Pages

Thursday, June 30, 2016

සංගීතයේ නොදත් රහස්

මිනිසුන් සැම විටෙකම ප්‍රීතියෙන් සිටීමට කැමැති ය. සංගීතය ශ්‍රවණයට හිත යොමු කිරීම ඒ සඳහා ගනු ලබන එක් ක්‍රියාමාර්ගයකි. සංගීතය ශ්‍රවණය නිසා මිනිසාට බොහෝ ප්‍රතිලාභ අත්වේ. එලෙස අත්වන වාසි මෙසේය.

1. ප්‍රතිශක්තීකරණ පද්ධතියට හිතකර වීම

කැනඩාවේ මහාචාර්යවරුන් පිරිසක් සිදුකළ පර්යේෂණයකදී , සංගීතය ශ්‍රවණය , ස්නායු පද්ධතියට යහපත් බව සොයාගන්නා ලදී. අපට බොහෝ රෝග වැළදෙන්නේ වෛරස් හා බැක්ටීරියා ආසාදන නිසා ය. සංගීතය ශ්‍රවණය කරන පුද්ගලයාගේ ස්නායු තුළට යම් උත්තේජනයක් සිදු වීමෙන් ශරීරයට බාහිරින් ඇතුළු වන විනාශකාරී සෛල ඉවත් කිරීමක් සිදුවේ. එම නිසා, සංගීතය ශ්‍රවණය මඟින්, ලෙඩ රෝගවලින් ආරක්ෂා වී, දිගුකාලීන , නිරෝගී ජීවිතයක් ළඟා කර ගත හැකි ය. ශරීරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය මනාව පවත්වා ගන්නටත් මේ මඟින් හැකියාව ලැබේ.

2. ශල්‍යකර්මයකින් පසු ඇති වන වේදනාව අඩුකර ගත හැකි වීම

යූතා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකදී, සංගීතය ශ්‍රවණය මඟින් වේදනාව සමනය කළ හැකි බව සොයාගෙන ඇත. ශල්‍යකර්මයකින් පසු ඇති වන වේදනාව සඳහා සංගීතය සුවිශේෂී බලපෑමක් සිදු කරනු ලබයි. රෝගී අවස්ථාවලදී සිදු කරන ඉලෙක්ට්‍රොනික කම්පන මඟින් සිදුවන දැඩි බලපෑම මනාව අඩුකර ගැනීමට සංගීතය ශ්‍රවණයෙන් හැකියාව ලැබේ.

3.මනස උද්‍යෝගිමත් කරයි

සිතට දැනෙන පාළුව සහ විඩාව දුරලන්නට සංගීතයට ඇත්තේ මහඟු හැකියාවකි. පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ, සංගීතය ශ්‍රවණය මඟින් ළමා මනස දියුණු වන බවයි. වෛද්‍යවරුන් සනාථ කරන‍්නේ, සතියකට දින කිහිපයක් සංගීතය සමඟ දරුවා සුසංයෝග කරන ලෙසයි. එය, දරුවාගේ මනසට සුවයක් සහ බුද්ධි වර්ධනයට මනා පිටිවහලක් බව ඔවුන්ගේ මතයයි.

04. ළමා සංවර්ධනයට උපකාරී වේ.

කැනඩාවේ යෝර්ක් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක් විසින් මාසයක් තුළදී දරුවන්ට සංගීත පාඩම් කියාදීමෙන් කළ සමීක්ෂණයකදී , ළමා පෞරුෂය වර්ධනයට සංගීතය බලපෑමක් කරන බව පෙන්වා දී තිබේ. අවුරුදු 4 සහ 6 වයස්වල දරුවන්ගේ වාචික හැකියාව 90%ක් පමණ සංගීත අධ්‍යයන මඟින් දියුණු කර ගැනීමට හැකිවේ. දරුවන්ගේ ශ්‍රවණ හැකියාව හා ලිවීමේ හැකියාව ද (කලාත්මකව ලිවීම) මෙ මඟින් ගොඩනගා ගැනීමට හැකි ය. කැනඩාවේ මැක් මාස්ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සොයාගනු ලැබුවේ, අවුරුද්දක් වයසැති දරුවන් සංගීත පංතිවලට යොමු කිරීමෙන්, ඔවුන්ගේ සැඟවුණු කුසලතා වර්ධනය වන බව ය.

05. අඝාතය පාලනය කරයි.

හෙල්සියුකි විශ්වවිද්‍යාලය මඟින් කළ අධ්‍යයනයකදී , අඝාතය මඟහරවා ගැනීම සඳහා සංගීතය ඉවහල් වන බව සොයාගනු ලැබී ය. ආඝාතය වැළඳී සිටිනා රෝගීන් හට දවසකට පැය කිහිපයක් සංගීතය ඇසීමට සැලැස්වීමෙන්, ඔවුන්ගේ රෝගී තත්ත්වය ටිකෙන් ටික මඟහරවා ගත හැකි ය.

හඬ පටිගත කළ තැටි ශ්‍රවණය මඟින්, වාචික මතකය අඩු රෝගීන්ට කදිම ප්‍රතිලාභ හිමිවෙයි.

06. ආහාර පාලනයට සහ ව්‍යායාමයක් ලෙස ද හිතකර වේ

සංගීතය ශ්‍රවණය කිරීම මගින් ශරීරයේ කැලරි ප්‍රමාණය අඩු කර ගැනීමටත්, එමඟින් සිරුරේ බර ද යම් තරමකින් අඩු කර ගැනීමටත් හැකි වේ. එහෙත් වෛද්‍යවරුන් පවසන්නේ, මන්දගාමී ලෙස සංගීතය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ආහාර ගන්නා ලෙස ය. දරුවන්ට අධ්‍යාපන කටයුතු නිරවුල් මනසකින් යුක්තව කරගෙන යාමට ද සංගීතය ශ්‍රවණය මහත් පිටුබලයකි.

07‍. හදවත් රෝගවලට සුවදායක ය

සිනාවෙන් මනසට ලැබෙන සහනයට වඩා වැඩි සහනයක් සංගීතය පරිශීලනයෙන් පුද්ගල ජීවිතවලට ළඟා කර ගැනීමට පුළුවන. මනස ලිහිල්වීම තුළින් පුද්ගල හදවතෙහි පවතින රෝගබාධවලට ද යම් සහනයක් ළඟාකර ගැනීමට හැකි ය. රුධිරය ගමනාගමනයට ද සංගීතය ශ්‍රවණය කිරීම මඟින් මනා උත්තේජනයක් සැපයේ.

08. සුවදායී නින්දක් ළඟා කර ගැනීමට හැකි වීම

තායිවාන් විශ්වවිද්‍යාලය පවසන පරිදි, 60%ක් පමණ වැඩිහිටි පිරිසක් නින්ද නොයාමේ රෝගයට මුහුණදී සිටියි. වෛද්‍යවරුන් එම පිරිසට පවසන ලද්දේ සරල සංගීතය හෝ මන්දගාමී සංගීතය කිහිප වතාවක් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව නිදාගන්නා ලෙස ය. එලෙස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කළ සමීක්ෂණවලින් 26% පමණ වැඩිහිටියන්ට සුවදායී නින්දක් ලැබී ඇත. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ, මේ සඳහා ජන සංගීතය ඇසුරු කරන ලෙස ය.

09. විෂාදය දුරලන්නට සමත් වේ

සංගීත වාද්‍ය භාණ්ඩවල හඬ මඟින් විෂාද රෝගින්ට සුවිශාල බලපෑමක් සිදුවේ. ක්වීන්ස් විශ්වවිද්‍යාලය කළ සමීක්ෂණයක් මඟින් සනාථ වූයේ, සංගීතය ශ්‍රවණය කිරීමෙන් මනසට උත්තේජනයන් සැපයෙන බවයි. එමගින් මිනිසුන්ගේ මානසික සංවර්ධනයට අවශ්‍ය සිතුවිලි ගොඩනැඟෙනවා පමණක් නොව, මිනිසුන්ට පැමිණෙන විවිධ ගැටලු සහ අභියෝගවලට නොබියව මුහුණ දීමට ද ඉඩ ප්‍රස්ථාව ලැබේ. ඒ අනුව මෙය සංගීතය චිකිත්සක ක්‍රමවේදයක් ද වේ. මිනිසාට නපුරු සිතුවිලි සහ ඍණාත්මක සිතුවිලිවලට මුහුණදීමට සිදුවන මොහොතක , ඔවුන් වඩාත් ප්‍රිය කරන සංගීතයකට අසන්නට දීමෙන් එම පුද්ගලයන්ට ලැබෙන සහනය, ඔවුන්ගේ සෞඛ්‍යයට වඩාත් හිතකර වේ.

10. මානසික ආතතිය දුරලයි

දිගුකාලීනව සංගීතය ශ්‍රවණය කිරීමට පුරුදු වී සිටින මිනිසුන්ගේ මානසික ආතතිය වළක්වා ගැනීමට හැකි බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත. පුද්ගලයාගේ මනසට විවිධ ගැටලු නිසා ඇතිවන හානිය යම් තරමකින් හෝ මඟහරවා ගැනීමටත්, අමතකවීම් දුරු කර ගැනීමටත් සංගීතය මනා පිටිවහලක් වේ. මානසික ආතතියට බලපෑම් කරන හෝමෝනයට, සංගීතය තුළින් යම් බලපෑමක් සිදු කරන නිසා මානසික ආතතියේ මට්ටම අවම කර ගැනීමට හැකිවේ. ඒ වගේම සිහින් සිරුරක් හිමි පුද්ගලයන්ගේ ශරීරයේ වර්ධනයටත්, හදවත් රෝගීන්ටත්, සංගීතය ශ්‍රවණය මඟින් වාසි අත්වේ.

Tuesday, June 14, 2016

ඇය මේ මොහොතේ වරද නිවැරදි කැර ගත් කෙනෙකි.

ජීවිතය අත්දැකුම් ලබාදෙන මහා තක්සලාවකි. ඒ තක්සලාවේ නිබඳව අප ලබන එක් අත්දැකුමක් නිරුද්ධ වී යන විට තවත් අත්දැකුමකින් සිත නැවුම් වෙයි. ආදරය යනු එක්තරා පූජනීය ගැඹුරු සිතුවිල්ලකි.

ඒ ආදරය පිරිමිනට නම් ජීවිතයේ කොටසක් වන අතර ගැහැනියකට බොහෝ දුරට එය ජීවිතය ම බව රේමන්ඩ් පර්ත් නම් සමාජ මානව විද්‍යාඥයෙකු 19 වැනි සියවස මුල් භාගයේදී ම කියා තිබේ.

අද නව යොවුන් පරපුර මේ යන්නේ ඒ රැල්ලේ ම ගසාගෙන ද? ඔවුනට තමා හැදූ වැඩූ මාපිය සෙනෙහස මායිම් නැත. අර්ථයක් නැතිව වුවද මුග්ධ ක්‍රියාවල යෙදෙති. ඔවුනට මේ මානසිකත්වය හදන්නට දර දිය ඇද්දේ කවුරුන් ද? ඒ ටිකිරි වෙබ් අඩවි හා සුකිරි බටිල්ලන්ගේ දියාරු මාධ්‍ය යැයි සිතමි.

(මාතරට නුදුරු දික්වැල්ල මුහුදු තීරයෙන් 2016.06.07 උදේ 7.35 පමණ පාසල් යුනිෆෝමයෙන් සැරසුණු කැන්වස් සපත්තු යුගලක් පැලඳගත් අවුරුදු 17ක පමණ පාසල් සිසුවියක් සිය දිවි නසා ගැනීමේ අරමුණින් මුහුදට පැන පොලිස් නිලධාරීන්ගේ ආධාරයෙන් දිවි බේරාගත් සිද්ධිය හා සම්බන්ධයි)

Monday, June 13, 2016

බුදුහාමුදුරුවො අපිත් දකින්නැති....

“අම්මේ අර අපි සාදු කියන කොට 
බුදුහාමුදුරුවො මල් දැකලා 
දුටුවද ටික ටික හිනැහෙන ලස්සන 
ඉස්සර කියු බණ මතක් වෙලා”

ඉකුත් ‘ගේය පද ලීලා’ තීරුවෙහි උපුටා දැක්වුණු ඉහත කී ගී කඩ තවමත් ඔබ සිත්හි රැව් දෙනවා වන්ට පිළිවන. කුඩා දරුවා සිය මෑණියන්ට කියන්නේ, ඔවුන් පිදූ මල් දුටු බුදුහාමුදුරුවන් ටික ටික හිනැහුණු බවය. බුදු හිමියන්ගේ ඒ සිනාව ලස්සන බවත් දරුවා කියයි; ලස්සන වන්නට හේතුවත් කියයි. ඒ දවස්වල තමන් වහන්සේ දෙසූ බණ බුදුහාමුදුරුවන්ටම සිහි ව ඇත්තේ ය. සිනා සෙන්නේ එහෙයිනි.

මානවසිංහයන්ගේ ඒ ගීතයෙහි පද රසය වින්දනය කළ අපි, කිසි විටෙක බුදුහාමුදුරුවන් සිනා සෙන්ට ඇතැයි නොඅදහමු. එහෙත් දරුවාට පෙනෙන්නේ, පිළිම ගෙයි වැඩ සිටින බුදුහාමුදුරුවන් සිනා සුණු බවකි. අපි ඒ ගැන පොඩි දරුවා සමඟ උරණ නොවෙමු; දොස්ද නොකියමු. මන්ද යත්: පරිකල්පනය පිළිබඳ ඒ නිදහස, අප කවියාට සපුරාම පිරිනමන හෙයිනි.

ඒ තරමටම අහිංසක වූ කවි කල්පනයක් අද දින තීරුවට විෂය කරගනිමු. ඒ, අපේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් විසින් පබඳින ලද ඉතා සුප්‍රකට ‘බුදුහාමුදුරුවො අපිත් දකින්නැති’ නමැති ගීතයයි. ගීතය අප හදෙහි තැන්පත් ව යළි-යළිත් දෝංකාර දෙන ලෙස ගායනා කරන්නේ වික්ටර් රත්නායකය.

බුදුහාමුදුරුවන් සිනා සුණැයි කියන්නට අර දරුවාට පුළුවන් නම්, බුදුහාමුදුරුවො අපිත් දකින්න ඇතැයි කියන්නට සිද්ධාර්ථ හාමුදුරුවන්ට බැරි මොකද?

අසූ ගණන්වල මැද භාගයේදී මේ ගීතය අසන හැම වාරයකම මෙහි රචකයා කවරෙක්දැයි මසිත විමසන්න විය. ගීත රචකයා සිද්ධාර්ථ හාමුදුරුවන් බව මා දැනගත්තේ කලකට පසුවය. මා උන් වහන්සේ හඳුනාගත්තේ ඒ ගී පද රචනය හඳුනාගෙනත් කලකට පසුවය.

‘බුදුහාමුදුරුවො අපිත් දකින්නැති 
බණත් අහන්නැති ඒ කාලේ...’

ඒ නම් මොන තරම් අපූරු කවි කල්පනයක්ද! සැබවින්ම මම තිගැස්සී සිටියෙමි. කවීන් වන අපටත් එවැනි කල්පනා ඇති නොවන්නේ ඇයි? බුදු වසින් දෙදහස් පන්සියයක් ඉකුත් වුණු තැනේදීත්, බුදුහාමුදුරුවන් අපිත් දකින්න ඇතැයි කියන කියුම, හිතාගන්නත් බැරි තරම් අමුතුම ආකාරයේ කවි කල්පනයකි.

මගේ කල්පනාව නම්, ශ්‍රාවකයන් අතර මේ ගීතය වඩාත්ම හද බැඳගත්තේ, ගීතයට අදාළ සියලු කාරණාත් ඉක්මවා යන, පරිකල්පනයේ අපූර්වත්වය නිසා ය. ඇත්තටම කෙනකුට එහෙමත් හිතන්න පුළුවන්ද? එයට දිය හැකි පිළිතුර ඇත්තේත් මානවසිංහයන්ගේ කලින් සඳහන් කළ ‘බුදු මිහිර’ නමැති කවි පෙළෙහිය. එහි ලා මතු කරන ලද සියලු අසිරිය කුළුගන්වමින්, “බුදුහාමුදුරුවො ඉපදුණු කාලෙට කවදත් ඔහොමයි පුතුනි මගේ” යනුවෙන් පිළිතුරු දෙමින් දරුවා නිහඬ කරන්නේ අම්මාය.

සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීතය ගැන යමක් කියන්නට පෙර, උන් වහන්සේ ගැන යමක් නොලියා මේ රචනය පෙළගස්වන්නට බැරිය. උන් වහන්සේගේ මුල්ම ගීත සංග්‍රහය නිකුත් වූයේ, ‘සංසාරේ අපි’ යන හිසිනි. අද දින අපගේ සාකච්ඡාවට බඳුන් වන උන් වහන්සේගේ මේ ගීතයද මවිසින් උපුටා ගෙන ඇත්තේ ඒ කෘතියෙනි. එදවස අතිශය කාන්තිමත් නිමාවෙන් යුතුව නිකුත් වුණු එහි පිටපතක් උන් වහන්සේ විසින් මවෙතද තිළිණ කර ඇත. අපේ සිද්ධාර්ථ හාමුදුරුවන් ඒ පොත තිළිණ කරමින් මගේ නම ලියන්ට පෙර ‘අපේ’ යන වදනද මුලට යොදා ඇත. මේ ‘අපේකම’ එදා සිටම අප අතර නොනැසී නොබිඳී පවතින්නේමැයි. බොහෝ සාම්ප්‍රදායික හාමුදුරුවන්ට සිය දායකයන් හැමදෙනාම ‘අපේ’ ය. ඒ දායකයන්ටත්, ඒ සියලු හාමුදුරුවරු ‘අපේ හාමුදුරුවෝ’ ය.

මේ අපේකම, සිද්ධාර්ථ හාමුදුරුවන් හිතන්නේ සංසාර බන්ධනයක් හැටියටය. මාත් ඇතුළු උන් වහන්සේගේ සියලු සමීපතමයන් සිතන ආකාරයට මේ සංසාරයේම එකට අත්වැල් බැඳගෙන සිටියවුන්ය. උන් වහන්සේටත් ඔවුන්ටත් මතු සංසාරයේ ගමනද කරන්ට සිදු වන්නේ එකට අත්වැල් බැඳගෙනය. ඒ තරමටම මේ සංසාර බන්ධනය දැඩිය. සිද්ධාර්ථ හාමුදුරුවනුත් අපත් අතර ඇති ඒ සංසාර බන්ධනය ගැන කතා කරන්ට ගියොත් උන් වහන්සේගේ ගීතය ගැන කිසිවක් ලියන්නට ඉඩක් ලැබෙන්නේ නැත. එහෙත් මෙහි ලා අවශ්‍යයෙන්ම කිව යුතු එක කාරණයක් ඇත්තේය. සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ අතිවිශාල ගීත සම්භාරය විභූතිමත් වී ඇත්තේත් අතිශයින්ම හෘදයංගම වී ඇත්තේත් උන් වහන්සේගේ ජීවිතයත් පරිකල්පනයත් මෙහෙයවන කිසියම් ආකාරයක සංසාර චින්තනයක් නිසාය.

මේ ‘සංසාර චින්තනයේ’ දෙපැත්තක් ඇතැයි මට සිතෙයි. ඇත්තටම එය දෙපැත්ත කැපෙන කඩුවක් වැන්න. එක පැත්තකින් සංසාරයෙන් මිදීමය; අනෙක් පැත්තෙන් සංසාරයෙහි ගැලී සිටීමය. මේ දෙකම, මගේ කල්පනාව නම්, බොදු පිළිවෙතෙහි රැඳී සිටින සියලු පුහුදුන් දනන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රතිවිරෝධයක් හෙවත් ඇතැම් නවීන විචාරකයන්ගේ බසින් කිව හොත් ‘උභ‍තෝකෝටිකයකි’.

අපේ බුදුහාමුදුරුවන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම පෙරුම් පිරුවේ තමන් වහන්සේ මෙන්ම සියලු සත්වගද සංසාරයෙන් ගලවන්ටය. සංසාරයෙන් ගැලවිය හැක්කේ, සමූහ වශයෙන් නොව තනි-තනිවය. බුදුන් දෙසූ තාක් සියලු බණ පද තමන්ගේ මතකය නමැති භාණ්ඩාගාරයෙහි තැන්පත් කරගෙන සිටි ආනන්ද හාමුදුරුවන්ටත් සංසාරයෙන් ගැලවෙන්ට අවස්ථාවක් පෑදුණේ, බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්බිතිව යෙදුණු මුල්ම ධර්ම සංගායනාවට දින කිහිපයකට පෙරය. සැබැවින්ම සංගායනාවේදී බුදු බණ පද ඉදිරිපත් කරන්නට උන් වහන්සේ සුදුසුකම් ලැබුවේ ඒ ආකාරයෙනි. ඒ ව්‍යායාමය ආනන්ද හාමුදුරුවන්ට පවා තනිවම කරන්ට සිදු විය. බුදුන් වහන්සේ සමඟ පැවති අවශ්‍ය ඥාතිත්වයවත්, සමීපභාවයවත් එයට පිටිවහලක් වුණේ නැත. සංසාරයේ හැටි එසේය.

අපේ සිද්ධාර්ථ හාමුදුරුවන් දුක් වන්නේත්, බුදුහාමුදුරුවන් දැකලාත්, බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලාත්, නිවන් දකින්ට බැරි වීම ගැනය. අපට මේ වරද සිදුව ඇත්තේ, අවුරුදු දෙදහස් පන්සියයකටත් පෙරය. තවමත් අප සිටින්නේ සංසාරයේමය.

එමතුද? ඒ කාලයේ බුදුන් වඳින්නට අප හැම දෙනා දෙව්රම් වෙහෙරටත් යන්ට-එන්ට ඇත. ඒ අතර අපේ යාළුවන්ගෙන් කිහිප දෙනෙක්වත් බුදුහාමුදුරුවන්ගෙන් බණ අසා නිවන් දකින්ටත් ඇත. එහෙත් අප තවමත් සංසාරයේය.

ඒ ඇයි? ගී පද රචක සිද්ධාර්ථ හාමුදුරුවන් කියන්නේ, අප විසින් එදවස කරන ලද පින් මදි බවය. එසේ නොවන්නට, මෙලහකටත් අප හැමදෙනාම නිවන් දැක අවසන්ය.

මේ ගීතය ගැන සිදු වුණු කතාබහකදී, දිනක් පණ්ඩිතයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය: පින් කළ පමණින්ම නිවන් දැක්ක හැකිද?

එතැනත් ඇත්තක් නැත්තේම නොවෙයි. මන්ද යත්: නිවන් දකින්ට නම් - නිවන් අවබෝධ කරන්ට නම් - පින් පව් දෙකම අවසන් කළ යුතු බවය. අප හැමදෙන මේ සංසාරය තුළ කරකවමින් ඉදිරියට ගෙන යන්නේ අප කරන පින් පව් දෙකම විසිනි. පව් කළත් සසර දික් වෙයි. පින් කළත් සිදු වන්නේ, ඒ ටිකමය. එසේ නම්, දික් වන මේ සසර කෙටි කරගත හැක්කේ, බණ පොතේ කියන ආකාරයට ‘සවාසනා සකලක්ලේශයන්’ ප්‍රහීණ කිරීමෙන් පමණි. ධර්මයේ ගැඹුරුම සත්‍යය නම් එයයි.

දැන් ඉතින් ඒ කාරණය, දශක කිහිපයක්ම මහණ දම් පුරන අපේ සිද්ධාර්ථ හාමුදුරුවන්ට අමතක වුණේ කොහොමද? ඒ ‘ආභිධම්මික සත්‍යය’ උන් වහන්සේගෙන් ගිලිහී ගියේ කොහොමද?

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්ට ගියොත්, අපට මේ ගීතයේ පද රසය මෙන්ම ගී රසයද විඳගන්ට ලැබෙන්නේ නැත.

සිද්ධාර්ථ හාමුදුරුවන් මේ ගීතය නිර්මාණය කරන්නේ අර ආභිධම්මික පණ්ඩිතයන්ට වත්, විනයවර්ධනකාරයන්ට වත් නොවෙයි. උන් වහන්සේගේ රචනය හුදී දනන් උදෙසාය; බුදුන් දැක නිවන් දකින්ට බලා සිටින සුවහසක් උපාසක-උපාසිකාවන් උදෙසාය; ඒ හැමටමත් වඩා, අභූතපූර්ව වූ කාව්‍ය පරිකල්පනයකින් චමත්කාරයක් ලබන සහෘදයන් උදෙසාය. ඒ සහෘදය පර්ෂදයට සිද්ධාර්ථ හාමුදුරුවන් ඇඳ දක්වන චිත්‍රය ඒ අයුරින්ම දැකගත හැකිය.

මොහොතකට සිතන්න: බුදුහාමුදුරුවන් වැඩ සිටි එදවස, අප සැවැත් නුවර දෙව්රමට යන්ට-එන්ට ඇත. ඒ කියන්නේ, අප ඒ තරමටම බුදුහාමුදුරුවන්ටත් දෙව්රමටත් සමීපව සිටි වගය. අප ගියේ තනිවම ‍නොවෙයි. අපගේ යහළුවන් කැලතක්ද කැටුවය. අප බුදුන් වඳින්ටත් ඇත; දෙව්රම් වෙහෙරෙහි අනෙක් වතාවත් කරන්ටත් ඇත. ඒත් පින් මදි නිසා නිවන් දකින්නට නොලැබෙන්නට ඇත. ඒ නිසා අපේ හාමුදුරුවන් කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවන් දැකලා වත් නිවන් දකින්නට පින් කරමු කියාය.

සිද්ධාර්ථ හාමුදුරුවන් මේ අහිංසක සිතිවිල්ල සිතන්නේ, සිවුරක් පෙරවාගත් භික්ෂුවක හැටියට වත්, හොඳට තෙම්පරාදු වුණු වැඩිහිටියකු හැටියට වත් නොවෙයි. උන් වහන්සේ ඒ සිතිවිල්ල සිතන්නේ, මානවසිංහගේ රචනයෙහි මුණගැහුණු කුඩා දරුවාගේ චරිතයට සම වැදීමෙනි. එවිට, මේ සියල්ල අතිශයින්ම රමණීයය. කවි සිතිවිල්ලේත් ගී පබැඳිල්ලේත් ඒ රමණීයත්වය නිසාම මේ ගීතය අප හැමගේම මන බඳින්නේ වෙයි.

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ

Friday, June 10, 2016

'නැහැ කීමට ඇති ධෛර්යය'


මේ ඡායාරූපය ගත්තේ 1936දී ජර්මනියේ හැම්බර්ග්වලදී. නාසි නැවක් සමුදුරට දියත් කරන අවස්තාවේදී හැම දෙනාම නාසි ආචාරය පල කරද්දී එක් අයෙක් පමණක් අත් දෙක බැඳගෙන නාසිවාදයට 'නැහැ' කියනවා.

*ඔහු ඕගස්ට් ලැන්ඩ්මෙසර් නම් ජර්මානුවෙක්. මේ සිදුවීමෙන් පසු නාසි පාලනය විසින් ඔහු මරා දමන්නට ඇතැයි සැලකෙනවා.

ඒ ඔහු එතැන, ඒ මොහොතේ, ඉතා කුඩාම සුළුතරය වුවත් නාසිවාදයට අභියෝගය ආවේ එතනින් නිසා.

*කලක් සැඟවී තිබී 1991දී ලෝක අවධානයට ලක්වූ මේ ඡායාරූපය නම් කර තිබෙන්නේ 'නැහැ කීමට ඇති ධෛර්යය' හෙවත් Courage to say 'NO ලෙස.

Thursday, June 09, 2016

අවුරුදු 120 ක් ජීවත් වී ක්‍රිස්තු තුමා මියගියේ ඉන්දියාවේ

ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතයෙන් අවුරුදු තුනක කාලය (වයස 30 සිට 33 දක්වා) ශුද්ධවූ බයිබලයේ අලුත් ගිවිසුමේ දැක්වෙන්නේ නැහැ. ඒ කාලය තුළ උන්වහන්සේ හිටියෙ කොහෙද? මොනවද කළේ කියා නිශ්චිතව කිසියම් සඳහනක් වන්නේ නැහැ.

ඒ නිසා පසුකාලීන උගතුන් මේ අවකාශය පුරවන්ට නොයෙක් උත්සාහ ගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ ක්‍රිස්තු තුමන් ඉන්දියාවට පැමිණි වගයි. සිංහලෙන් ද මේ ගැන පොත් කීපයක්ම පළවී තිබෙනවා. කොලට් සේනානායක හා නාරද කරුණාතිලක මේ අළලා පොත් දෙකක්ම ලියා තිබෙනවා. එකක් “යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ.” අනික “යේසුස් දේව පුත්‍රයකු කළ බුද්ධ පුත්‍රයා.”

ප්‍රවීණ ලේඛක භද්‍රජි මහින්ද ජයතිලක ද පොතක් ලියා තිබෙනවා. ඒ “ජේසුස් දඹදිව විසූ වගයි” කියන පොත. ඒක පරිවර්තනයක්. හෝල්ගර් කර්ට්සන් ලියූ “ජීසස් ලිව්ඩ් ඉන් ඉන්දියා” ඒ මුල් පොතේ නම.

නිකලස් නොටොවිච් නමැති රුසියානුවාත් මේ අවකාශය පුරවන්ට උත්සුක වූ ලේඛකයෙක්. ඔහු කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ තිබ්බතයට පැමිණි බවත්, අනතුරුව යළි පලස්තීනයට ගිය බවත්ය.

පසුබිම ඒ තිබියදී මෑතදී මේ හා සම්බන්ධ තවත් පොතක් සිංහලෙන් පළ වුණා. ඒ “යේසුස් මෛත්‍රී බුදුන්ද?” යන පොත. මේකත් පරිවර්තනයක්. පොතේ ඉංග්‍රීසි නම “ඩෙත් ඔන් ද ක්‍රොස් ඇන්ඩ් හිස් ජර්නි ටූ ඉන්දියා.” කතුවරයා හස්රත් ගුලාම් මිර්සා අහමද් (1835 – 1908). ජී. ‍(ගොයුම්) එවරස්ට් ආරච්චිගේ හා කේ. කේ. සමන් කුමාර දෙදෙනා තමයි පොත සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ.

මුලින්ම කතුවරයා ගැන යමක් දැනගෙන සිටීම වැදගත්. ඔහු ඉස්ලාමීය අහමදියා ව්‍යාපාරයේ නිර්මාතෘවරයා. පොත් 90 ක් විතර ලියලා තියෙනවා. ඔහු අවිගත් ජිහාඩයක් වෙනුවෙන් පෙනී නොසිටි ලේඛකයෙක් වීම කැපී පෙනෙනවා.

“යේසුස් මෛත්‍රී බුදුන් ද?” පොතේ විශේෂත්වය තමයි අහමද්, ක්‍රිස්තුන් වහන්සේ ඉන්දියාවට සංචාරය කළේ බයිබලයේ නැති වූ කාලය ලෙස හඳුන්වන ක්‍රිස්තු තුමන්ගේ අවුරුදු 30 – 33 කාලයේදී නොවන බව කීමයි. ඒ වෙනුවට ඔහු වෙනත් ප්‍රවාදයක් ගොඩනඟනවා. ඒ තමයි ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත මැරුණේ නැහැ. සිහිමුර්ඡාව සිටියා පමණයි. පසුව මෘත දේහය තැන්පත් කරපු ගල්ලෙනෙන් එළියට විත් පලස්තීනයෙන් පැන ගොස් ඉන්දියාවට ආ බවයි. ඒ අතරතුර උන්වහන්සේ තම ගෝලයන් කීප දෙනකු මුණගැසී තිබෙනවා. ඒ බව බයිබලයේද එන කරුණු ද තහවුරු කරනවා. ඇතැම් ගෝලයන් පවා උන්වහන්සේ තවදුරටත් ජීවමානව සිටීම ගැන විශ්වාසයක් පළකළෙත් නැහැ. දෙඅතේ අත්ලවලට ඇණ ගැසීමෙන් වූ තුවාල පෙන්වීමෙන් හා ස්පර්ශ කරන්ට දීමෙන් පසුවයි විශ්වාස කළේ.

මේ ප්‍රවාදය කතෝලික ආගමේ ඇදහිල්ල (දර්ශනය නෙමෙයි) දරුණු විවේචනයට ලක්කිරීමක්. සාමාන්‍යයෙන් කතෝලිකයන්ගේ විශ්වාසය වන්නේ උන්වහන්සේ දින තුනකින් උත්ථානය වූ බවයි. පාස්කු ඉරුදින සමරන්නේ ඒ උත්සවයයි.

ඉන්දියාවට සංක්‍රමණය වූ ක්‍රිස්තු තුමන් එහිම දහම් දෙසමින් කල්ගත කරලා තියෙනවා. මෙහි වඩාත් බරපතළම ප්‍රවාදය වන්නේ උන්වහන්සේ ඉන්දියාවට ගොස් ඇත්තේ මරිය මග්දලේනා නම් වූ තරුණිය සමඟ බවත් එහිදී එතුමා ඇය විවාහ කරගත් බවත්ය. මරිය මග්දලේනා බයිබලයේ සඳහන් වන ආකාරයට ගණිකාවක්. මිනිසුන් ඇයට ගල් ගසද්දී ඇය බේරා ගත්තේ ක්‍රිස්තුන් වහන්සේ. වැරදි නොකරන කෙනෙක් ඇයට පළමු ගල ගසන්නැයි කීවේ ඒ අවස්ථාවේදී.

ක්‍රිස්තුන් වහන්සේට දරුවන් ද ඉඳලා තියෙනවා. ඒ පුතුන් දෙදෙනෙක් හා දියණියක්. දියණියගේ නම සාරා.

ක්‍රිස්තුන් වහන්සේ වැඩ වාසය කරලා තියෙන්නේ කාශ්මීරයේ “ෆ්ලෝටින් කැපිටල්” යන නමින් හඳුන්වන ශ්‍රී නගර් හි ආශ්‍රමයක. උන්වහන්සේ තිබ්බතයේ හා කාශ්මීරයේ සැරිසරමින් බෞද්ධ සාහිත්‍ය හා සූත්‍ර අධ්‍යයනය කරලා තියෙනවා. තිබ්බතයේදී වජ්‍රයානික හෙවත් තන්ත්‍රයානික ගූඪවාදය ද හදාරා තිබෙනවා. උන්වහන්සේ යෝග භාවනාවෙහි ඉහළටම ගිය කෙනෙක්.

ක්‍රිස්තුන් වහන්සේ අවුරුදු 120 ක් ඉන්දියාවේ ජීවත්වෙලා තියෙනවා. උන්වහන්සේගේ සොහොන ශ්‍රී නගර් හි ඛාන්සාර් වීදියේ අදටත් නිරුපද්‍රිතව පවතින බව පැවසෙනවා.

මේ කරුණු එකිනෙක සාක්ෂාත් කිරීම සඳහා අහමද් විවිධ ලිඛිත මූලාශ්‍ර උපුටා ගන්නවා. ඉතිහාස පොත්, වෛද්‍ය විද්‍යාත්මක පොත් පමණක් නෙමෙයි, බෞද්ධ පොත් පවා ඉවහල් කර ගන්නවා. මගේ පෞද්ගලික පිළිගැනීමට අනුව නම් අප විශ්වාස කිරීම නොකිරීම කෙසේ වෙතත් මෙබඳු පර්යේෂණ කාර්යයන් අතිශය වැදගත්. ආගම වුණත් ප්‍රශ්න කිරීමේ අයිතිය මිනිසුන්ට තිබෙන්න ඕනෑ. එසේ නො‍වන්නේ බොහෝ විට ආගම් රජය සමඟ බැඳී පවත්නා බැවින්. ආගම කියන විෂය (මොනම හෝ) රජයෙන්, අධ්‍යාපනයෙන් මුලිනුපුටා දැමිය යුතුය යන්න තමයි බුද්ධිමතුන්ගේ මතවාදය. ඉන්දියාවේ ගාන්ධිතුමාත් මේ ආකල්පයේමයි හිටියේ.

ක්‍රිස්තු චරිතය අර්ථකථනය කිරීමේදී ඇතැම් නිර්මාණ ලේඛකයන් අහමද් පවා අබිබවා ගොස් සිටිනවා. නිකොස් කසන්ට්සාකිස් ලියූ “ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ජීසස් ක්‍රයිස්ට්” නවකතාවේ ක්‍රිස්තුන් වහන්සේට කුරුසියේදී ඇතිවූ දුර්පරීක්ෂාවක් හේතුවෙන් කුරුසියෙන් බැස මරිය මග්දලේනා සමඟ විවාහ වී දරුවන් ද ලැබ ගන්නවා. ජෝසේ ෂරමාගෝගේ “ගොස්පල් එකෝඩින් ටූ ජීසස් ක්‍රයිස්ට්” කෘතියේ ක්‍රිස්තුන් වහන්සේ හා මරියා අතර වන රමණ අවස්ථාවක් ද නිරූපණය කර දක්වනවා.

අපේ කතෝලික සභාව බල අධිකාරියි. ඔවුන්ගේ ඉහට උඩින් අහමද්, කසන්ට්සාකිස්, ෂරමාගෝ වගේ අයට පියඹන්න බැහැ. ඒ නිසා තමයි තිස්ස බාලසූරිය පියනමගේ, මංජුල වෙඩිවර්ධනගේ පොත් වාරණයට ලක් කරන්නේ. මා කියන්නේ එකම එක දෙයයි. ආගමික නායකයන් සම්බන්ධයෙන් විකල්ප අදහස් දැක්වීමේ, විවේචනය කිරීමේ, අර්ථකථන දැක්වීමේ පුළුල් නිදහස තිබිය යුතුය යන්න පමණයි. අවසාන තීරණය පාඨකයා අතේ.

සුනිල් මිහිඳුකුල