කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
මල් පූදින්නේ දැඟිලි අතරේ
තැලී පෙලී මියෑදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනේ ලබන්නයි
හිත රිදවුම් සඟවන්න නොවේ
සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනදුර දුරු කරවාලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වූ
හිතකට එළියක් ලැබ දෙන්නයි
පද රචනය - තනුව - අශෝක කෝවිලගේ
ගායනය - ප්‍රියානි ජයසිංහ
ආදරය... හරිම සුන්දරයි.... පවිත්‍රයි... ආදරයේ සුන්දර බව... පවිත්‍රත්වය ර¹ පවතින්නේ දෙදෙනාම එකිනෙකා ගැන එක හා සමානව හිතනවා නම් විතරයි... දෙදෙනාගේම හැඟීම් එක හා සමාන විය යුතුයි.. හරියට තරාදියක් වගේ. තරදිය සමබර වෙනවා වගේ තමයි දෙදෙනාගේ ආදරයත්. එක පැත්තක් අඩු වුණොත් සමබරතාවය බිඳෙනවා. ආදරයේ සුන්දර බව පවිත්‍ර බව අඩුවෙලා යනවා.
කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයෙ ඉන්නම් අමතක නොම වේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්
මගේ නෙතට කඳුළු නොදුන්නොත් මම ඔයාගේ දුක් කඳුළුත් නිවා දමන්නම්... මාව තනි කරන්න එපා... මාව තනි නොකළොත් මමත් ඔයාගේ තනියට ඉන්නම්. මාව අමතක නොකළොත්.... මම ඔයාගේ මතකයේ රැඳී ඉන්නම්... මගේ හිතට රිදවුම් ගෙන නොදුන්නොත් මම ඔයාට ආදරය කරන්නම්...
තරුණියකගෙන් තරුණයකුට කොන්දේසි මාලාවක්. ආදරය කරනවා නම් දෙදෙනාම සමබර විය යුතු බවයි මේ කියන්නේ. ආදරයේ සමබරතාව ගැන කියන මේ ගීය ලියුවේ අශෝක කෝවිලගේ. තනුවත් ඔහුගේමයි. දැන් අපි අශෝකට මඳක් සවන් දෙමු.
මේ සිංදුව කරලා අවුරුදු පහළොවක් විතර ඇති. ඒ මම සංගීත ක්‍ෂේත්‍රයට ආ අලුත. මගේ පළමු ගීය "සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ" ගයන්න මාලිනී බුලත්සිංහල ශිල්පිනිය ඉල්ලා ගත්තා. ඉන්පසු තමයි මම මේ කඳුළු නිවන්නම් ගීය ලියුවේ... ඒත් ගීතය පටිගත කරද්දී සමහර වචන වෙනස් වුණා. මේ ගීය හදල අපේ බෑන්ඩ් එකේ ගායනා කරන්න ප්‍රියානිට ආරාධනා කළා. ඇගේ හඬට ගීය ගැලපුණා. අපි මංගල සාදවල මේ ගීය ගැයුවා. එක් මංගල සාදයකදී තුන්සැරයක්‌ම කඳුළ නිවන්නම් ගායනා කරන්න ප්‍රියානිට සිද්ධ වුණා. ඒ තරමට ගීයට ප්‍රතිචාර ලැබුණා. ඉන් පස්‌සේ තමයි අපි තීරණය කළේ ගීය පටිගත කරන්න. අපි නොහිතපු ලෙස ගීතය ජනප්‍රිය වුණා.
මල් පූදින්නේ දෑඟිලි අතරේ
තැලී පෙලී මියෑදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනේ ලබන්නයි
හිත රිදවුම් සඟවන්න නොවේ
පිපුන මලක හැඩ දෙනෙත්වලට කොයිතරම් සුන්දරත්වයක් ගෙන දෙනවද.... පිපුණු මලක ලස්‌සන... වඩාත් වැඩියෙන් විඳින්න පුළුවන් වන්නේ... ගසේම තියෙද්දී නටුව අගට වී සුළඟට සෙලවෙමින් දසත සුවඳ පතුරන මල... කෙතරම් පිවිතුරුද... මලක් පූදින්නේ මේ සුන්දරත්වය ලබාදෙන්න මිස නටුව අගින් කඩා අතැඟිලි අතර තැලී පොඩි වී විනාශ වෙන්නද... නැහැ... ඒ වගේ තමයි ආදරයත්... ආදරයක් නැති හදවතකට නොවේ පෙම පිදිය යුත්තේ. ආදරය පිදිය යුත්තේ ආදරයක් ලබන්න මිසක් දුක කඳුළ සඟවා ජීවත්වෙන්න නොවේ.
සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනඳුර දුරු කරවාලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වූ
හිතකට එළියක් ලැබ දෙන්නයි
හිරු බැස ගිය විට මුළු ලොවම අන්ධකාරයෙන් වෙළාගනී. ඒ ඝනඳුර දුරු කරන්නයි සඳ පායන්නේ. හඳ එළියත් හරියට පිවිතුරු ආදරය වගේ. හුදෙකලා වූ අඳුරු හිතකට පිවිතුරු ආදරයක් පුද කළොත්... ඒ ජීවිතය අනිවාර්යයෙන්ම එළිය වෙනවා. හරියට සඳ එළියෙන් රැයේ ඝනඳුර මැකී යනවා වගේ....
ලස්‌සන ගීයක්.... ප්‍රියානිගේ හඬ... ගීයේ අරුත වඩාත් උද්දීපනය කරනවා. ගීය හොඳින් අසන්න... තනුවේත් අමුත්තක් දැනෙන බව කිව යුතුමයි.
අජිත් අලහකෝන් - Divaina