අතර විශ්වාසවන්ත බව බිඳ වැටීම
විවාහය යනු අඹු - සැමියන්ගේ හදවත් ආදරයෙන් බැඳන තැනකි. විශ්වාසය යනු පවුල් ජීවිතයේ අඩිතාලම වේ. අඹු - සැමියන් නිතරම උත්සාහ ගත යුත්තේ එකිනෙකාට ගෞරව කිරීමට ය. එකිනෙකාගේ සිතුම් පැතුම් මනාව අවබෝධ කර ගන්නවා නම්, යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට හැකි ය. දෙදෙනා අතර රහස් තිබීම දික්කසාද වීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතුවකි. ඒ වාගේම අනියම් සම්බන්ධතා මඟින් පවුල් බිඳවැටීම් දැකිය හැක්කේ, අඹු - සැමියන්ගේ විශ්වාසය පළුඳු වීම නිසාවෙනි.
2. විවිධ තර්ක කිරීම්
යම් කිසි ගැටලුවක් පැමිණිවිට , එය විසඳා ගැනීමට යාමේදී දෙදෙනා විසින් එකිනෙකා පරයා තර්ක කිරීමට පෙලඹෙයි නම්, එය ද දික්කසාද වීමට බෙහෙවින් බලපාන හේතුවකි. අඹු - සැමියන් අතර පවතින අදහස් උදහස් විවිධ වුවත්, දෙදෙනාම එකිනෙකාගේ අදහස්වලට යහපත් ප්‍රතිචාර දැක්විය යුතු ය. එසේ නොමැතිව, තම තමන් උගත් දෑ තුළින් අනෙක් පුද්ගලයා නින්දාවට භාජනයකිරීමට යාමෙන් විවිධ ප්‍රශ්න උද්ගතවේ. එසේ ම, එකිනෙකා අතර මනා තේරුම් ගැනීම සහ අන්‍යෝන්‍ය අවබෝධයක් තිබිය ද අනිවාර්යවේ. එවිට යහපත් පවුල් ජීවිතයක් ළඟාකර ගත හැකි ය.
3. කළ නොහැකි අසාමාන්‍ය දේ පිළිබඳ සිතීම
අඹු - සැමියන්ගේ යහපත් සිතුවිලි වගේම මානසික මට්ටම ද පවුල් ජීවිතයක් සාර්ථකව පත්වා ගෙන යාමට බෙහෙවින් බලපායි. සහකරුවා සහ සහකාරිය නිතරම අවධානය යොමු කළ යුත්තේ තමන්ට කළ හැකි දේ පිළිබඳයි. තමන්ට කළ නොහැකි දේ පිළිබඳ මනෝ ලෝකවල ඔවුන් ජීවත් වේ නම්, එය දික්කසාද තත්ත්වයට යෑමට බලපාන සුවිශේෂී කරුණකි. අනෙකාට තිබෙනවා, අපට නැතැයි යන්න නොසිතා , අඹු සැමියන් නිතරම වග බලා ගත යුත්තේ, තම උත්සාහයෙන් පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට ය.
4. ගෘහස්ථ හිංසනය
සමහර සැමියන් බොහෝවිට මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතයට හුරු වී ඇත. එවිට ඔවුන්ගේ සිතුවිලි සැර පරුෂ ස්වරූපයක් ගනු ලබයි. බොහෝ විට එම සිද්ධියෙන් පීඩනයට පත් වන්නේ බිරියයි. විටෙක දරුවන් ද හිංසනවලට භාජනය වෙයි. දීර්ඝ කාලයක් මෙවැනි හිංසා විඳ දරා ගැනීමට නොහැකි බිරින්දෑවරු, තම සැමියාගෙන් වෙන්වී, දික්කසාද වීමට තීරණය කරයි. මත්ද්‍රව්‍ය - මත්පැන් මඟින් , කාන්තාවන් විවිධ තාඩන - පීඩනවලට ලක් වී, මානසික අසහනයට ලක්වේ . මේ හේතුවෙන් විටෙක කාන්තාවන්ට නැවත විවාහයක් කර ගැනීමට ද නොහැකි වේ. ඒ නිසා, අඹු - සැමියන් ලෙස ඔබ , පවුල් ජීවිතය හිංසනයෙන් තොරව ගත කිරීමට වග බලා ගත යුතු ය.
5. අඩු වයසින් විවාහ වීම
අඩු වයසින් විවාහ වීම යනු අවු 16 පමණ වනවිට විවාහ වීමයි. එහෙත්, සැබැවින්ම විවාහ විය යුතු වයස වන්නේ අවුරුදු 25 වයසේදී පමණ ය. කුඩා වයසේ දී (නව යෞවන) විවාහ වීම මඟින් අඹු - සැමියන්ට පවුල් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය අවබෝධය සහ දැනුම නොලැබීමට පුළුවන. එවිට පවුල දෙදරා ගොස් දික්කසාද තත්ත්වයට පත් වෙයි. විවාහ වීමට සූදානම් වීමේදී එම අඹු - සැමියන් අතර පවුල් ජීවිතයක් සාර්ථකව ගත කිරීමට හැකි හා ගැටලුවලට සහ අභියෝගවලට මුහුණදිය හැකි ශක්තියෙන් හා අවබෝධයෙන් යුක්තව සිටීම අතිශයින් ම වැදගත් ය.
6. දෙදෙනා අතර කිසිදු සාධාරණත්වයක් නොමැති වීම
සාර්ථක පවුල් ජීවිතයක හොඳ ම තෝතැන්න නිවෙසයි. නිවෙසෙහි භාරදුර කාර්යභාරයක් සෑම විටෙකම එක් පුද්ගලයකුට නො පැවරිය යුතු ය. යම් කිසි කාලසටහනක් මඟින් අඹු - සැමි දෙදෙනා කළ යුතු වැඩ බෙදා හදාගෙන කිරීමට පෙලඹෙනවා නම්, දික්කසාදයකින් තොරව, සාමයෙන් හා සහජීවනයෙන් යුතුව සාර්ථක පවුල් ජීවිතයක් උරුම කර ගැනීමට පුළුවන. නිතරම නිවෙසේ වැඩ බිරියට පවරන්නේ නම්, ඇයගේ මානසික මට්ටම ව්‍යාකූල වීමට පුළුවන. මේ නිසා සැමියන් නිතරම අවධානය යොමු කළ යුත්තේ, සාධාරණව හා නම්‍යශීලී ලෙස පවුල් ජීවිතයක් ගෙවීමට ය.
7. තනි තනිව සිතමින් ජීවත් වීමට හුරු වීම
විවාහයක් යනු අඹු - සැමි දෙදෙනාගේ ජීවිත පමණක් සම්බන්ධ වන ස්ථානයක් නොවේ. අඹු - සැමියන්ගේ මවුපියන් සමඟ නෑදෑ හිතමිත්‍රකම් ගොඩනැගෙන අවස්ථාවක් ලෙස ද හැඳින්වීමට පුළුවන. අඹු - සැමියන් දෙදෙනා තමාගේ ස්ව කැමැත්ත මත තීන්දු තීරණ ගන්නවා නම්, එය දික්කසාද තත්ත්වයට යාමට ප්‍රබල බලපෑමක් සිදු කරයි. අනෙකාගේ වුවමනා එපාකම්, අවශ්‍යතා දෙස ඉතාමත් සාවධානව බලා, අවබෝධයෙන් යුක්තව තීරණ ගන්නවා නම්, යහපත් පවුල් ජීවිතයක් ඔබට උරුම කර ගැනීමට හැකියාව ලැබේ. සැමියාගේ මවුපියන්, බිරියගේ මවුපියන් යන දෙපාර්ශ්වයටම සමසේ සලකා, අන්‍යෝන්‍ය සුහදතාවකින් දිවි ගෙවනවා නම්, එය ඉතාමත් ම යහපත් ය.
8. ධනය , වත්කම්පි ළිබඳ ගැටලු
විවාහ වීමට පෙර අඹු - සැමියන් දෙදෙනා තම තමන්ගේ වත්කම් පිළිබඳ නිසි අවබෝධයෙන් සිටිය යුතු වේ. විවාහ වූ පසු තමන්ට ලැබුණු ධනය මඳියි යන්න පිළිබඳ එකිනෙකා හට දෝෂාරෝපණය නොකළ යුතු ය. එවිට ඔවුනොවුන් හට ඇතිවන මානසික කම්පනය හේතුවෙන් පවුල් ජීවිතයට ආරවුල් පැමිණේ. එවිට යහපත් පවුල් ජීවිතයක් ගොඩනගා ගැනීමට නොහැකි වේ. තව ද, අඹු - සැමි දෙදෙනාම අවබෝධ කර ගත යුතු වන්නේ, එකිනෙකාට අපහාස,වැරැදි චෝදනා එල්ල නොකිරීමට ය. ඒවායින් මිදී ගත කරන ජීවිතය ඉතාමත් ම සාර්ථක වේ.
9. දෙදෙනා අතර යහපත් සන්නිවේදනයක් නැති වීම
අඹු - සැමි දෙදෙනා අන්‍යෝන්‍ය වශයෙන් සංවේදී විය යුතු ය. ඔවුනොවුන්ගේ සිතුවිලි එකෙනෙකා අතර හුවමාරු කර ගත යුතු ය. එයින් යහපත් මෙන් ම විශ්වාසවන්ත පවුල් ජීවිතයක් උරුම කර ගත හැකි ය. තමන්ට අවශ්‍ය දෑ නොසඟවා කතාබස් කිරීම මඟින් දික්කසාද වීම වළක්වා ගත හැකියි. බිරිය සංවේදී වන විට සැමියා සැර පරුෂව කථා බස් කරන්නේ නම්, එතැන ගැටුමක් ඇති වේ. එකිනෙකාගේ හැඟීම් නිසි අවබෝධයෙන් තේරුම් ගන්නේ නම්, යහපත්, සාමකාමී පවුල් ජීවිතයක් උරුම කර ගැනීමට ඔබටත් හැකියාව ලැබේ.
10. දෙදෙනාගේ පෞද්ගලික ඉලක්ක කරා යාම
විවාහ වූ යුවළකට වුව ද තම තමන්ටම වෙන්වුණු අනාගත අරමුණු තිබිය හැකි ය. එහෙත් ඒවා කෙරෙහි අවධානය යොමු කරන විට, ආත්මාර්ථකාමීව නොසිතා, දෙදෙනාගේම අවශ්‍යතා, හැඟීම්වලට ඉඩ දිය යුතු ය. තමන්ගේ ඉලක්ක කරා ගමන් කිරීමේදී විටෙක අනෙකාගේ ජීවිතය අවුල් විය හැකි ය. විශේෂයෙන්ම රැකියාව සම්බන්ධයෙන් ගත් විට අඹු - සැමි යුවළ ඒ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය.
මදාරා මුදලිගේ - Dinamina