එයින් මා කෙතරම් මෝහනය වී ද යත් මා විද්‍යා අංශය අතහැර කලා අංශය තෝරාගෙන සරසවි වරම් ලදිමි. පසුකාලීන ව මා කළ බොහෝ නිර්මාණ සඳහා මට එතුමන්ගේ ආභාසය ලැබුණ බව හදවතින්ම පවසමි.
ගීත බවට බොහෝ විට පත්වී ඇත්තේ සේකරයන්ගේ කාව්‍ය සංකල්පනාවන් ය.සේකරගේ කවි ඇසුරු කළ අමරදේවයන් ඒවා ගීත බවට පත්කරන්නට ඇත.මේ ගේය කාව්‍ය රචනය සඳහා ද මුල් වන්නේ “හෙට ඉරක් පායයි” නමැති කෘතියේ සේකර විසින් රචනා කරන ලද කාව්‍ය සංකල්පනාවකි.
ජීවිතයේ බොහෝ පරාජයන් ලැබු පුද්ගලයකු තම පෙම්වතිය හෝ බිරියගෙන් ජීවිතය ජයගන්නට වෙර දැරීමක් මේ අනුභූතියේ අන්තර්ගතය.
බුද්ධිය හා භාවය එක්තැන් කරන ආකර්ෂණීය වූ සංකේත මාලාවක් යොදා ගැනීමට සේකර සතු හැකියාව මෙහිදී කැපී පෙනෙයි.මුළු කාව්‍යයේම අරුත ආරම්භක දෙපදයෙහි අන්තර්ගතය.
“පාළු අඳුරු නිල් අහස මම යි
ඈත දිලෙන තනි තරුව ඇයයි
ජීවිතයේ අපරිමිත වූ පරාජිත භාවය “පාළු අඳුරු නිල් අහස”නමැති රූපකයේ අන්තර්ගතය. ඒ අඳුරු අහස ආලෝකවත් කළ හැකි තරු කැටයක් ඒ අහසේ ම දුරින් දිස්වෙයි. ඒ ඔහුගේ ආදරය දිනු තැනැත්තියයි.ඇතැම් විට එවැනි ගැහැනියක ඔහු ළඟ නොඉන්නට පුළුවන.තමාට එළියක් දිය හැකි ආදරවන්තියක පිළිබඳ මනඞකල්පිත හීනයක් පමණක් ඔහු සතුව තිබෙනවා විය හැකිය. එය යුගයෙන් යුගය ඔහුගේ හදවත ඉල්ලන එහෙත් තාමත් ලැබී නැති බලාපොරොත්තුවක් පැතුමක් ද විය හැකිය.
“යුගයෙන් යුගයට හදවත් ඉල්ලන
තමන් ගේ ජීවිතයේ අසාර්ථක බව රූපණය කිරීමට රචකයා රූපකාර්ථ පිරි සංකේතයක් යළිත් භාවිත කරයි.
“අසාර වූ මහ පොළව මම යි
ගලා බසින දිය දහර ඇය යි
තම ජීවිතය සාරවත් ජීවිතයක් නොවේ. එය වියළි පස් සහිත ඉරි හැලුණු මහ පොළවක් බඳු ය. ඒ කටුක පොළව දොවා ගලන සීතල දිය දහර ඇය ම ය. එසේම තම හඬන හදවත සදාතනික ව නැළවිය හැකි එක ම සැපත ද ඇය ම ය.
තම අසාර්ථකත්වය පෙන්වීමට සේකර යෙදුම් සොයාගන්නා අයුරු සාහිත්‍ය විද්‍යාර්ථියකු විසින් හැදෑරිය යුත්තකි. ඒවා ආයාසයෙන් තොරව නිරායාසයෙන් ඔහුගේ පන්හිඳ කරා ගලා ආ බවක් හැඟේ. පාළු අඳුරු නිල් අහස, අසාර වූ පොළව, කැලෑව මැද කටු පඳුර තම අසාර්ථකත්වයේ සංකේතයන් වන අතර, “ඈත දිලෙන තනි තරුව“ ගලා බසින දිය දහර” “පිපී වැනෙන මල් පොකුර” ඔහුගේ සුබවාදී අනාගතය ගොඩනඟන ඇය වෙනුවෙන් යොදන්නා වූ සංකේතයන්ය.
එහෙත් ඔහුගේ සිහින දෙව්දුව හුදෙක් කල්පිතයක් පමණක් ද? ඔහුට ලබාගත නොහැකි තැනැත්තියක් ද? යන උභතෝකෝටිකය නිර්මාණය සමාජගත කරන ආකාරයෙන් රසිකයා සිතේ හට ගනී. ඔහු අවසානයේ දී ඇය දකින්නේ, යුගයෙන් යුගයට හදවත් හඬවන, අඳුරු වේදනා කුටියක් ලෙසයි.
“යුගයෙන් යුගයට හදවත් හඬවන
අඳුරු වේදනා කුටිය ඇය යි”
අභාවප්‍රාප්ත කේ. ජයතිලක ශූරින් වරෙක මට පැවසූයේ මේ පද මාලාවට එකල දේශපාලන මුහුණුවරක්ද ඇතැමුන් ආරෝපණය කර තිබු බවයි. හැත්තෑව දශකයේ දේශපාලන නායිකාවක් වෙනුවෙන් මෙය ලියු බවට මතයක් තිබේ යැයි එතුමා පැවසුව ද මේ නිර්මාණය එබඳු තැනක තැබිය යුත්තක් නොවේ. කෙසේ වෙතත් දුකින් පිරි ජීවිතයක් ගත කරන්නකු සිතේ ඇතිවන ආදරණිය බලාපොරොත්තුවක් මුළු ගීතය පුරාම අන්තර්ගත ය.
සංගීත නිර්මාණයේ දී අමරදේවයන්ට වැඩි ප්‍රාතිහාර්යයක් කරන්නට සිදු නොවන්නේ ගේයතා ගුණය නිර්මාණයෙහිම ගැබ් වී ඇති බැවිනි. ඒ නිසා ජන ගී නාද රටා යොදමින් පදමාලාව ඔපවත් කර මනෝහර ලෙස ගායනා කිරීම එතුමා විසින් කර තිබේ.
මම අහස දෙස බලා සිටිමි. අඳුරු ආකාසයේ ඈත කොනක පුංචි තරු කැටයක් දිළිසෙයි. එහෙත් මගේ ජීවිතයේ අඳුර එබඳු තරු කැටයකට දුරු කළ හැකි ද?
ධම්මික බණ්ඩාර - Silumina