ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි
මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මදහස මැකෙයි
මිරිවැඩි තුළ දිය පිරෙයි
පය ලිස්‌සා බිම වැටෙයි
සළුපිළි සිරුරට ඈලෙයි
පිට මිනිස්‌සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයි
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ගායනය -
විශාරද එඩ්වඩ් ජයකොඩි
පෙම්වතෙකුට තම පෙම්වතිය මැණිකක් ඔහු ඇය රැකගන්නේ හරියට මැණිකක් රකින නා රජිඳෙක් වගේ... ඇගේ ඇඟට මැස්‌සෙකුටවත් වහන්න දෙන්නෙ නැහැ... තවකෙක් ඈ දෙස බලනටවත් ඔහු කැමැති නෑ... මේ ආදරයක් ඊර්ෂ්‍යාවත් එකට එකතුවෙලා...
ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි
මොරසූරන වැස්‌ස... සුළඟත් සැඩයි. කුඩයක් යටින් කොහොමටවත් යන්න බෑ... මට බයයි ඔයාව තෙමෙයි කියලා. පාර පුරා පිරි තියෙන මඩවතුර ඔයාගේ සාරියට ඉහුනොත්.
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්පනාවක්... අත්දැකීමක් වූ අපි මහැදුරන්ට සවන් දෙමු.
මේක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අත්දැකීමක්. අපේ ආචාර්යවරයෙක් ආචාර්යවරියකට ආදරේ කළා. ඒත් එයාලට එකතුවෙන්න බැරි ප්‍රශ්න වගයක් තිබුණා. ඇය සරසවියට එන්නේ යන්නේ බසයෙන්. ඒත් ආචාර්යවරයා යන්නේ ඔහුගේ වාහනයෙන්. දවසක් හොඳටම වැස්‌ස. ආචාර්යවරයා වාහනේ ගමන් කරද්දී දැක්‌කා ආදරවන්තිය. ඉක්‌මන් ගමනින් ගොස් බසයකට නගිනවා. අහස කළු කරලා. තද සුළඟ. මොරසූරන වැස්‌සක පෙර නිමිති. වැස්‌ස වහින්න ඔන්න මෙන්න වගේ. ආචාර්යවරයාට ඇය ගැන දුකක් හිතුණා. අනිවාර්යයෙන්ම බසයෙන් බැස යද්දී ඇය මේ වැස්‌සට හසුවේවි... ඈ තෙමෙයි කියා ඔහුට බියක් දැනුණා. මේ වැස්‌සට කුඩයක් ඔරොත්තු දෙන්නෙත් නෑ. සාරිය පුරා මඩත් ඉහිරෙයි. මට තියෙන්නේ සාරි දෙක තුනයි... ඈ දවසක් කී කතාවක් ආචාර්යවරයාට මතක් වුණා... ගීයට පාදක කර ගත්තේ ඔන්න ඔය අත්දැකීමයි.
මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මෘදු මදහස මැකෙයි
මිරිවැඬි තුළ දිය පිරෙයි
පය ලිස්‌සා බිම වැටෙයි...
ඇය හිනාවෙද්දී හරිම ලස්‌සනයි. ඒ හිනාවට තමයි ඔහු වශී වුණේ. ඒත් මේ වැස්‌සත් එක්‌ක එන සිනහව ඇගේ මුහුණ පුරා වදිවී. එතකොට අර සුන්දර සිනහව ලස්‌සන මුහුණ මැකිලා යාවි. සුන්දර දෙපතුල් මඩ වතුරෙන් නෑවේවි. සෙරෙප්පු දෙක පුරා වතුර පිරිලා ඇවිදිද්දී නැගෙන "චිරි චිරි" හඬට ඈ කැමැතිම නැහැ. දෙයියනේ ඇගේ පා ලිස්‌සා බිම ඇද වැටුණොත්... ආචාර්යවරයා වාහනය පදවන්නේ ඈ ගැන සිතිවිලිවලින් හද පුරවාගෙන...
මේ සිංදුව ලියද්දී මට මතක් වුණා වික්‌ටර් රත්නායක ගයන බණ්‌ඩාර කේ. විඡේතුංග "සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියේ" ගීය. එය ආදරයත් ඊර්ෂ්‍යාවත් කැටිවුණ ගීයක්. ආදරය තුළ ඇති ඊර්ෂ්‍යාව මගේ මේ ගීයෙනුත් කියෑවෙනවා.
සළුපිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්‌සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයි
වැස්‌සට තෙමුණාම ඇගේ ඇඳුම ඇඟටම ඇලෙයි. තෙමුණු තරුණියක කොතරම් සුන්දරද... කාන්තාවකගේ සුන්දර ලාලිත්‍ය... වඩාත් වැඩියෙන් පෙනෙනවා. දකින ඕනෑම කෙනෙකුට ශෘංගාරාත්මක සිතිවිලි පහළ වන්නේ ඉබේමයි. මේ වැස්‌සට ඔයාගේ සාරියත් ඇඟට ඇලුනොත් හැම මිනිහෙක්‌ම දකිවී... නෑ... නෑ... එහෙම කාටවත් ඔයා ගැන ආදර සිතුවිලි මවා ගන්න දෙන්න බෑ... ඔයා මගේ... මට ඕනේ පිට අයගේ ඇස්‌වලින් ඔයාව වසන් කරන්න... බැහැ... බැහැ... ඔයාට වැස්‌සේ තෙමෙන්න දෙන්න බෑ... මම ආයෙත් ඇවිත් ඔයාව මගේ වාහනේට නංවා ගන්නම්... ඔහුට ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා... ඒ පිට මිනිසුන් කෙරෙහි ආදරය නිසා ඊර්ෂ්‍යාව ඉපදිලා...
මේ සිංදුව ලියලා එඩ්වඩ්ට දුන්නාම ඔහු මට කිව්වා සාරිය කියන වචනය අයින් කරලා වෙන වචනයක් දාන්න කියලා... සාරිය කියා කිව්වාම එහි වැඩිහිටි බවක් තියෙනවා නේද කියලා එඩ්වඩ් ඇහුවා...
ඒත්... මගේ අත්දැකීම අනුව ඇය ආචාර්යවරියක්... අඳින්නේ සාරිය... ඒ නිසා මම කැමැති වුණේ නෑ ඒ වචනය ඉවත් කරන්න. ඒත් එඩ්වඩ්ට තිබුණා උවමනාවක් එය වෙනස් කරන්න... ඒත් පස්‌සේ මගේ කීමට ඔහු එකඟ වුණා. මහැදුරු ආරියරත්නයන් කීහ...
අජිත් අලහකෝන් - Divaina