ඉරුණු ඇඳුම්, මසන්නට,
ගෙබිම, පිස දමන්නට,
කන බොන දේ, කඩෙන් ගෙනෙන්නට,
ගෙනා දේ, උයන්නට,
පවුලේ අය, කවන්නට, පොවන්නට,
ගෙවත්ත, වල් උදුරන්නට,
කමීස, මදින්නට,
කුඩා වුන්, අන්දවන්නට,
මේ ගෙපැල, අස්පස් කරන්නට
ඊළඟට අසනීප උන්, සාත්තු කරන්නට
දිලෙන්න මා මත, සූර්යාලෝකය
වසින්න මා මත, වැස්ස
වැටෙන්න මුදු ලෙස, පිනි බිඳු
සිහිල් කරන්න යළි මා නළලත
කුණාටුව, ඔබේ බිහිසුණු සුළඟින්
ගසාගෙන යවන්න මා මෙතනින්
ඉඩ දෙන්න පාවෙන්න අහස පුරා
නැවත මා විවේකය ලබන තුරා
වැටෙන්න, හීනියට හිම පියලි
වසන්න මා,
සුදෝ සුදු, සීතල හාදුවලින්
ඉඩ දෙන්න සැතපෙන්න අද රෑ
ඉර, වැස්ස, වක් අහස,
කඳු, සයුරු, කොළ, ගල්,
තරු කැල්ම, සඳ එළිය,
ඔබ සැම පමණමයි
කිය හැකි මට, මගේම යැයි.
මායා ඇන්ග්ලෝ
පරිවර්තනය - දේ. වි. ගාල්ලගේ