* උස මීටර් 356.3
* යකඩ ටොන් 5000යි
* ඉංජිනේරුවෝ 50ක් වැඩ
* කොන්ක්‍රීට් මීටර් කියුබ් 20000යි
* තත්පරයට මීටර් 12ක වේගයෙන් සුළං හමද්දී වැඩ කරන්න බෑ
* ඉහළ මාලයේ කැරකෙන අවන්හලක්
* සම්මන්ත්‍රණ ශාලා හා මංගල උත්සව ශාලා
* සුපිරි වෙළෙඳ සංකීර්ණයක්
* රටටම රූපවාහිනී නැරැඹිය හැකි ඇන්ටනා
දුරුතු හිමිදිරියේ දී වීදුරු ජනේල වසාගෙන කොළඹට පැමිණි බස් රථ දැන් එන්නේ හැකි තරම් වීදුරු ඇරෙගන ය. සෙනඟ අතරේ හිරවී සිටින විට හෝ කොළඹට ආසන්න වන විට කොළඹ අහස බැලෙන්නේ ඉබේටම ය. ඒ අනේක විධ ගොඩනැඟිලි අතරින් දවසින් දවස යෝධයකු සේ හිස ඔසවන නෙළුම් කුලුන දැකීමේ නොතිත් ආශාවෙනි. දැන් කොයි අතින් බැලුවත් පෙනෙන්නේ තවමත් පෙති නොවිහිදුණු බේරවැව මායිමේ ඇති නෙළුම් කුලුන ය.
කැලණිය ගුවන් පාලම නැග කොළඹ දෙසට එනවිට ද පිටකොටුවේ රවුමක් යන විට ද කොයි කොනෙන් බැලුව ද නිල් අහස අල්ලන්නට ඔන්න මෙන්න කියා සැරසෙන සිමෙන්ති පැහැගත් කුලුන දිස්වේ. එය දකින වාරයක් පාසා හිතට නැඟෙන්නේ ප්‍රශ්න රැසකි.
“කොහොමද ඒකට නඟින්නේ?”
“ඔච්චර උස කුලුනක මිනිස්සු වැඩ කරන්නේ කොහොමද ;
“දැන් කොච්චර උසද?”
“වැඩ ඉවර වෙන්නේ කවද්ද?
නෙළුම් කුලුනේ සේයාව දකිනවිට හිතට නැඟෙන මේ ප්‍රශ්නම ඔබ සිත තුළ ද මතුවනු නොඅනුමාන ය.
ඇත්තටම මේකේ ඉහළට නගින්න ඇත්නම්...
ඉකුත් දිනෙක ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලක ද රියැදුරු චමින්ද ද තවත් දවසක ඡායාරූප ශිල්පී තුෂාර ප්‍රනන්දු ද පෙරටු කරගෙන එහි ගියෙමු.
“දැන් වැඩකරන කට්ටිය දවල් කෑමට යන වෙලාව. එතකොට අපි යමු බලන්න.”
විදුලි සංදේශ නියාමන කොමිසමේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ධර්මසිරි අල්විස්, ව්‍යාපෘති කළමනාකරු කුමුදු වසන්ත වරලත් ඉංජිනේරු කිත්මල් පෙරේරා, වරලත් ඉංජිනේරු රවිඳු හෙට්ටිආරච්චි, කර්නල් චානුක අබේරත්න, මෙන් ම චීන සමාගමේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන සියාමත් ජුන් ගාවෝ මඟ ඉස්සර වූහ.
හිතේ ඇත්තේ නොසන්සුන් බවකි. කිසිම දිනෙක මේ තරම් උස ගොඩනැඟිල්ලකට නැඟ නැත. හිස් ආවරණ ද පැලඳගෙන අපි මඟ පෙන්වන්නන් පස්සෙන් වැටුණෙමු. එය තාවකාලික විදුලි සෝපානයකි. ඇතුළට යම්දෝ නොයම්දෝ කියා සිත දෙගිඩියාවෙනි. කොන්ක්‍රීට් බදාමවලින් බේරෙන සිමෙන්ති දියරින් තෙමී ගිය විදුලි සෝපානය ඇතුළේ අපි ඔක්කෝම තුන් හතර දෙනෙකි. කන් පසාරු කරවන දඩ දඩ හඬින් විදුලි සෝපානය ඉහළට ඇදෙයි. බැලූ බැලූ අතින් පෙනෙන්නේ කොන්ක්‍රීට් බිත්ති පමණි. අපි මේ යමින් සිටින්නේ නෙළුම් කුලුනේ බිම් මාලේ සිට ය. නෙළුම් කුලුන හරියටම නෙළුම් නටුවක් වාගේ ය. මිනිත්තු හතරකදී අපි මීටර් 215 ක් උසට පැමිණියෙමු. එහෙත් කන්පසාරු කරවන හඬ දිගේ ආ ගමන විනාඩි දහයකට වැඩියැයි සිතෙන තරමට කර්කශය.
දැන් අප පැමිණ සිටින්නේ නෙළුම් කුලුන සාදා නිමවූ විට මහජනතාවට පැමිණිය හැකි අවසාන ස්ථානයට ය. එතැනින් එහාට ද නෙළුම් කුලුන උස ය. එහෙත් ඒ ප්‍රදේශයට ජනතාවට යෑමට අවසර නැත. තවමත් බිම ඔප මට්ටම් කර නැත. එනිසා ඒ ප්‍රදේශය ඇත්තේ ඝනකම් ලෑලි දමා සකසා ය. ලෑලි හිඩැසි අතරින් බිම පෙනෙන විට හිත ගැස්සෙයි. අතරැඳි පෑන් විල්ල වැටුණේ පුංචි සුළඟකට ය. යකඩ බට අතරින් රිංගා අපි ඈත පෙනෙන මානයට ආවෙමු. අපට හාත්පසින් දිස්වෙන දසුන අපූරු ය.
එක් පසෙකින් බැලූවිට පෙනෙන්නේ අලුත්කඩේ උසාවිය හා ඒ අවට එම ප්‍රදේශයයි. අනෙක් පසින් බැලූවිට නෙළුම් පොකුණ රඟහල හා ඒ අවට ය. අධික වේගයෙන් යන බස් රථ පෙනෙන්නේ ඉබි ගමනේ යන සේ ය. මිනිස්සු කුරුමිට්ටන් වැනි ය. කලකට පෙර ලංකා බැංකු ගොඩනැඟිල්ලේ ඉහළ සිට බැලුවාටත් වඩා හරිම අපූරු අකාරයට නෙළුම් කුලුනේ සිට කොළඹ අවට සිරි අසිරිය පෙනෙයි. බේරේ වැව, ගාලු මුවදොර මුහුදු තීරය, වරාය ඊටත් එහා නන්නාඳුනන උසට උස ගොඩනැඟිලි පෙනෙන්නේ අනුරූ ආකාරයට ය.
“මාතරට යනතුරු පෙනෙනවා. ඒත් වලාකුළු නිසා දැන් පේන්නේ නැහැ. හොඳට වැහැලා පෑයුවාට පස්සේ සිරිපාදයත් පෙනෙනවා. පහළ බලන කොට සමහර තැන් අඳුරුවට පෙන්නේ වලාකුළුවල සෙවණැල්ල නිසා. කලින් තිබුණ උසම ගොඩනැඟිල්ල තමයි ආන් අර පේන හයට්ස් රිජන්සි ගොඩනැඟිල්ල. නමුත් දැන් උස මෙතැන. නෙළුම් කුලුනේ සම්පූර්ණ උස මීටර් 356.3 යි. මේ උඩට තත්පරයකට මීටර් 12 ක වේගයෙන් හුළං හමනවා. ඒ වෙලාවට කවුරුවත් වැඩ කරන්නේ නැහැ” කිත්මල් පෙරේරා පවසන්නේ ය.
ඇතැම් රූපවාහිනි නාළිකා විකාශනයේදී පැහැදිලි නැතැයි යනුවෙන් ජනතාව මැසිවිලි නඟති. නෙළුම් කුලුන සාදා අවසානයේදී ඊට ද විසඳුමක් ලැබෙන්නේ ය. ඒ එක් එක් ස්ථානවල ඇති රූපවාහිනි කුලුනු සියල්ල නෙළුම් කුලුනට ගෙන එන බැවිනි. නෙළුම් කුලුන කොළඹ නගරයේ අනන්‍යතා සලකුණ වනවා සේ ම එය දැනට දකුණු ආසියාවේ උසම කුලුන ද වේ. මේ වනවිට ලෝකයේ උසම කුලුනු අතර දහනව වැනි ස්ථානය නෙළුම් කුලුනට හිමිව ඇත්තේ ය.
“නෙළුම් කුලුන පහළම කොටසේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් නිම වීමට නියමිතයි. ඉහළ කොටස්වල සම්මන්ත්‍රණ ශාලා, මංගල උත්සව ශාලා, අවන්හල් වගේ ම නැරැඹුම් මැදිරියක් තිබෙනවා. මේ නැරැඹුම් මැදිරියේ දුරදක්න කිහිපයක් ම සවි කරනු ලබනවා. නෙළුම් කුලුන ගොඩනැංවීමේ වැඩ ආරම්භ කැරුණේ 2012 අවුරුද්දේ. මේ වනවිට එහි බොහෝමයක් වැඩ කටයුතු අවසානයි. එළැඹෙන වසරේ අගභාගය වනවිට මෙය සාදා අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මහජනතාවට දෙදහස් දහඅට වසරේ මුල වනවිට මෙහි යන්නට එන්නට පුළුවන්.”
විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් සිරිසේන මහතා පවසන්නේය.
නෙළුම් කුලුන නිර්මාණය කිරීමේ දී චීනය සමඟ අපේ රටේ විද්වත්හු ද කරට කර වැඩ කරති. ගෘහ නිර්මාණ ශිල්පීන් උද්‍යාන නිර්මාණකරුවන් මෙන් ම ඉංජිනේරුවෝ ඒ අතර වෙති. විශේෂයෙන් ම මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු හා මහාචාර්යවරු මේ ආශ්චර්යවත් කුලුන නිම කිරීමට දායක වන්නන් අතර වෙති. මහාචාර්ය නිමල් සිල්වා, මහාචාර්ය සමිත මානවඩු, මහාචාර්ය ප්‍රියාන් ඩයස් හා මහාචාර්ය අනුර නානායක්කාර යන මහත්වරුන් මෙන් ම තවත් බොහෝ විද්වත්හු මේ අතර වෙති.
මෙම කාර්ය අධීක්ෂණය කරන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි. විවිධ අංශවල ඉංජිනේරුවරුන් 50 දෙනකු පමණ මේ කටයුත්තට දායක වෙනවා. අවුරුදු තුන්දහසකට පමණ පෙර ලෝකයේ දෙවැනි උසම ස්ථානය හිමි වුෙණ් අපට. ඒ ජේතවනාරාමය. දැන් අපට ලෝකයේ දහ නවවැනි උසම ස්ථානය හිමිවන්නේ නෙළුම් කුලුන නිසා. මෙම කුලුන ගොඩනැඟීමේ දී පාදම දැමීමට පොළොවේ ගලට යනතුරුම හෑරුවා. ඒ හාරන විට වතුර උනන තත්ත්වයක් තිබුණා. නමුත් ඒ සඳහා පිළියම් යෙදුවා. කොන්ක්‍රීට් දැමීමේ දී ඒ සඳහා මීටර් කියුබ් 4000 ක් ගියා. පාදමට යකඩ ටොන් 400 ක් ගියා. පැය 36 ක් ඇතුළත ආයතන පහක් එක්වී තමයි කොන්ක්‍රීට් දැම්මේ. එදා විජේවර්ධන පාරේ සිට කැලණි පාලම දක්වා සිමෙන්ති බවුසර් නතර කර තිබුණා. මුළු ගොඩනැඟිල්ල සඳහා ම කොන්ක්‍රීට් මීටර් කියුබ් 20000 ක් භාවිතා කෙරෙනවා. යකඩ ටොන් 5000 ක් භාවිතා කරනවා.”
ව්‍යුහ ඉංජිනේරු ශිරෝමාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ ය. නෙළුම් කුලුන ලබන වසර අග වන විට සාදා අවසානය. එවිට එහි බොහෝ විසිතුරු දැකිය හැකි ය. ඒ විසිතුරු අතර සුපිරි කැරකෙන අවන්හල් ද වේ. මෙහි ආසන 300ක් පැනවිය හැකි ය. පැය එක හමාරක් තුළ (විනාඩි 90) අංශක 360 ක සම්පූර්ණ වටයක් මෙම අවන්හල සහිත කොටස කැරකෙනු ඇත. අවන්හලේ සිටින විට ඉහළ සිට පිටත දර්ශන ද නැරඹිය හැකි ය. ඒ අවට ආවරණ කෙරෙනුයේ වීදුරුවලිනි. නෙළුම් කුලුන පතුලේ සවිකර ඇති අධිබලැති මෝටර් යන්ත්‍රයේ ආධාරයෙන් මෙම කැරකවීම සිදුකැරේ. රාජකීය අමුත්තන් සඳහා වෙන්වූ අධිසුඛෝපභෝගී නවාතැන් ශාලාව, ආදී වූ මහජනතාව විස්මයට පත් කරන තවත් අසිරිමත් දෑ එහි තිබෙනු ඇත.
ෙනළුම් කුලුන පාමුල සිට ඉහළ බැලූ විට හරි පුදුමය. නෙළුම් කුලුනේ ඉහළ සිට පහළ බැලූ විට හිත ගැස්සෙයි. දැන් එහි ඉහළ නැඟීමට ඇත්තේ තාවකාලික විදුලි සෝපානකි. සුපිරි විදුලි සෝපාන සවිකරනුයේ කුලුනේ වැඩ නිමවූ විට ය.
මේ ඉදිකිරීම් වලදී ක්‍රේන් එක මඟින් උදේ සවස කුලුන නඟින චීන ජාතිකයෝ දෙදෙනෙකි. ඒ දෙදෙනා අතරින් එක් අයකු අපට එහිදී හමු විය. ඔහු වැන්ග් පෑන් සුන් ය. වයස අවුරුදු 42 කි.
“මුලින්ම මට බය තිබුණා. මීට පෙර මීටර් 150 ක් විතර තමයි නැඟ තිබුණේ. නමුත් මෙහි උස ඊට වැඩියි. අවුරුදු 20 ක් තිස්සේ මම මේ රස්සාව කරන්නේ. උදේ 6.20 මම ක්‍රේන් එකේ උඩට යනවා. හවස 6.30 ට තමයි පහළට එන්නේ. දැන් මේ කුලුනේ උස මීටර් 350 යි. මම මීටර් 306 ක් උසට ගිහින් තියෙනවා. මේවට කියන්නේ ටවර් ක්‍රේන් කියලා. උඩ ඉඳලා බැලුවම කොළඹ හරි ලස්සනයි. මේකේ වැඩ ඉවර වුණාම මම ආයෙත් චීනයට යනවා. ඊට පස්සේ මගේ ආයතනයෙන් මාව කොහේ යවාවිද දන්නෑ” ඔහු කියන්නේ ය. ඔහු කියූ දෑ අපට පරිවර්තනය කළේ මෙම ව්‍යාපෘතියේ චීන භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කරන ජේ. අබ්දුල් අසිස් ය.
ඉනෝකා සමරවික්‍රම - Silumina