Pages

Sunday, March 04, 2012

හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹෙ නමින්

ආදර ගීත බොහොමයක් ඒකාකාරී ය. එහෙත් මේ ඒකාකාරිත්වයින් අත්මිදුණු නිර්මාණ ඉඳහිට හෝ මුණ ගැසේ. නැවුම් ගී පද හා නුහුරු සංගීතය තුළින් මේ ඒකාකරිත්වය බිඳ දැමු අවස්ථාවක් ලෙස මේ ගීතය හැඳින්විය හැකිය.

ආදරය හා රාගය සම්මිශි‍්‍රත ව යෞවනයකුගේ හදවතක් පේ‍්‍රමයේ මිහිරිතම හැඟීම් සමීප වූ අවස්ථාවක් ලෙස මේ නිර්මාණය හැඳින්විය හැකිය. මේ පේ‍්‍රමය මල්ඵල හට ගත් පේ‍්‍රමයක් ම නොවේ. එය ඇතැම් විට හෙට දවසේ මල්ඵල දරන්නක් විය හැකිය. එහෙත් යෞවනියක නිසා මේ මොහොතේ මේ පුරුෂයාගේ හදවත පේ‍්‍රමයේ ආස්වාදනීය හැඟීම් බුක්ති විඳිමින් සිටී. ඒ අපරිමිත සෞන්දර්යය මුසු ආනන්දනීය හැඟීම සුන්දර පරිසර වැනුමකින් සංකේතවත් කිරීමට රචකයා සමත් වෙයි.

“නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී 
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි 
සොඳුර නුඹෙ නමින්

නුරා අඳුරින් වැසී ගිය නීල දෑස, මල් සුවඳ මුසු මඳනල, වැහි වලා යටින් එබෙන පුරහඳ, සඳ සෙවණැල්ල පතිත වූ වැව් දිය, ආදි පාරිසරික සෞන්දර්යය ආලවන්ත හැඟීම් මනාව සංකේතවත් කරයි.

එහෙත් මේ රමණීය හැඟීම් සමුදාය ඔහු ඇයට ප්‍රකාශ කර නොමැත්තේ ය. අවට පරිසරයම ආදරයකට පසුබිම තනද්දී ඔහුට ඇති එකම අපහසුව වන්නේ ආදරය ප්‍රකාශ කර ගැනීමයි. ආදරය සතු මේ ගොළු බව එක්තරා මිහිරියාවකි. හැටේ දශකය තුළ කරුණාසේන ජයලත් ශුරින් ගේ ගොළු හදවත නවකතාව එතරම් ජනපි‍්‍රය වූයේ ද මේ ගොළු බවට ජනතාව පි‍්‍රය කළ බැවිනි.

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ 
පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා...

අඹ ගස්වල මල් පිපී ඇත. ඒ මල් වටා සමනලු සරති. තමා වඩාත් ඇළුම් කරන ඒ කිරි කවඩි සිනාවේ ප්‍රාතිහාර්යය අත්පත් කරගැනීමට ඔහුගේ සිත පෙරුම් පුරයි. එහෙත් ඒ සිත මේ මොහොතේ ගොළු වී තිබේ. මට මේ මොහොතේ සිහි වන්නේ ජී. බී. සේනානායකයන් ගේ පද්‍ය පන්තියකි. “තත්සර ඇසුර” රසිකයන්ගේ ආස්වාදය පිණිස එය ද මෙයට එක්කර ගනිමි. තමා ළඟින් ම ඇසුරු කරන තරුණියකට ආදරය ප්‍රකාශ කරන්නට යාමේදී යෞවනයකු තුළ හට ගන්නා මානසික ආතතියක් එහි මැනවින් ප්‍රති නිර්මාණය වී තිබේ.

එහි දී ද ඒ තරුණයා වටා ඇත්තේ සුන්දර පරිසරයකි. ඇය ගං ඉවුරක් අසබඩ ඔහු අසලින් වාඩි වී සිටින්නී ය. සීතල සුළඟක් හමා එයි. සුළඟට විසිරුණු ඇගේ කෙහෙරැළි ඔහු ගේ මුහුණේ ගැටෙයි. ආලය ප්‍රකාශ කිරීමේ මානසික උද්දීපනයක් තරුණයා තුළ හට ගනී. එහෙත් සිදුවන්නේ කුමක් ද?

නිශ්ශබ්දතාව

දෑත බිම ඔබා
පස්සට වාරු වී
නිසල ව හුන්
ඇගේ ලිහිල් කෙස් රොදක්
නිහඬව හමන
සුළඟින් එසවී විත්
මා මුහුණේ හැපෙත්ම
ඇගේ රන්වන් මුහුණ දෙස
බැලු මම
ඇසීමට දිගු කලක්
පුල පුලා උන් කිසිවක්
ඇසීමට සිතීමි
මසෙකු හඬ නඟා දැඟලුයෙන්
පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය
කැළඹිණ
ඈත ඉවුරේ වැඩුණු
මහ උණ පඳුරෙන්
අහසට නැඟුණු කොබෙයියෙක්
කෑ ගාගෙන පියඹා ගියේය
ඉක්බිති නිශ්ශබ්දතාවක් පැතිණි
ඇගේ රන්වන් මුහුණ දෙස
බැලු මම
යළිත් සිතීමි
නිශ්ශබ්දතාව දැඩි විය
පෙදෙස වසා ගෙන පැතිරුණු
දැඩි නිහඬ බවෙන්
මිරිකුණු මම
ඇගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කරබා ගතිමි

(ජී. බී. සේනානායක - පළිගැනීම - 1946)

නිහඬ පේ‍්‍රමයේ ස්වභාවය එයයි. මේ තරුණිය මොහුගේ සිතුවිලි උදේ සවස උද්දීපනය කරයි. දයාව, කරුණාව, රාගය, සම්මිශ්‍ර හැඟීම් සමුදායකින් ඔහුගේ හදවත කිතිකැවෙයි. දැන් ඉතින් ගැලවීමක් නොමැත.

ළැම හසුන් රැඟුම් පා
මනමත් කළා දෝ
රත තොලින් තොලට දී
සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය
මගේ හිතත් ඔබ ළඟ නැවතිලා

ඇගේ සුන්දර පියයුරු ඔහුගේ දෑස් ඉදිරියේ රැඟුම් පායි. ඇගේ දෙතොලෙහි උරුමය ඔහු ප්‍රාර්ථනා කරයි. තවදුරටත් ඇගෙන් තොර ලෝකයක් ඔහුට නොමැත.

රෝහණ වීරසිංහයන් මේ පදමාලාව මැනැවින් ග්‍රහණය කොට සුගායනය පිණිස අති මධුර තනුවක් නිර්මාණය කර තිබේ. ඒ තනුව රස විඳින විට මා කොතෙක් රෝහණයන් ගේ තනු අසා තිබුණ ද විශ්මයක් හට ගනී. “විසිදැල” චිත්‍රපටයේ ‘ගුමු ගුමුව වදුලේ’ නමැති ගීතය ශ්‍රවණය කිරීමේ දී ද මා තුළ මේ විශ්මය ජනිත විය. එඩ්වඩ් ජයකොඩි ගේ හඬට මම කවදත් පි‍්‍රය කරමි. නිවැරැදි ස්වර තල මෙන්ම පැහැදිලි ගායනයක් ඔහු සතුය. මේ සියල්ල ඒකරාශි වූ විට අති මධුර ගීයක් රසිකයාට දායාද වී තිබේ.

අමරසේන කංකානම්ගේ මට කිසි දිනෙක මුණ ගැසී නැත. එහෙත් ඉඳහිට හෝ ඔහුගෙන් බිහිවන පද මාලා තුළ දුලබ ප්‍රතිභාවක ලක්ෂණ ගැබ් වී පවතී.

“නැත ලොවේ අන් රසඳුනා
ආදරේ සේ සුව දෙනා”

ඒ ආදරයේ සුවය මෙවන් ගීයක් ඇසෙන වාරයක් පාසා මම යළි යළිත් ආස්වාදය කරමි.

ධම්මික බණ්ඩාර - Silumina